Pages

Sunday, April 24, 2011

බඹරුන් විතරයි තනියට ළඟ ඉන්නේ



අපි ඈතට ඈතට පා නගලා
ගන වනන්තරේ
අතර මං වෙමු
වසන්ත මල් ගොමුවේ
කාත් කවුරුවත් නෑ එන්නේ
ඉඳුල් නොවේ රුදු මිනිස් ඇසින්
අපේ ම පුංචි ලෝකයේ අප ඉන්නේ
බඹරුන් විතරයි තනියට ළඟ ඉන්නේ

කෙසේ ද අත් බැඳ ඇවිදින්නේ
වෙරළේ උයනේ තුරුළු වෙමින්
නෑ හිත මිතුරන් මගතොට හමුවන්නේ
උකුසු ඇසින් අප කෙළෙස ද ගැලවෙන්නේ


පද රචනය - මහාචාර්ය සුනිල් ආරියරත්න
සංගීතය හා ගායනය - වික්ටර් රත්නායක

නැත ලොවේ අන් රසඳුනා... ආදරේ සේ සුවදෙනා...

මහාචාර්ය සරච්චන්ද්‍රයන් අතින් නිමැවුණු මේ වැකිය ‘තත්සර ඇසුරෙහි කීප වාරයක් ම ලියැවෙන්නට ඇත. ආදරය ගැන ලියැවෙන බොහෝ අවස්ථාවල එය නිබඳ ව සිහිපත් වේ. ආදරයක දිග පළල ගැඹුර සොයන්නට තැත් කිරීම විශ්වයේ කෙළවර සොයන තරමට ම සංකීර්ණ ය. අවසාන තීන්දුව වන්නේ ආදරය යනු ආදරය ම මිස අනෙකක් නොවන බවයි.
ආදරය කරන්නන් මිහිපිට පය ගසා සිටින බව සැබෑවකි. එහෙත් ඔවුන්ගේ සිතුවිලි අහසේ සැරිසරයි. නිල් වළාකුළු කඳු වැටි අතරින් පාවී ඉර හඳ තරු අතරින් විශ්වයේ අනන්තය තෙක් පාවී යයි. ඔවුහු ලෝකයේ සියලු භෞතික වස්තූන්ගෙන් වෙන්වී තමන්ගේ මනෝලෝක තුළ කූඩුවෙති.
සාගරයේ ජලය නිමා නොවන්නාක් මෙන් ආදරය පිළිබඳ වස්තු බීජ නිමා නොවන්නේ එබැවිනි.

මේ ගීතයට පාදකවන්නේ ද පෙම්වතුන්ගේ රොමැන්ටික් සිහිනයකි. තමා පයගසා සිටින ලෝකයේ, ගල් බොරලු වැටකඩොලු සීමා මායිම් තැනෙද්දී ඔවුහු පියවි ලොවින් ඈත් වීමට ආශා කරති. ඔවුන් ප්‍රාර්ථනා කරන ලෝකය අතිශයින් මනරම් ය. රචකයා ඒ සිහිනය මෙසේ ස්පර්ශ කරයි.
more



අප ඈතට ඈතට පානඟලා
ගන වනන්තරේ
අතරමං වෙමු
වසන්ත මල් ගොමුවේ


ආදරයෙන් පිරීගිය අයට ගමනක නිමාවක් අවශ්‍ය නොවේ. සුන්දර ස්ථානයක් නම් එහි අතරමං වීම ද ඔවුනට සැපයකි. ඔවුන් අතරමං වන්නේ කටුලැහැබක නොවේ. රමණීය වූ වසන්ත මල්ගොමුවකයි. එය ඔවුනටම සීමා වූ ප්‍රේම පාරාදීසයකි. මේ ප්‍රේම පාරාදීසයේ සුරක්ෂිත බව රචකයා පදමාලාවට ගොනු කර ගනී. ඒ සුරක්ෂිත බව වූ කලී ප්‍රේමවන්තයින්ගේ සැබෑ මනෝ භාවයයි.


කාත් කවුරුවත් නෑ එන්නේ
ඉඳුල් නොවේ රුදු මිනිස් ඇසින්
අපේ ම පුංචි ලෝකයේ 
අපි ඉන්නේ
බමරුන් විතරයි තනියට 
ළඟ ඉන්නේ


සිහිනය වූ කලී යථාර්ථය නොවේ. යථාර්ථය කටුක වූ කල මිනිසුන් සිහින කරා පිය නඟයි. සිහිනය සිහිනයක් බව වටහා ගත හැකි නම් සිහින දැකීම වරදක් නොවේ. මේ පෙම්වතුන් බියවන්නේ කුමකට ද? ඒ වෙන කුමකටවත් නොව රුදු මිනිස් ඇසටයි. කේලාම් ඕපාදූප, චෝදනා, සියල්ලට ම මග පාදන්නේ මේ රුදු මිනිස් ඇසයි. මිනිස් ඇස ගැටුනොත් ඔවුන්ගේ ප්‍රේමයට තහංචි පැනවෙනු ඇත. එවිට ඇතිවන සංවේදනා ඔවුනට දරාගත නොහැකි වනු ඇත. එවැන්නකට මේ පෙම්වතා සූදානම් නැත. ඔහු අවට ලෝකයට වෛර නොකරයි. අවෛරී ලෙස සතුරු ලෝකයෙන් ඈත්වන්නට තීන්දු කරයි. මට නන්දා මාලිනියගේ ගීයක් සිහිවෙයි.


මේ සිර මැදුරෙන්
පැනයන්නට ඇත්නම්
මේ මුර සෙබලුන්
එළවන්නට ඇත්නම්
පවුරු වළල්ලෙන් එහා රටේ
අප දෙන්නා වෙනුවෙන්
මල් පිපේවි ආදරේ නමින්


මෙහිදී ප්‍රේමවන්තිය සමාජයට අභියෝග කරයි. එහෙත් මේ නිර්මාණයේ පිළිබිඹුවන පෙම්වතා සමාජයෙන් පළායයි. එය සුන්දර පළායාමකි.


කෙසේද අත් බැඳ ඇවිදින්නේ
වෙරළේ උයනේ තුරුළු වෙමින්
නෑ හිත මිතුරන් 
මගතොට හමුවන්නේ
උකුසු ඇසෙන් අප 
කෙළෙස ද ගැලවෙන්නේ


මුහුදු වෙරළ මල් උයන ප්‍රේමවන්තයන්ගේ පාරාදීසයන් ය. ඒ සොඳුරු පාරිසරික පසුබිම් ඔවුන්ගේ හදවත් කිතිකවා ඔවුනට ම උරුම ලෝකයක සිරගත කරනු ලබයි. එහෙත් මේ ප්‍රේමවන්තයන්ට ඒ සුවය විඳින්නට නොහැකි ය. හතරවටින් උකුසු දෑස් ඔවුන් වෙත එල්ල වී තිබේ. එසේ නම් මේ අනාරක්ෂිත සීමාවෙන් ඔවුන් පළා යා යුතු ය.
රචකයා මේ ස්පර්ශ කරනුයේ සිතුවිල්ලක් පමණි. ඒ සිතුවිල්ලෙන් නවයොවුන් ප්‍රේමය හා ඒ ඉදිරියේ ගොඩනැඟෙන බාධක සිහිගන්වනු ලබයි. මේ අදහස ම සුනිල් ආරියරත්නයන් විසින් සනත් නන්දසිරි ගාන්ධර්වයා විසින් ගයනු ලබන ගීයකට මෙසේ පද ගොනු කර තිබේ.


“ආලයට මඟ වැටී ඇත්තේ
මල් විමන් අතරින් නොවේ
පෙම්වතුන් යන මං පෙතක් මැද
මල් පිපී තිබුණේ ද කිසිදින”

(සුනිල් ආරියරත්න)
මේ ගී පද තවදුරටත් ආලෝකවත් වන්නේ වික්ටර් රත්නායකයන්ගේ සංගීතය හා ගායනයෙනි.

“අපි ඈතට.. ඈතට පා නගලා

සංගීතඥයා තම ස්වර රටා මඟින් රසිකයා ද ඈතට ඈතට කැඳවාගෙන යයි. වික්ටර් රත්නායක නැමැති ගායකයා මතු වූ නිසා ම එතුමන්ගේ තනු පිළිබඳ කතිකාවතක් ගොඩ නොනැඟුණු බව මගේ හැඟීමයි.
අනාගතයේ හෝ වික්ටර් රත්නායක නැමැති සංගීතඥයා පිළිබඳ ව පුළුල් කතිකාවතක් ගොඩනැඟෙන බව මගේ විශ්වාසයයි. ගුණදාස කපුගේ ද තනු නිර්මාණකරුවකු ලෙස කතා බහට ලක් නොවූ අපූරු තනු රචකයෙකි.
වර්තමානයේ ඇසෙන බහුතරයක් ප්‍රේම ගීත තාච්චියේ බැදෙන පපඩම් වැනි ය. දින කීපයකින් පොඩි පට්ටම් වන ඒ ගීත ඉදිරියේ මෙබඳු ගීත මැණික් පහන් සේ බබළයි. ප්‍රේමය පවතිනතාක් මෙබඳු ප්‍රේම ගීත අප අතර නොනැසී පවතිනු ඇත.