Pages

Tuesday, October 13, 2020

ඔබට විරහ ගිනි නොගෙනේවා...

මේ ලෝකේ වැඩිපුරම ඉන්නේ තමන් දැකපු හීන ලස්සනට පාට කරලා අනුන්ට දීපු අය. ජීවිතේ කියන්නේ ලැබීම්වලට වඩා නොලැබීම්වලට. මේ අහස යට මේ පොළව මත කොයිතරම් නම් ප්‍රේම කතා තිබුණත් ඒ කතාව හැබෑවක් වෙලා රන් හුයෙන් දෑඟිලි බඳින්න ලැබෙන්නේ කීයෙන් කී දෙනාටද...

විකසිත පෙම් පොකුරු පියුම්
ඔබේ පයට පොඩි වී ගියාදෙන්
පතිකුලයට අද මට පිටුපා යන
මගේ සොඳුරු ළඳුනේ...

ආදරේ සැබෑ ස්වරූපය දකින්න ලැබෙන්නේ දිනුවොත් නෙමෙයි පැරදුණොත්... අන්න එදාට තමා සැබෑ ආදරේ දකින්න පුළුවන්. තමන් පණ වගේ ආදරේ කළ යුවතිය තව පිරිමියකුගේ පතිනිය වෙලා යන දවසට තමන්ගේ ආදරේ ගැන හිතලා සතුටු වෙන්න හැමෝටම බෑ. ඇත්තටම ආදරේ කියන්නේ අයිති කරගන්න එකට නෙමෙයි. ඒත් අපිට බැරිත් එහෙම හිතන්නයි.

හිතේ කඳුළු බිඳු රෑ තනි යහනේ
ඉහ ඉද්දර හිඳ ඉකි බිඳිනා සඳ
ආදර සැමරුම් ප්‍රේම පුරාණේ
ඔබට විරහ ගිනි නොගෙනේවා...

මතකයන් ගොඩක් වෙලාවට හිතට එන්නේ මහ රෑට. ඒ වෙලාවට විතරයි අපිට මතකය මඟෑරලා යන්න බැරි. මතකයන් එක්ක කොයිතරම් අපි අසරණ වෙනවද... මම අසරණ වුණත් ඒ මතකය ඔබට දුකක් නොගෙනේවා. මේ කාරණාවම බන්ධුල නානායක්කාරවසම් ප්‍රවීණ රචකයාත් කියනවා

“සිටිනා කොදෙව්වක නුඹ සැප විඳී නම්...
මවෙතින් ලැබුණු ආදරයත් ලැබේ නම්...
මතකය නුඹට හිරිහැරයක් නොවේ නම්...
තව කුමකට ද දුක් ගී කල්පනාවන්...”

අපේ මතකය ඔබට දුකක් නෙමෙයි නම්, මම වගේම ඔහුත් ඔබට ආදරය කරනවා නම්, කොහේ හරි තැනක සතුටින් ඉන්නවා නම් ඊට වඩා දෙයක් මට ඕනෑ නෑ.

තනිකම රජයන පාළු විමානේ
ගොම්මන් කළුවර හඬා වැටෙද්දී
ඔබ දිවි අරණේ රුවන් විජිතයේ
මැණික් පහන් වැට දැල්වේවා...

විවාහය... එක්කෝ හරි යන තැන. නැත්නම් වරදින තැන. හැමදේම නැති වෙලා ජීවිතය කළුවරටම වැටිලා තියෙද්දිත්, මාව දාලා ගිය ඔබට වරදින්න එපා කියලා මම ප්‍රාර්ථනා කරනවා. මේ තරම් ආදරණීය ප්‍රාර්ථනාවක් කරන්න පුළුවන් සැබෑම ආදරවන්තයකුට විතරයි. ආදරය වෙනුවෙන් කැප වෙන මිනිස්සු සංසාරේ කොතනක හරි සැනසෙනවා...