Pages

Tuesday, October 18, 2022

විල් නෙළුමාසනෙන් ආ හසඟන (මුව මුක්තා ලතා පිපි හංසාන්ගනා - විශාරද එඩිවඩි ජයකොඩි)



විවරණය : ශෂී ප්‍රභාත් රණසිංහ
උපුටා ගැනීම - ලංකාදීප

ආචාර්ය අජන්තා රණසිංහයන්ගේ ව්‍යංගාර්ථපූර්ණ, ධ්වනිතාර්ථපූර්ණ, රූපකාර්ථවත් සුගේය පද සුසංයෝගයෙන් ද විශාරද එඩිවඩි ජයකොඩි සූරීන්ගේ භාවපූර්ණ හඬ මාධුර්යයෙන් ද ප්‍රවීණ සංගීතවෙිදී ආනන්ද පෙරේරාගේ මධුර මනෝහර ස්වර සංරචනයෙන් ද සමලංකෘත වූ මෙි අනගි ගී මිණ ශෘංගාර රසය මෙන්ම ලලනා ලාවණ්‍යලෝලය ද දල්වයි.

මෑතකදී අප අතරින් වියෝවූ ආචාර්ය අජන්තා රණසිංහයෝ මෙි මනරම් ගීමිණිරුවනෙහි ගේය කාව්‍ය සිත්තරුවෝය. අජන්තා නම ඇසූ සැණින් අප මතකයට නැගෙනුයේ ඉන්දියාවේ අජන්තා ලෙන් හා ඒවායේ ඇති මනරම් බිතුසිතුවම්ය. අජන්තා රණසිංහයන්ගේ නමත් මෙරට ගීත සාහිත බිත මත සිත්තම් කළ සදා නොමැකෙන සුන්දර සිතුවමක් වැනිය. දෙරියන්, සිවුරියන්, නවරියන් පද රචකයන් අතර ආචාර්ය අජන්තා රණසිංහයෝ දහඅට රියන් ගේය කාව්‍ය සිත්තරුවෙක් වූහ. ගීපද රචකයෝ හතු පිපෙන තරමට බිහිවෙති. එහෙත් සුභාවිත ගීතයට පණ පොවන වාග්චාතුර්යයෙන් පොහොණි ගේය පද සිත්තරුවෝ සුදුර්ලභයෝය. ගීතය වඩාත් භාවපූර්ණ වූ සාහිත්‍ය භාෂණයක් බවට පරිවර්තනය කරමින් දශක ගණනාවක් පුරා සිංහල සුභාවිත ගීතයට ආචාර්ය අජන්තා රණසිංහයෝ ඉටුකළ අප්‍රමාණ මෙහෙවර අමරණීය වෙති.

ගීතය වූකලි අර්ථ සෞන්දර්ය ව්‍යාපාරයකි. ගේය පද රචකයකුගේ සංකල්පනාවකට සංගීතයෙන් හා ගායනයෙන් නව අර්ථකථන ද සම්පාදනය කොටගත හැකිය. එහෙත් ගීතය තුළින් අර්ථය අතික්‍රමණය කළ පුළුල් ආර්ථික, දේශපාලන හා සමාජ පැතිකඩක් නිරූපණය කිරීමෙි ශක්‍යතාව සෑම ගේය පද රචකයකුටම නැත. සරල නොගැඹුරු හරසුන් විවරණ වෙනුවට නවීන අර්ථ විවරණ සපයන හුදු ප්‍රකාශන වාගාලාප වෙනුවට සියුම් රස ජනනයට මුලපුරන සාහිත්‍ය රසයෙන් අනූන ගේය කාව්‍ය රචකයෝ ද අද විරල වෙති.

ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ, මහගම සේකර, මඩවල එස්.රත්නායක, ඩෝල්ටන් අල්විස්, කරුණාරත්න අබෙිසේකර ආදී පුරෝගාමී සුවිශිෂ්ට ගේය කාව්‍යක්කාරයන්ගේ පෙකෙණිවැල කපාගෙන ලාංකේය ගීත කේෂ්ත්‍රයට පිළිපන් මහාචාර්ය සුනිල් ආරියරත්න, සුනිල් සරත් පෙරේරා, ප්‍රේමකීර්ති ද අල්විස්, ස්වර්ණ ශ්‍රී බණ්ඩාර, ධර්මසිරි ගමගේ, ලූෂන් බුලත්සිංහල, කුලරත්න ආරියවංශ, කුමාරදාස සපුතන්ත්‍රි, රත්න ශ්‍රී විජේසිංහ, වසන්ත කුමාර කොබවක, සුනිල් ආර්.ගමගේ, බන්දුල නානයක්කාරවසම්, බණ්ඩාර ඇහැළියගොඩ ආදීන් අතර ආචාර්ය අජන්තා රණසිංහයෝ ඉහළින්ම වැජඹෙති. සිංහල ගීත වංශයේ අවිච්ඡින්නව ගලා යන ප්‍රේම ගීතාවලිය පිළිබඳ කතා කරන විට අජන්තා රණසිංහයන් අමතක කළ නොහැකිය. අජන්තා ගීතාවලිය සැබැවින්ම අනභිභවනීයය. විචිත්‍රෝපශෝභිතය. සබුද්ධිකය. ප්‍රේමයේ විරහා වෙිදනාව මෙන්ම විප්‍රලමිබ ශෘංගාරය දනවන ගීත ගොන්නක උරුමකරුවෝ ද අජන්තාවෝය.

මෙි ගීතයේ කථකයා සිය මංගල රාත්‍රියට මුහුණදී සිටියි. කාමසම්භෝග සම්පර්කයට නොතිත් ආසාවෙන් භාවලීලානු රාගයෙන් බලා සිටින ඔහු සිය මනාලියගේ රූපශෝභාව අරබයා උපන් ලෝලයත් එය පාදක කරගෙන නිපන් ශෘංගාරයත් ප්‍රකාශ කරයි. ගීතයකින් සිදුවිය යුත්තේ භාව ප්‍රකෝප කිරීම නොව භාව විකසිත කිරීමය. එහෙත් අද ඇසෙන බොහෝ ගීත තුළින් සිදුවන්නේ ජුගුප්සිත හැඟීම් ඇති කොට භාව භංග කිරීමය. අජන්තා රණසිංහයන්ගේ විශිෂ්ට පද හරඹ සහිත මෙි ගීතයේ පැදි පෙළ හැදෑරීමකින් තොරව සාමාන්‍ය රසිකයාට තේරුම්ගත නොහැකිය. අපි මුලින්ම ගීතයේ ස්ථායි කොටස දෙස අවධානය යොමු කරමු.


මුව මුක්තා ලතා පිපි හංසාන්ගනා
විල් නෙළුමාසනෙන් ආ ළඳේ
නුඹ භාග්‍යා සරෝජාවියේ
ස්වර්ණා වර්ණා පැහැයෙන් දිළේ

මුතුවන් දත් දෙපළක් හිමි මෙි හසඟන පැමිණ ඇත්තේ අඟහරු ලෝකයෙන් නොව විල් නෙළුමාසනයකිනි. නෙළුමාසනය හෙවත් පද්මාසනය යනු පාරිශුද්ධත්වයේ සංකේතයකි. මෙි කාන්තාවගේ නිර්මලත්වය සුවිශද කිරීමට රචකයා එබඳු බහුඅරුත් දනවන වචන යොදාගෙන ගෙන ඇත. සාහිත්‍යයේදී ස්ත්‍රි වර්ණනයට නෙළුම් මල යොදාගැනීම ගතානුගතිකය. එහෙත් ආචාර්ය අජන්තා රණසිංහයෝ අවස්ථාවෝචිතව විවිධත්වයෙන් යුතුව නෙළුමක මහිම කාව්‍යෝක්තියට නගති. නම් සියයකින් විතර හැඳින්වෙන මෙි අරුම පුදුම පියුම පිළිබඳ මහාකවි කාලිදාසයෝ ද වර්ණනය කරති. ඔහුගේ මහාකාව්‍ය කෘති වන මෙිඝදූතය, රඝුවංශය ඊට දෙස් දෙයි. අජන්තා රණසිංහයන්ට අනුව ඇය උපන්නේ විල් නෙළුමාසනයකිනි. මෙි වූකලි නිකන්ම නිකන් හංසදෙනක නොව රන් වන් පැහැයෙන් සුදිළෙන ස්වර්ණ වර්ණ හංසදේනුවකි. මෙහිදී කථකයා ඇයට භාග්‍යා සරෝජා යනුවෙන් ද ආමන්ත්‍රණය කරයි. සකු භාෂාවෙන් නෙළුම් මලට සරෝජා යන අරුත දෙයි. මෙි වුකලි වාසනාවන්ත නෙළුමක් නොවෙිද ? සියපත, තඔර, රතුපුල්, අරවින්ද, පංකජ, යන යෙදුම් ද කවියෝ නෙළුම්මල අරුත් ගැන්වීම සඳහා යොදා ගනිති. ස්ත්‍රී සෞන්දර්ය තරම් පුරුෂයාගේ නෙත් සිත් වශී කරන මනදොළ වඩන අන්‍ය සුකුමාර සෞන්දර්යයක් මෙි විස්මිත විශ්වයේම නැත. මෙයට හේතුව ජීවවිද්‍යාත්මක යැයි ඇතමෙක් කියති. එහෙත් එය හුදෙක් ජීවවිද්‍යාත්මක කරුණක් පමණක්ම නම් කාන්තාවන්ට නෙත් සිත් වශී කරන රූපශෝභාව අවශ්‍ය නොවෙි. හුදු ස්ත්‍රිත්වය පමණක් ප්‍රමාණවත්වෙි.


මා හද ප්‍රේමාංගනේ
රෑ නුඹ රහසින් ළඳේ
බඳ මණිමේඛලාව මුදා
අනුරා නෙත් නගන් නොනිදා

මෙහිදී කථකයා මනාලියට පවසන්නේ තමන්ගේ හදවත නමැති ප්‍රේමාංගණය රංජනය කරමින් ඉණ බැඳී මිණිමෙවුල තවත් කල්යල් නොබලා ගලවා දමා කාමසම්භෝගයට සුදානම් වන ලෙසයය.එපමණක් නොව රැය පහන්වන තුරුම අනුරාගය දල්වමින් නිදිවර්ජිතව කාමාස්වාදයෙන් කුල්මත් වන ලෙසටද ඔහු ඉඟි මරයි. මෙි ගීතය ශෘංගාර රසයෙන් සුපෝෂණය කිරීමට ආචාර්ය අජන්තා රණසිංහයෝ ලිංගික මෙවලමක් ( Sexual Device ) ද භාවිතයට ගනිති. මණිමේඛලාව හෙවත් පතිවත තීරය ( Chastity Belt) යනු ඉපැරැණි සමාජයේ රජ බිසවුන්, කුමාරිකාවන් ඉණට මඳක් පහළින් පැළඳි ලෝහයෙන් තැනු ආභරණයකි. කාන්තාවන් පතිවත සුරැකීමට මෙම ආභරණය භාවිත කළ බවත් එය ඉණ පැළඳි කතුන්ගේ තුනටිය මඳක් සිහින් වන බවත් පැරැන්නෝ කියති. එහෙත් යකඩයකින් තැනු මෙවලමක් රහසඟ එල්ලා සිටිමෙන් ඇතිවන පීඩාකාරී අපහසුව කාන්තාව කෙසේනම් විඳදරා ගන්නේ දැයි මම නොදනිමි. මණිමේඛලාව පිළිබඳ මහාගත්කරු මාර්ටින් වික්‍රමසිංහයෝ මෙසේ කියති. මණිමේඛලාව යනු ගැහැනුන්ගේ ඉඟටිය මඳක් සිහින්කර සුන්දරත්වය පෙන්වීම සඳහා යොදා ගන්නා ආභරණයකි. එය Griddle (දැලක් ) එකක් වැනිය. වික්‍රමසිංහයන් පවසන පරිදි ඉඟසුඟ මිටින් ගත හැකි හැඩැති රුවැති ලලනාවකට අකමැති පිරිමිහු කවරහුද ?

ආකාශ ගං චන්ද්‍ර නෞකාවේ
තනි වෙන්න යං පෙම් රසෝජාවේ
රූ සිරු කල්‍යාණියේ
මා සැතපෙන්නම් ප්‍රි‍යේ
තුනු ශ්‍රීයෙන් විපුල් වොරැඳී
මනසානන්ද මන්දෝදරී

සම්භාව්‍ය සාහිත්‍ය මැනවින් ප්‍රගුණ කොට ඇති ආචාර්ය අජන්තා රණසිංහයෝ මෙහිදී අහස් ගඟක් ගැන ද වර්ණනය කරති.අහස් ගඟ යනු කුමක්ද? නිල්වන් අහස් කුස මතින් දිවෙන සුදු පැහැති ආලෝක තීරයකට පැරැන්නෝ අහස් ගඟ යැයි කීහ. හිමාලයේ අනෝතප්ත විල දකුණු දිශාව ඔබ්බෙන් අහස් ගඟ පටන් ගන්නා බව ද ඔවුහු කියති. එහි සිටින්නෝ කවරහුද? ඇතැමි පක්ෂිහු සහ දිව්‍යාංගනාවෝ අහස් ගඟට බැස දිය කෙළියේ යෙදෙති. මෙි ගීතයේ කථකයා සිය මනාලියට මධුසමය ගත කිරීමට යාමට කතා කරනුයේ මෙකී සුන්දර අහස්ගඟටය. පිරිසිදු ධවල වර්ණනයෙන් ශෝභමාන සුගන්ධවත් අහස් ගං දියේ බැබළෙන සඳවතිය නමැති නැවට ගොඩවී එහි තනිවීමට ඔහු ඇයට ඇරියුමි කරයි. මෙබඳු මනස්කාන්ත පරිසරයක තම වල්ලභයා සමඟ මංගල රාත්‍රිය ගත කිරීමට අකමැති මනාලිය කවුරුන් ද?

රූ සිරු කල්‍යාණියේ
මා සැතපෙන්නම් ප්‍රි‍යේ
තුනු ශ්‍රීයෙන් විපුල් වොරැඳී
මනසානන්ද මන්දෝදරී

මධුසමය නමැති සොඳුරු සුයාමය අබිමුව සිටින මෙි කථකයා සිය මනාලියගේ නවයෞවන ලලනා සෞන්දර්යයෙන් කුල්මත්වී, වල්මත්වී සිටියි. ඔහු ඇගේ තුරුණු රූසපුව වර්ණනා කරමින් චමත්කාරයෙන් ඔජ වඩයි. චමත්කාරය නම් සිත පිරී ඉතිරී යන විස්මය මුසු හැඟීමයි. මෙි විස්මයට හේතුව සරෝජාගේ අපරිමිත අභිරූපි රූපකල්‍යාණයම නොවෙිද? මනාලයා ඇගේ සුන්දර සිරුර මත සැතපීමට පවා සූදානම්. මෙි සොඳුරු කත පිරිමි මනස ආනන්දයෙන් මුසපත් කරන මන්දෝදරීයකි. මෙහිදී ආචාර්ය අජන්තා රණසිංහයෝ ප්‍රථමවරට සිංහල ගීත ශබ්ද කෝෂයට අලුත් වචනයක් ද හඳුන්වා දෙති. ඒ මන්දෝදරී නමිනි. මන්දෝදරී යනු සිහින් උදරයක් සහිත කාන්තාවයි. කෝට්ටේ විසූ මහාකවියකු වන ෂඩ්භාෂා පරමෙිශ්වර තොටගමුවෙි ශ්‍රී රාහුල හිමියෝ සැළලිහිණි සඳසෙහි ජයවද්දන පුර වැනුමෙහි කාන්තා සිරුර මෙසේ වනති.

සිසිවන උවන ඉඟසුඟ ගත හැකි මිටින
නිසි පුළුලුකුල රියසක යුරු තිසරතන
දිසි රන් ලියෙව් රූසිරි යුත් මෙපුරඟන
ඇසි පිය හෙළන තරමින් නොවෙති දෙවඟන

මෙි කවිය ලලනා වර්ණනයක් නොවූද එදා ජයවර්ධන පුර නගරයේ සුන්දරත්වය ක්‍රියාපෑමට රාහුල හිමියෝ රූපකල්‍යාණියකගේ සුන්දර සිරුර උපහැරණයට ගත්හ. එබඳු අසාමාන්‍ය නාරිසෞන්දර්යය කවි ඇසින් කලා නෙතින් දැක්ම මනසානන්දනීය නොවෙිද?

හිරු එන්න පෙර රාත්‍රි මේ සීතේ
හා හා ගයන් සෞම්‍ය සංගීතේ
ඒ හිරු නොනගීවා
රෑ තව දිගු වේවා
ඔබෙ නළලේ සඳුන් තිලකේ
අද ඉහිරේද දෙතොලින් මගේ

ගීතයේ අවසාන අන්තරා කොටසෙන් කථකයා ඇයට මියුරු මියැසිය නගන සුමිහිරි ගීතයක් ගැයුමට ද ආයාචනා කරයි. සූර්යයා උදාවීමට පෙර රැය පහන් වනතුරු ප්‍රේමයෙන් රාගයෙන් මුසපත්වීමට නොවෙිද මෙි ඇරියුම? නිදිවර්ජිත ⁣මෙි රාත්‍රිය තවත් දිගුවී හිරු නොපායන ලෙස ද ඔහු අයදියි. මෙි ගීතයේ අන්තිම පැදි පෙළ ද අතිරමණීය වෙයි.

ඔබෙ නළලේ සඳුන් තිලකේ
අද ඉහිරේද දෙතොලින් මගේ

මෙි පද ගීතයේ හද මෙනි. මෙහිදී කථකයා විචිකිච්ඡාවෙන් පවසන්නේ ඇගේ අඩසඳ සදිසි නළල්තලයේ රුව වඩවා දිදුළන සඳුන් තිලකය තම දෙතොලේ චුම්බන පහසින් මුවමීවලින් සේදී මැකී යාමට ඉඩ ඇති බවයි. මෙි කෙතරම් රමණීය කාව්‍යෝක්තියක් ද?
ආචාර්ය අජන්තා රණසිංහයන්ගේ අතිවිශිෂ්ට පද සංයෝජනය ද විශාරද එඩිවඩි ජයකොඩිගේ භාවපූර්ණ හඬ මාධුර්ය ද ආනන්ද පෙරේරාගේ නාද සංයෝජනය ද සමග්‍රව සුසැදි මෙිගීමිණ කාමීජනහද අමන්දානන්දයට පත්කරයි.

Tuesday, October 04, 2022

අවුකන බුදුන්ටත් දෑස් දුන් මිනිසා


විවරණය : ශෂී ප්‍රභාත් රණසිංහ
උපුටා ගැනීම - ලංකාදීප

නීතිඥ රජී වසන්ත වෙල්ගමයන්ගේ ඉසියුම්වූත් ඉගැඹුරුවූත් සුගේය පද සුසංයෝගයෙන් ද ප්‍රතිභාපූර්ණ තරුණ සංගීතවෙිදී දර්ශන රුවන් දිසානායකයන්ගේ සුස්වර සුසංකලනයෙන් ද ප්‍රවීණ ගායන ශිල්පී සුනිල් එදිරිසිංහයන්ගේ යතිවර හඬ මාධුර්යෙන් ද සුවිභූෂිත වූ මෙි ගී මිණ අසාහය ගල් වඩුවකුගේ මාහැඟි නිමැවුමක විස්මිත බව මෙන්ම මානවබන්ධුත්වය පිළිබඳ හැඟීම් දනවයි.

ගේය පදගත බස ද ස්වර රචනය ද ගායනය ද අතිවිශිෂ්ට සමායෝජනයකට එළැඹි මෙි තරමි පරිසමාප්ත මනරම් ගී මිණිරුවනක් මෑතකාලයේදී මම නොදිටිමි. මානව ජීවිතය වනාහි මෙලොව පවත්නා උදාරතම වස්තුව යි යන්න සමඟ එකඟ නොවන්නෝ කවරහුද?⁣ සුභාවිත ගීතය අභාවිතයට මෙන්ම අවභාවිතයට යන වකවානුවක මෙබඳු ගී මිණක් හමුවීම මොනතරම් භාග්‍යයක් ද? අද්‍යතන සිංහල ගී කෙතේ පඳුරු ලලා වැඩෙන වල්පැළ අතර කිරිවැදුණු රන් වී කරලක් දැකීම නෙතට උළෙලක් නොවෙිද? වත්මන් තරුණ පරපුරට පෙර පරපුරෙන් නැගෙන චෝදනාවලට නීතිඥ රජි වසන්ත වෙල්ගමයෝ මෙි ගීතය හරහා නිසි පිළිතුරක් සපයති. සාහිත්‍යය,සංගීතය, ගායනය මනාව කැටිවුණු මෙි ගී මිණ ධ්වනිතාර්ථපූර්ණය.

රසාලිප්තය.මනෝරංජනය.

මෙි වුකලි කලාව වෙනුවෙන් උදාර පරමාර්ථයකට ඇප කැපවී සිටින තවත් සාම්ප්‍රදායික දුප්පත් අහිංසක කලාකරුවකුගේ ජීවන ඛෙිදවාචකයයි. මෙබඳු සාමිප්‍රදායික කලාකරුවෝ අවවරප්‍රසාදිතයෝය.ඔවුහු වියත් කලාවෙි නිරතවූ රජවරුන්, පඬිවරුන්, යතිවරුන් මෙන් රාජ රාජ මහාමාත්‍යාදීන්ගෙන් වරදාන, වරප්‍රසාද ගරුබුහුමන් නොලැබු අහිංසක දුප්පත් සාමිප්‍රදායික කලාකරුවෝය. විවිධ දුක්ඛ දෝමනස්සයන්ට මුහුණදෙමින් පීඩත පන්තියේ පහළ අඩියේ ජීවත්වූ ඔවුහු සිය කලා මාධ්‍යයෙහි අතීත නිර්මිත සත්සම්ප්‍රදාය ආරක්ෂා කළෝය. ඔවුහු අනවරතයන්ම සිය කලාවෙි ජීවගුණය,උදාරත්වය නොනසා රැකගැනීමට සමත් වූහ. ලෝකයේ විශිෂ්ට කලාකරුවන් හැමවිටම තම පරමාර්ථය ලෙස අවධාරණය කර ඇත්තේ කලාවෙන් තමා ලබන අධ්‍යාත්මික වින්දනයමයි. ඔවුනට මූලික වූයේ මුදල නොව කලාවය. කලාකරුවා කලා නිර්මාණ නිපදවන්නේ තමාගේ යුගයේ බලපවත්වන ප්‍රතිගාමී දෘෂ්ටිවාද බිඳ හෙළීමටය. දෘෂ්ටිවාදී සිපිරිගෙදරින් ජනතාව මුදාගැනීමටය.එහෙත් අද රටෙි හැමතැනම සිටිනුයේ ගුත්තිල කාව්‍යයේ එන මූසිලලා වැනි ධන තෘෂ්ණාවෙන් වෙළෙඳ වසල කුලයට මුක්කු ගසන අවස්ථාවාදී කලාකරුවෝය. ඔවුහු සරස්වතිය ගණිකා වෘත්තියේ යොදවමින් ලක්ෂමිය තුරුලට ගනිති.

ගුත්තිල කාව්‍ය නිර්මාණය කරමින් වෑත්තෑවෙි හිමියෝ ව්‍යාජ කලාකරුවාගේ වෙස් මුහුණ ගලවා දැමූහ.මුදල නමැති යක්ෂයා මූසිලගේ ඉවසීම පලවා හැරියේය. මූසිලට වීණා වාදනය හැදෑරීම සඳහා කුසලතාවත් ආසාවත් උනන්දුවත් තිබිණ. එහෙත් ඔහුගේ මූලික අභිප්‍රාය වූයේ මුදල් ඉපයීමටය. මූසිල හොඳ වීණා වාදකයකු වීමට වඩා මුදල් උපයන්නකු වීමට ආසා කළේය. බරණැස් නුවර හොඳ වෙළෙඳ වටිනාකමක් ඇති සරුබිමක් වූ නිසා ඔහු එහි පැළපදියම් වූයේය. මූසිලගේ පරම පරමාර්ථය වූයේ ධනෝපායනයයි. ඔහුගේ කූට අභිප්‍රාය වූයේ ශිල්ප ශාස්ත්‍රය මැනවින් දත් ගුත්තිල පඬිවරයා අල්ලාගෙන වීණා වාදනය ප්‍රගුණ කොට ප්‍රදේශයේ ධනකුවෙිරයන් දිනාගැනීමය. මූසිල ශිල්පය වෙනුවෙන් කැපවුණු කලාකරුවකු නොවූයේ ද මෙි නිසාය.කලාකරුවාට ජීවිත්වීම සඳහා මුදල් අවශ්‍යය. එහෙත් ඔහු කිසිදු මොහොතක සිය ප්‍රතිභාව වෙන්දේසි නොකළ යුතුය. කලාකරුවාගේ මූලික අභිප්‍රාය විය යුත්තේ මුදල් ඉපයීම නොව කලාවයි. මුදල ද්විතීයික අරමුණ විය යුතුය.එහෙත් එබඳු කලාකරුවෝ දුර්ලභයෝය. මෙි ගීතයේ කථකයා ද එබඳු සුදුර්ලභ කලාකරුවෙකි.

ව්‍යවහාරික කලා අතර ඉපැරැණිම සම්ප්‍රදාය වනුයේ සිතුවම් හා සුරුවම් කලාවය. රළු බිතක, පාෂාණයක නන් විසිතුරු ලාක්ෂාවෙන් සිතුවම් මැවූ සිත්තරුන්ගේ ගල් වඩුවන්ගේ දස්කම් විස්කම් සීගිරියෙන්, තිවංක පිළිම ගෙයින්, සමාධි බුදු පිළිමයෙන් අපි දකින්නෙමු. අනුරාධපුරයේ කලාවැව අබියස තිබෙන අවුකන බුදු පිළිමය ද එබඳු විස්මකර්ම⁣යකුගේ දෑතින් නිමැවුණු සුරුවමකි. ධාතුසේන රජ සමයේ නිර්මාණය කළා යැයි පැවසෙන අවුකන පිළිමය භරණ නමැති ගල් වඩුවකු විසින් තැනූ විස්මිත සුරුවමකැයි ඉතිහාසඥයෝ කියති. අනුරාධපුරය වූකලි සිංහලයන් දීර්ඝතම කාලයක් අපරාජිතව වැජඹුණු රාජධානියයි. මෙි ශුද්ධ නගරයේ ජීවත්වන්නෝ බෞද්ධයෝය. ආගම යනු පීඩිත මිනිසාගේ සුසුමය. පීඩතයන්ගේ හදවතක් නැති ලෝකයේ හදවතය.එමෙන්ම ආගම යනු අබිං යැයි ද වරක් ජර්මානු දාර්ශනික කාල් මාක්ස් කීවේය.

මෙනයින් ආගමෙි පැටලීගත් කාව්‍ය, ගීත, සංගීත, චිත්‍ර මූර්ති ආදී අගනා කලා කෘති රාශියක් ඇත.එකී කලා කෘති නිපදවූවෝ අහිංසක දුප්පත් සාමිප්‍රදායික අව්‍යාජ කලාකරුවෝය. ඔවුහු නිරාමිස ප්‍රේමයෙන් නිස්සරණාධ්‍යාශයෙන් මෙි දස්කම් විස්කම් ලොවට දායාද කළහ. එහෙත් අප්‍රතිහත ධෛර්යෙන්, භක්තියෙන්, කැපවීමෙන් කළ එ් කිසිදු කලා නිමැවුමක ඔවුනගේ වතගොත හාංකවිසියක් නැත. ඒ සියල්ලට අයිතිවාසිකම් කියමින් බැබළෙන්නෝ රාජරාජ මහාමාත්‍යාදීහුය.ඔවුන්ගේ නම ගියේය. කලාකරුවන්ගේ හම ගියේය. මෙි වූකලි ව්‍යවහාරික කලාව පෝෂණය කළ දුප්පත් අහිංසක ගල් වඩුවකුගේ අඳුරු ජීවන අන්දරයයි. ගල් වඩුවෝ රළුපරළු පාෂාණ ගල් කටුවෙන් ඔප දමා නන්විධ පිළිම කැටයම් නිමවති.එහෙත් සිතේ සමාධිය නොබිඳමින් මෙි නිමැවුමි කළ යුතුය. ඔවුන්ගේ නිර්මාණ විශිෂ්ටත්වයට පත්වනුයේ ඊට අයත් සම්ප්‍රදායේ නියාම ධර්මවලට අනුගතවුහොත් පමණි.

මෙිතරම් සියුමැලි ද කළුගල්
හිතන්නටවත් බැරි නිසා
මම ගියා අවුකන බුදුන්ටත්
දෑස් දුන් මිනිසා සොයා

ගල් වඩුවා කළුගලක නෙළා ඇති සියුම් සිත්තම් දුටු මතින් රජි වෙල්ගම කවියාගේ සිතෙහි කුකුසක් පැන නගී.පාෂාණයක මෙතරමි සියුමැලි මල්කම් ලියකම් කළ හැකි දැයි ඔහු අසයි. මෙතරමි මනරම් විස්කම් කළ මිනිසා කෙරෙහි ඔහු තුළ අසීමිත ගෞරවාදරයක් උපදියි. අවසානයේ තම සිතෙහි ලොබලිය වැඩු මෙි අහිංසක දුප්පත් සාමිප්‍රදායික කලාකරුවා සොයායෑමෙි නොතිත් අාසාවක් කවියා තුළ උපදියි .

මම ගියා අවුකන බුදුන්ටත්
දෑස් දුන් මිනිසා සොයා

මෙි ගීතය කන වැකුණු සැණින් කේෂත්‍රයේ ඇතැමි ප්‍රවීණයෝ බුදුන්ට දෑස් දිය හැකි ජගතා කවුරුන් දැයි ඇසූහ. ඊර්ෂ්‍යා පරවශභාවයෙන් මඬින ලද ඇතැමි කූපමණ්ඩුක කුහකයෝ ක්ෂෙත්‍රයට පිළපන් නවකයාට ගර්හා කළහ. එහෙත් මෙි ගීමිණ ඒ සියලු අභියෝග ජයගෙන සුභාවිත ගී ⁣අඔර එකලු කළේය. අංගුලිමාල, නාලගිරි, නන්දෝපනන්ද, ආලවක, තීර්තක ආදීන් දමනය කළ බුදුන් රදුන්ගේ දෑස් පාෂාණමය අනුරුවකට නැගීම විස්මිත පෙළහරකි. අවුකන බුදුන්ටත් දෑස් දුන් මිනිසා යනුවෙන් කවියා අතිප්‍රබල ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කළ ද බෞද්ධ සාහිත්‍යයේම මෙි පිළිබඳ විවිධ කතා පුවත් ඇත.දෑස්දීම යන පද සංඝට්නාව බහුඅරුත් දනවන සුලුය. වරක් සුබා තෙරණිය කෝක නම් වූ වැද්දකුට සිය නෙත් සඟල උදුරා දුන්නීය. එයින් වැද්දා තමා කළ අනුවණකම ගැන පශ්චාත්පයට පත්වූයේය. මෙයින් ගම්‍යවනුයේ වැද්දාගේ ඇස් පෑදීමට සුබා තෙරණිය සරණ වූ බව නොවෙිද? දෑස්දීම යනුවෙන් අදහස් කරනුයේ ජීවිතාවබෝධය පිළිබඳ සංඥාර්ථයකි. බුද්ධ ප්‍රතිමාවක් නිර්මාණය කරන ශිල්පියා හුදු පූර්ව කෘතියක පිටපතක් නෙළන්නකුට වඩා බුදුන් වහන්සේගේ අධ්‍යාත්මික ගුණ සමුදාය නැණසින් දැක එය ප්‍රතිනිර්මාණය කරන්නෙකි. මෙනයින් බුද්ධ ප්‍රතිමා නෙළීම යනු බුදුන් මනසින් මවාගෙන ඊට සමවැදී කරනු ලබන භාවනායෝගී ව්‍යායාමයකි. මෙි ගීතයේ කථකයා ද එබඳු කලා ශිල්පියෙකි.

⁣කලාවැව ළඟ ඉලුක් හෙවණක
මැටි පිලක පැදුරක් එළා
රිදුම් පිරිමදිමින් බලයි ඔහු
මැරෙන ඉපදෙන රළ දිහා

මෙි කථකයා දුප්පත් අහිංසක අව්‍යාජ කලාකරුවෙකි.මෙයින් සංඥාර්ථ ගන්වන්නේ ඔහු තුළ ඇති අල්පේච්ඡතාවයි. දුගියෝ කවදත් අල්පේච්ඡ ජීවන ශෛලියකට අනුගතවූවෝය. ලෞකික සැප සම්පතින් ඈත් කරන ලද පන්ති සමාජය ඊට දෙස් දෙයි. කලා වැව ඉස්මත්තේ කටුමැටි නිවෙසක වෙසෙන මේ අසාහය කලාකරුවා සැඳෑඳුරත් කැටුව විත් කඩමලු පන් පැදුරක දිග ඇදී ගත සිත විඩාව නිවා ගනී. තනිකඩ ජීවිතයට හුරුවුණු ඔහුගේ විඩාබර සිරුරේ කකියන වෙිදනාව කාටනම් කියන්නද?⁣ තෙල් සාත්තු සප්පායම් කරන්නට කෙනකු නොමැති කල ඔහු සිය ගත සිත වෙිදනා සංතාප තනියම පිරිමැද ගන්නා බව නොවෙද මෙි කියන්නෙ?


රිදුම් පිරිමදිමින් බලයි ඔහු
මැරෙන ඉපදෙන රළ දිහා

මෙි වූකලි මොනතරම් රමණීය කාව්‍යෝක්තියක්ද? උත්පාද ඨිතී භංග යන දහම් පාඨය මැරෙන ඉපදෙන රළ යන යෙදුම ඇසෙන සැණින් සිහියට නැගෙයි. මෙි කථකයා අනිමිස ලෝචනයෙන් බලා සිටිනුයේ කලා වැව් දියමත නැඟී බිඳී යන රළ දෙසය. කලාකරුවාගේ මුළු ජීවිතයම ආගම දහමට නැඹුරුවී පේවි ඇති බව ඉන් තව දුරටත් සුවිශද වෙයි. ඔහු හිස් දියඹෙි රළට සිත්දී කල් මරයි. සංසාරයේ අනිත්‍ය බව මෙනෙහි කරයි. සැබෑ කලාකරුවෝ හැමවිටම සිය නිර්මාණ තුළින් ආත්මතෘප්තිය ලබති. ඔවුහු ලෞකික සැප සම්පත් හඹා නොයති.

ඉසුරුමුණියේ නුඹ තැනූ
පෙම්බරිය කොතැනද කියා
මා ඇසූවිට හිනැහුණා ඔහු
තවම තනිකඩ යැයි කියා

ඉසුරුමුණියේ පෙම් යුවළ භාවලීලා රසික හදවත් තුළ ශෘංගාර හැඟීම්, කමාස්වාදය ජනනය කරති. නරඹන්නෝ ඊට ලොබ බඳිති. ඔවුහු දිවියේ සොඳුරු තැන් සංස්පර්ශ කරමින් ඔද වැඩෙති. එහෙත් මෙි කථකයා ඒ සොඳුරු දිවි තතුවලින් විනිර්මුක්ව තනිකඩ දිවිපෙවෙතක් ගත කරයි. ඔහු සියලු ජීවන ලාලසා මඬිමින් අඳුර රජයන පාළුපැලේ හුදෙකලා අවනඩුවක පැටලී සිටියි. ඉසුරුමුණියේ සුන්දර පෙම් යුවළක් තැනූ ඔහුට ගේහසිත ප්‍රේමය පවා අහිමිය. සුතනඹුවන් නොමැති නිවෙස හිස් පාළු සොහොන් පිටියකි. කලාව වෙනුවෙන් මුළුමහත් ජීවිතයම කැපකළ මෙබඳු අසාහය නිර්මාණකරුවන්ගේ භාවනායෝගී ජීවිත කවදත් වීතරාගීය. ඔවුහු ගේහසිත ප්‍රේමයට ලොබලිය නොබඳිති. මෙි ගීතයෙන් අවුකන බුදු පිළිමය තැනූ නිර්මාණකරුවාගේ ප්‍රතිභා ප්‍රභා සුවිශද කරමින් රජි වෙල්ගම කවියා සිංහල බසෙහි සිරි විසිතුරු රැකීමට ද උත්සුකවෙයි. සක්ක පද අමුණමින් හරසුන් ගීත ලියන අැතැමුන්ට මෙය අතුල් පහරකි.. මෙබඳු සංවෙිදි කලාකරුවන් නොතකමින් ඇතැමි දේශපාලන අඳබාලයෝ අදටත් ඔවුනගේ නිර්මාණ කොල්ලකමින් සාක්කු පුරවාගෙන ප්‍රදර්ශන කාමයේ නිරතවෙති. එබඳු කලා විහීනයන්ට මෙි ගීතයෙන් රජී වෙල්ගමයෝ ප්‍රබල කනේ පහරක් ද එල්ල කරති.