Pages

Tuesday, April 05, 2011

අසභ්‍ය දර්ශනවල තිරය පිටුපස කතාව !


ශ්‍රී ලංකාවේ මෑත කාලයේ බෙහෙවින් කතාබහට ලක්‌වූ මාතෘකාවන් ලෙස අසභ්‍ය දර්ශන (ඡායාරූපෙ/වීඩියෝ චිත්‍රපට) අසභ්‍ය වෙබ් අඩවි ආදිය හැඳින්විය හැක. මෙවැනි දේවල් ශ්‍රී ලංකාවට මෙතෙක්‌ කල් අලුත් අත්දැකීමක්‌ නොවූ අතර විශේෂයෙන් 1980 දශකයෙන් පසුව මෙරට බොහෝවිට තරුණ පිරිස අතර නිල් චිත්‍රපට හා අසභ්‍ය පුවත්පත් වේගයෙන් පැතිරී යැම සිදුවිය. මෙරට දේශීය තරුණ තරුණියන් ද මේවායේ අසභ්‍ය දර්ශන වලට පෙනී සිටින බව ඉඳහිට අසන්නට දකින්නට ලැබුණද ඒ ඉතා කලාතුරකිනි. එහෙත් මෑත කාලයේදී ඒ සඳහා වන ප්‍රවණතාව ඉතා විශාල ලෙස ඉහළ ගිය අතර දේශීය තරුණ තරුණියන්ගේ අසභ්‍ය දර්ශන ප්‍රදර්ශනය කිරීම සඳහාම නිර්මාණය වූ අසභ්‍ය වෙබ් අඩවි, අන්තර්ජාලය තුළ වේගයෙන් පැතිරී ගියේය. කෙසේ වෙතත් මෙවැනි වෙබ් අඩවි රාශියක්‌ උසාවි නියෝගයක්‌ මත තහනම් කිරීමට ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමක කොමිසම පියවර ගත් අතර ඒවායේ "පෙනී සිට"ඇතැයි සැලකෙන 83 දෙනකුගේ ඡායාරූප ඇතැම් මාධ්‍ය මගින් ද ප්‍රසිද්ධ කර ඔවුන්ගේ අනන්‍යතාව හඳුනා ගැනීමට මහජන සහාය අපේක්‍ෂා කරන ලදී. 
Read more
ඔවුන්ගෙන් දෙතුන් දෙනකු හැරුණු විට අන් සෑම අයකුම කාන්තාවන් වන අතර ඔවුන්ගෙන් අති බහුතරය නොමේරූ ලාබාල තරුණියන් බව එම ඡායාරූප දෙස බලන අයකුට පෙනී යනු ඇත. කෙසේ වෙතත් මේ අයගේ අනන්‍යතාව හඳුනාගත් පසු ඔවුන්ට විරුද්ධව නඩු පවරා නීතිය මගින් දඬුවම් කිරීමට අදහස්‌ කරන බවද ප්‍රචාරය කර ඇත. සභ්‍ය හා අසභ්‍ය  ලෙස යම් යම් දේවල්, පුද්ගලයන් හෝ ක්‍රියාකාරකම් වෙන් කිරීම නිරපේක්‍ෂ නිර්ණායක ඔස්‌සේ සිදුකළ නොහැකි අතර එවැනි නිර්ණායක මේ වනතෙක්‌ නිර්මානය වී නැත. එහෙත් සාපේක්‍ෂ නිර්ණායක අනුව යමින් මෙවැනි බෙදා වෙන්කිරීමක්‌ කිරීමට අවකාශ ඇත. විශේෂයෙන් කාලය හෝ කාල සීමාව  හා සමාජය  මේ අතර ප්‍රධාන වේ. කාලය අනුව ගත්විට, කිසියම් සලකා බලන කාල පරාසයකදී සභ්‍ය යෑයි නිගමනය කරන පුද්ගලයෙක්‌, දෙයක්‌ හෝ ක්‍රියාකාරකමක්‌, වෙනත් කාල පරාසයකදී අසභ්‍ය යෑයි නිගමනය කළ හැක. නිදසුන් ලෙස පැරැණි ලංකාවේ කුලීන කාන්තාවන් උඩුකය නිරුවත් ව සිටීම අසභ්‍ය දෙයක්‌ ලෙස නොසැලකුව ද (ක්‍රි. වර්ෂ 5 වැනි සියවස - සීගිරි බිතු සිතුවම්) වර්තමානයේ ශ්‍රී ලංකාව තුළ එය අසභ්‍ය දෙයක්‌ ලෙස සලකයි. සමාජය අනුව ගත්විට, කිසියම් සමාජයක සභ්‍ය යෑයි පිළිගන්නා දෙයක්‌ වෙනත් සමාජයකදී අසභ්‍ය ලෙස පිළිගත හැක. නිදසුන් ලෙස බටහිර රටවල හා ඇතැම් පෙරදිග රටවල ද (ජපානය) නිල් චිත්‍රපට යනු මනාව සංවිධානය වී ඇති වෘත්තියකි. එවැනි රටවල එම චිත්‍රපට සඳහා පෙනී සිටින අයගේ නම් ගම් පවා ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරනු ලබයි. ඔවුහු (ඡදරබිඒර) ලෙස ප්‍රසිද්ධියේ පෙනී සිටිති. එහෙත් එම රටවල, එම සමාජවල පවත්නා ප්‍රතිමාණ, සාරධර්ම හා නීති ක්‍රමය, අනුව එම දර්ශන වලට පෙනී සිටීම නීතියෙන් දඬුවම් ලැබිය යුතු වරදක්‌ නොවේ. එහෙත් ශ්‍රී ලංකා සමාජයේ පවත්නා ස්‌වභාවය, විශ්වාස පද්ධතිය හා නීති ක්‍රමය අනුව එසේ කිරීම සමාජය විසින් අනුමත නොකරන අතර එය දඬුවම් ලැබිය යුතු වරදක්‌ බවට පත්වේ. කිසියම් සමාජයක (රටක) පවත්නා නීති රීති එම සමාජයේ (රටේ) ජනතා කැමැත්ත නියෝජනය කරනු ලබයි. මේ අතින් ගත්විට ශ්‍රී ලංකා සමාජයේ පවත්නා ප්‍රතිමාණ, සාරධර්ම හා විශ්වාස පද්ධතිය අනුව අසභ්‍ය දර්ශන වලට පෙනී සිටීම සමාජයේ කැමැත්ත උල්ලංඝනය කිරීමක්‌ වන අතර එසේ පෙනී සිටින අයට දඬුවම් කිරීමේ අයිතියක්‌ ශ්‍රී ලංකා රජයට ඇත. මේ අනුව, හුදෙක්‌ පුද්ගල කැමැත්තෙන්, තමා රඟපාන අසභ්‍ය දර්ශනය ප්‍රසිද්ධ කරන බව (උදා- අන්තර්ජාලය මගින්) දැනගෙන ඒ සඳහා යමකු පෙනී සිටින අවස්‌ථාවකදී එවැනි අයකුට දඬුවම් කිරීම සාධාරණ වන අතර ඒ පිළිබඳ කිසිදු විවාදයක්‌ නැත.


එහෙත් මෙහිදී ඉතා ප්‍රවේශමෙන් විමසා බැලිය යුතු කරුණු රැසකි. පොදු වශයෙන් ගත්විට ශ්‍රී ලංකා සමාජයේ තවමත් ලිංගික කරුණු යනු විවෘත සංසිද්ධියක්‌ නොවේ. මේ තත්ත්වය ග්‍රාමීය සමාජයේ බෙහෙවින් දැකිය හැක. ශ්‍රී ලංකා සමාජයේ පවත්නා හර පද්ධතිය යම් යම් වෙනස්‌කම්වලට වර්තමානයේ ලක්‌වී ඇති බව සිතිය හැකි වුවත් තමන්ගේ ලිංගික දර්ශන ප්‍රසිද්ධියට පත්කරනවාට අකමැත්තක්‌ නැතිව (මුදල් ලබාගෙන හෝ නොගෙන) ඒ සඳහා විශේෂයෙන් මෙරට තරුණියන් "පෙනී සිටීමේ" ප්‍රවණතාව දැඩි සැලකිල්ලට යොමු කළ යුතු කරුණකි. නීතිය මගින් දඬුවමක්‌ ලැබුණත් නොලැබුණත් අසභ්‍ය දර්ශනයකට පෙනී සිටීමෙන් මෙරට තරුණියකට උරුම වන කළු පැල්ලම කිසිදා මකා දැමිය හැක්‌කක්‌ නොවනවා පමණක්‌ නොව ඒ තුළින් ඇතිවන ලේබල් කිරීම ඇගේ මුළු අනාගතයම අදුරු කිරීමට තරම් බලවත් වේ. මෙවැනි තත්ත්වයක්‌ තුළ, ප්‍රසිද්ධියට පත් කරනු ලබන අසභ්‍ය දර්ශන සඳහා මෙරට තරුණියන් ඔවුන්ගේ කැමැත්තෙන් පෙළඹී ඇත්ද? එම කැමැත්ත මුදල් ලැබෙන නිසා ඇතිවූවක්‌ද? කිසියම් අයකුගේ බලපෑම හෝ බලකිරීම නිසා මේ සඳහා ඔවුන් පෙළඹී ඇත්ද? ඔවුන් කිසියම් අයකුගේ හෝ කණ්‌ඩායමක රැවටීමකට හෝ වංචාවකට ලක්‌වී ඇත්ද, ඔවුන්ගේ මෙම අසභ්‍ය දර්ශන, වෙබ් අඩවි මගින් හෝ වෙනත් ආකාරයකින් ප්‍රසිද්ධ කරනු ලබන බව ඔවුන් දැන සිටියා ද යන කරුණු ඉතා දැඩි සැලකිල්ලට හා අවධානයට යොමු කළ යුතුය. ඇතැම් විට මේ සියල්ල මෙහෙයවා තිරය පිටුපස සිටින අය මෙම දර්ශන වලින් මුදල් උපයා සුවසේ සිටිනවා වන්නට පුළුවන. මේ තුළින්, මෙම දර්ශවලට පෙනී සිටි තරුණියන්ට සුදුහුනු ගෑමට හෝ ඔවුන් අසරණ අය ලෙස හඳුන්වා දීමට මම අදහස්‌ නොකරන අතර මෙම සමස්‌ත ක්‍රියාවලිය දෙසම ඉතා සුපරික්‍ෂාවෙන් බලා නීතිය ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව පමණක්‌ අවධාරණය කරනු කැමැත්තෙමි. අනිත් අතට මෙම ලිපියේ මින් ඉදිරියට මවිසින් සිදු කරනු ලබන විවරණය සඳහා මෑත කාලයේදී මා විසින් සිදුකළ මේ හා සම්බන්ධ ප්‍රායෝගික අධ්‍යයන ගණනාවක ප්‍රතිඵල අන්තර්ගත වේ. සංඛ්‍යා ලේඛන අනුව, විශේෂයෙන් පසුගිය වසර පහක පමණ කාලය තුළ ශ්‍රී ලංකාවේ තරුණ තරුණියන් අතර ජංගම දුරකථන භාවිතය ඉතා විශාල ලෙස ඉහළ ගොස්‌ ඇත. මීට කලකට පෙර, ඡායාරූප ගත හැකි හා වීඩියෝ පටිගත කළ හැකි ජංගම දුරකථනවල මිල අධික වුවද වර්තමානයේදී ඉතා අඩු මුදලකට එවැනි දුරකථනයක්‌ මිලදී ගත හැක. වර්තමානයේ ශ්‍රී ලංකාවේ තරුණ තරුණියන් අතර භාවිත වන ජංගම දුරකථන වලින් අති බහුතරය කැමරා සහිත වීඩියෝ පටිගත කිරීමේ පහසුකම් සහිත ඒවාය. මේ තුළින්, අවශ්‍ය ඕනෑම අවස්‌ථාවක ඡායාරූප ගැනීමටත් වීඩියෝ පටිගත කිරීමටත් හැකියාව ඔවුන්ට ලැබී ඇත. අනිත් අතට පරිගණක භාවිතය මෑත කාලයේ තරුණ තරුණියන් අතර බෙහෙවින් ඉහළ ගිය අතර ඒ සඳහා අන්තර්ජාල පහසුකම් ද ඉතා පහසුවෙන් සලසා ගත හැක. වඩාත්ම සැලකිල්ලට බඳුන් විය යුතු කරුණ වන්නේ ජංගම දුරකථන සඳහා අන්තර්ජාල පහසුකම් ඉතා පහසුවෙන් ලබාගත හැකි වීමයි. මෙහි ප්‍රතිඵලයක්‌ ලෙස ජංගම දුරකථන වලින් අන්තර්ජාලය වෙත සම්බන්ධ වී එහි නිමක්‌ නැති වෙබ් අඩවි කරා පිවිසීමට හැකිවේ. ශ්‍රී ලංකාවේ තරුණ තරුණියන් මේ කරා වේගයෙන් ඇදී යන බවට ඕනෑතරම් සාක්‍ෂි ඇත. ලිංගික දර්ශන අඩංගු වෙබ් අඩවි වෙත පිවිස එම දර්ශන ඇතුළත් දත්ත ජංගම දුරකථන තුළ ගබඩා කිරීමට ද බොහෝ දෙනෙක්‌ පෙළඹෙති. බොහෝවිට ශ්‍රී ලංකාවේ පරිගණක මෘදුකාංග අලෙවිකරන වෙළෙඳසල්වල මේවා මුදල් වලට තරුණ තරුණියන්ගේ ජංගම දුරකථනවලට ගබඩා කිරීම කරනු ලබයි. මේවා එක්‌ ජංගම දුරකථනයකින් තවත් ජංගම දුරකථනයකට යෑවීම ද ඉතා ඉක්‌මණින් හා පහසුවෙන් කළ හැක. අන්තර්ජාලයේ ඇති බටහිර ලිංගික දර්ශන දෙස බලන මෙරට ලාබාල තරුණ තරුණියෝ ඒවා සාමාන්‍ය දේවල් ලෙස සිතීමට පෙළඹෙන අතර ඇතැම්හු මේවා අනුකරණය කිරීමට පෙළඹෙති. ජංගම දුරකථනවල පවත්නා ඡායාරූප ගැනීමේ හා වීඩියෝ පටිගත කිරීමේ හැකියාව මේ සඳහා මහඟු පිටිවහලක්‌ සපයා දෙයි. 

වර්තමානයේ මෙරට තරුණ තරුණියන් අතර ප්‍රේම සම්බන්ධතා ඇතිකර ගැනීමේ ප්‍රවණතාව ඉතා අධිකය. මේ සම්බන්ධයෙන් බලපාන කරුණු වෙනත් ලිපියකින් සාකච්ඡා කළ යුතුය. කෙසේ වෙතත් මෙහිදී අපගේ සැලකිල්ලට බඳුන් කළයුතු කරුණ වන්නේ මෙම ප්‍රේම සබඳතා වල ස්‌වභාවය දැනට වසර 10 කට 15 කට පෙර පැවතියාට වඩා බෙහෙවින් වෙනස්‌ වී ඇත. පෙම් සබඳතා පවත්වන තරුණ තරුණියෝ විවාහය පිළිබඳ සිතිවිල්ල බොහෝ දුරට පෙරදැරි කරගෙන එම සබඳතා පවත්වා ගත් අතර එවැනි බොහොමයක්‌ සබඳතා විවාහයෙන් කෙළවර විය. වර්තමානයේ බොහෝ දුරට විවාහය පිළිබඳව තැකීමක්‌ නැත. එක්‌ සබඳතාවක්‌ බිඳවැටුන පසු වෙනත් සබඳතාවක්‌ වෙනත් අයකු සමග ආරම්භ කිරීමට ඔවුහු පසුබට නොවෙති. පෙර කාලයේ කැමරාව දුලබ භාණ්‌ඩයක්‌  වුවද අද කැමරා සහිත ජංගම දුරකථන නිසා කැමරාව ඇත්තේ අතේ දුරිනි.  සිය පෙම්වතිය සමග කාමරයක්‌ තුළ හෝ වෙනත් ස්‌ථානයක හුදකලා වන පෙම්වතා ඇයව ඡායාරූපගත කිරීමට හෝ වීඩියෝ කිරීම සඳහා (ජංගම දුරකථනය මගින්) ඇයට ආයාචනා කරයි. මුලදී එයට අකමැති වන ඇය ඔහුට ඇති ආදරය නිසා ඔහුගේ දැඩි ඇවිටිල්ල මත ඒ සඳහා එකඟ වේ. මුලදී සාමාන්‍ය දර්ශන ලබාගන්නා ඔහු පසුව ඇයගේ නිරුවත් දර්ශන ඡායාරූපගත කිරීමට හා වීඩියෝ පටිගත කිරීමට ඇයව පොළඹවා ගැනීම සිදුකරයි. කලක්‌ ගතවන විට පෙම්වතියට මෙය සාමාන්‍ය දෙයක්‌ බවට පත්වන අතර කිසිදු බියක්‌ සැකක්‌, ලැඡ්ජාවක්‌ නැතිව ලිංගික දර්ශන හා ක්‍රියාකාරකම් සඳහා ඇය පෙළඹේ. බොහෝ විට ජංගම දුරකථනය ඇත්තේ පෙම්වතා අත නිසා ඔහුගේ මුහුණ මෙම දර්ශන සඳහා නිරාවරණය වන්නේ කලාතුරකිනි. පෙම්වතියගේ සිතිවිලි වලට අනුව ඇය ඔහුට ඇති ආදරය ප්‍රකාශ කිරීමට මෙය මහඟු අවස්‌ථාවකි. එසේ නොකළොත් පෙම්වතා ඇයව අත්හැර දැමීමට පුළුවන. අනිත් අතට පෙම්වතිය කල්පනා කරන්නේ තමගේ ලිංගික දර්ශන ඇත්තේ තම පෙම්වතාගේ ජංගම දුරකථනයේ පමණක්‌ බවයි. එයින් එහා දෙයක්‌ ගැන ඇය නොසිතයි. කෙසේ වෙතත් පෙම්වතාට තමන්ගේ "හැකියාව" තම මිතුරන්ට පෙන්වීමට මෙය කදිම අවස්‌ථාවකි. ඒ අනුව තම පෙම්වතියගේ ලිංගික දර්ශන මිතුරන් සමග "බෙදා හදා" ගැනීමටත් ඒවා ඔවුන් සමග නැරඹීමටත් පෙම්වතා පෙළඹේ. මෙහිදී ඔහුට බියවීමට කිසිදු හේතුවක්‌ නැත්තේ තමන්ගේ රුව එම දර්ශනවල අඩංගු නොවන හෙයිනි. ඇතැම්විට පෙම්වතිය සමග අමනාප වන පෙම්වතා (හෝ තමා හැරයැම ගැන ඇය සමග උරණ වීම නිසා) මෙම දර්ශන ප්‍රසිද්ධ කරයි, අන්තර්ජාලයට මුදාහරී. මේ සියලු කටයුතු සිදුවන්නේ පෙම්වතියගේ අනුදැනුමක්‌ නොමැතිවය. වර්තමානයේ අන්තර්ජාලයේ ඇති, මෙරට දේශීය තරුණ තරුණියන් පෙනී සිටින අසභ්‍ය දර්ශන වලින් බහුතරය ජංගම දුරකථන මගින් ලබාගත් ඒවා බව පෙනී යයි.

අන්තර්ජාලයේ ඇති මෙවැනි අසභ්‍ය දර්ශන ඕනෑම අයකුට නැරඹිය හැකි අතර ඒවායේ "රඟපාන" හෝ "පෙනී සිටින" තරුණියන් හිතාමතා එවැනි දර්ශන වලට "පෙනී සිටි" අය ලෙස හංවඩු ගැසීමද සිදුවේ. මේ සඳහා තවත් හේතුවක්‌ වන්නේ එම දර්ශනය තුළදී ඇය ඉතා කැමැත්තෙන්a සිටින බව ඇගේ ඉරියව් වලින් පෙනී යැමය. එහෙත් සත්‍ය තත්ත්වය වන්නේ එම දර්ශනය සඳහා ඇය පෙනී සිටියේ ඇය ආදරය කරන ඇගේ පෙම්වතාගේ ඇවිටිල්ල මත ඔහු සමග වීමය. එබැවින් එවැනි දර්ශනයකදී ඇය සතුටින් කැමැත්තෙන් සිටින බව අපේක්‍ෂා කළ යුත්තකි. එහෙත් මෙහිදී මතුවන ගැටලුව වන්නේ එම දර්ශන ලබා ගන්නා අවස්‌ථාවේදී ඒවා අන්තර්ජාලය ඔස්‌සේ ප්‍රසිද්ධ කරන බවත්, එමගින් මිලියන ගණනක්‌ මිනිසුන් එය නරඹන බවත් පිළිබඳව හාංකවිසියක්‌වත් ඇය නොදැන සිටීමය. මෙවැනි අවස්‌ථාවකදී අසභ්‍ය දර්ශන සඳහා "පෙනීසිට" ඇතැයි සලකා ඇයට දඬුවම් කිරීම කොතෙක්‌ දුරට සාධාරණීකරණය කළ හැකිද යන්න ගැටලුවකි. 

අනිත් අතට ඇතැම් පෙම්වතුන් තම පෙම්වතියට නොගැළපෙන පරිදි තමන්ගේ රුව නොපෙනෙන ලෙස රහසිගත ස්‌ථානයක ජංගම දුරකථන හෝ වීඩියෝ කැමරා තබා ඇගේ නිරුවත් දර්ශන පටිගත කිරීමට පෙළඹෙන අතර පසුව මේවා අන්තර්ජාලයට මුදාහැරීමට පුළුවනි. අන්තර්ජාලය තුළින් මේවා නරඹන අය සිතන්නේ ඇගේ කැමැත්තෙන් එවැනි දර්ශන සඳහා ඇය පෙනී සිටි බවයි. එහෙත් සත්‍ය තත්ත්වය වන්නේ ඇය ඒ සම්බන්ධව කිසිවක්‌ නොදන්නා බවයි. 

මෑත කාලයේ, මෙරට අලුතින් නිෂ්පාදනය කරන එක්‌තරා චිත්‍රපටයකට අවශ්‍ය නවක නිළියන් තෝරා ගැනීමේ මුවාවෙන් තරුණියන් මුලාකොට ඔවුන්ගේ අඩනිරුවත් දර්ශන වීඩියෝගත කර ඒවා අන්තර්ජාලයට මුදාහැරීමට කටයුතු කර තිබිණි. මෙවැනි අවස්‌ථාවලදී, දඬුවම් පැමිණිය යුත්තේ කුමන අයුරින්දැයි සූක්‍ෂම ලෙස නිර්වචනය කළ නීතිමය වගන්ති ඇත්දැයි මා නොදන්නා නමුත් මෙවැනි සිදුවීම් නිසා අමාරුවේ වැටුණු තරුණියන් පිළිබඳව වාර්තා වූ අවස්‌ථා ගණන සුළුපටු නොවේ.

වර්තමානයේ ශ්‍රී ලංකාවේ අන්තර්ජාලය භාවිත කරන්නන් අතර ඉතා ජනප්‍රිය වී ඇති කරුණක්‌ ලෙස එමගින් ලෝකය පුරා සිටින පුද්ගලයන් සැණෙකින් සම්බන්ධ කිරීමේ හැකියාව දැක්‌විය හැක. මෙමගින් අන්තර්ජාලය හා සම්බන්ධ වී ඇති අය සමග කතාබස්‌ කිරීමට, අදහස්‌ හුවමාරු කර ගැනීමට ඉඩකඩ සැලසී ඇති අතර වෙබ් කැමරාවක්‌  සවිකර ගැනීම මගින් තමා සමග අදහස්‌ හුවමාරු කරගන්නා අයගේ රූපය දැකීමට ද අවකාශය ඇත. මෙවැනි සම්බන්ධ කර ගැනීම් සඳහා විශේෂයෙන් නිපදවා ඇති මෘදුකාංග පවතී කෙසේ වෙතත් වෙබ් කැමරාවන් යොදා ගනිමින් සිදුකරන සම්බන්ධවීම් වලදී ඇතැම් පෙම්වතුන් තම පෙම්වතියට වෙබ් කැමරාව ඉදිරියේ නිරුවත් වන ලෙස බලකර සිටී. මෙම රූපරාමු පෙම්වතා විසින් පටිගත කර අන්තර්ජාලයට මුදාහල අවස්‌ථා ගණනාවක්‌ අනාවරණය වී ඇත. ඇතැම් අවස්‌ථාවලදී මෙසේ දෙදෙනකු අතර සිදුවන සංවාදය හා රූපරාමු තුන්වන පාර්ශ්වයක්‌ විසින් පටිගත කර ඒ ඔස්‌සේ ඔවුනට බලපෑම් කිරීම හා එවැනි දර්ශන අන්තර්ජාලයේ ප්‍රසිද්ධ කිරීම් වලට ලක්‌විය හැක. ඇතැම් අවස්‌ථාවලදී පෙම්වතා හෝ පෙම්වතියගේ නමින් වෙනත් අයකු වංචාකාරී ලෙස ප්‍රවිශ්ට වී අසභ්‍ය රූපරාමු පටිගත කළ අවස්‌ථාද වාර්තා වී ඇත. මෙවැනි සංකීර්ණතාවන් ශ්‍රී ලංකාවේ නීති ක්‍රමයේ සලකා බැලීමට ලක්‌වන්නේ ද යන්න මා නොදන්නා අතර එවැනි සංකීර්ණතාවන් ශ්‍රී ලංකාවේ නීතිය ක්‍රියාත්මක කරන ආයතනවල දැඩි අවධානයට ලක්‌කළ යුතු බව පමණක්‌ මෙහිදී අවධාරණය කෙරේ. 

කෙසේ වෙතත් මේ තාක්‌ සිදුකළ සාකච්ඡාව අනුව පෙනීයන්නේ මෙම අසභ්‍ය දර්ශන වලට "පෙනීසිටි" අයට දඬුවම් පැමිණවීම ඉතා ප්‍රවේශමෙන් කළ යුත්තක්‌ වන බවය. එසේ නොවුනහොත් සිදුවන්නේ වරදක්‌ නොකළ අහිංසක අය දඬුවමට ලක්‌වෙද්දී ඒ සියල්ල සැලසුම් කර ක්‍රියාවට නැංවූ අය හොඳ මිනිසුන් ලෙස සිටිමය. මීට ඉහතින් ද සඳහන් කළ අයුරින් වරදකරුවන් සූදානම් කිරීම හෝ ඔවුන්ට සුදුහුණු ගෑම මෙම ලිපියේ අරමුණ නොවන අතර මෙය ඉතා සංකීර්ණ ක්‍රියාවලියක්‌ බවත්, ඒ සඳහා පාර්ශ්වයන් ගණනාවක්‌ සම්බන්ධ වී ඇති බවත් දඬුවම් පැමිණවීමේ ක්‍රියාවලියකදී සැලකිය යුතු කරුණු රැසක්‌ ඇතිබවත් පමණක්‌ පෙන්වා දීම මෙහි අරමුණු බව සැලකුව මානය. 

තිලක්‌ විඡේසුන්දර 
රුහුණ විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අංශයේ කථිකාචාර්ය