Pages

Saturday, April 16, 2011

ආඩම්බරයි ලොක්කා !

මස්ත ලෝකයේ ජනගහනය කෝටි හයසිය පනහ ඉක්මවා සිටී. ඒ අතර කලාකරුවෝ ලක්‍ෂ ගණනක් සිටිති. දේශපාලකයෝ හා රාජ්‍ය තාන්ත්‍රිකයෝ ලක්‍ෂ ගණනක් සිටිති. ආගමික නායකයෝ, ශාස්තෲහු හා ක්‍රීඩා තරු සිටිති. එයිනුදු මුළු මහත් ලෝකයට බලපෑමක් කළ හැකි ජනප්‍රිය හා ආකර්ෂණීය පුද්ගලයන් ගණන් කර පෙන්විය හැකි ය. “ටයිම්” සඟරාව එම අභියෝගය භාරගෙන තිබේ. වසර කිහිපයක පටන් එහි ප්‍රතිඵල නිකුත් වේ. 2011 වසරේ බලසම්පන්න ම හා කැපී පෙනෙන ම නායකයකු ලෙස මහින්ද රාජපක්‍ෂ මහතා තේරී පත් ව සිටී. අපේ ජනාධිපතිවරයා ලෝකයේ බලවත් ම පුද්ගලයන් අතර හයවන ස්ථානයට පත් ව සිටී.
Read more

ජනප්‍රියත්වය, විශිෂ්ටත්වය හා ආකර්ෂණය ඉබේ ලැබෙන්නේ නැත. කොටින් ම රාජ්‍ය නායකයකුට එබඳු තත්ත්වයක් ලබාගැනීම සඳහා මනා පෞරුෂයක් තිබිය යුතු බවත්; අභියෝග ජයගත යුතු බවත් අමුතුවෙන් කිව යුතු නො වේ. ලෝකයේ බලවත් හා ධනවත් රාජ්‍යයන්හි නායකයන් ජනප්‍රියත්වයෙන් පහළට ඇද වැටෙත් දී පුංචි ශ්‍රී ලංකාවේ රාජ්‍ය නායකයා තම අභිමානය, ගෞරවය හා ආකර්ෂණය රැකගෙන තිබේ.
”ටයිම්” සඟරාව මගින් පවත්වනු ලබන මේ ජනමත සමීක්‍ෂණයේ සම්පූර්ණ ප්‍රතිඵලය අප වෙත ලැබී තිබේ. රටක රාජ්‍ය නායකයකුට කෝටි හයසිය ගණනක් වූ ලෝක ජනගහනය අතරින් ජනප්‍රිය ම හා බලවත් ම පුද්ගලයකු විය හැකි නම්, එය නායකයාට පමණක් නො ව එම රටටත් - ජාතියටත් ගෞරවණීය අවස්ථාවක් වේ.
අන්තර්ජාතික ටයිම් සඟරාව වසරකට වරක් මෙබඳු ජනමත සමීක්‍ෂණයක් පවත්වයි. දේශපාලන, ආගමික, කලා, ක්‍රීඩා, බලශක්ති, තාක්‍ෂණික, විද්‍යා යනාදී ක්ෂේත්‍ර ගණනාවක් ඔස්සේ ජනප්‍රිය ම පුද්ගලයන් සිය දෙනා තෝරාගැනීම මෙහි අරමුණ වේ. ඉහත සමීක්‍ෂණයේ දී ඇමෙරිකන් ජනාධිපති බැරක් හුසේන් ඔබාමා සිටිනුයේ මහින්ද රාජපක්‍ෂ මහතාට බොහෝ පහළින් ය. ආසියාවේ රාජ්‍ය නායකයකු මේ සමීක්ෂණයේ දී ඉදිරියෙන්ම සිටිනුයේ කලාතුරෙකින් ය. එහෙත් මහින්ද රාජපක්ෂ මහතා පුංචි ශ්‍රී ලංකාවේ අභිමානය රකිමින් ආසියාව ද වැදගත් තැනෙකට ඔසවා තබා ඇත.
මහින්ද රාජපක්ෂ මහතා ලෝකයේ බලවත් හා ජනපි‍්‍රය පුද්ගලයකු බවට පත්වන්නේ කෙසේ ද? ඊට බලපාන ප්‍රධාන කරුණු කිහිපයක් ඇතැ’යි විශ්ලේෂකයෝ පෙන්වා දෙති. ත්‍රස්තවාදය පරාජය කොට ශ්‍රී ලංකාවට නිදහස ඛ්ා සාමය ලබාදීම එහි මුල්තැනට ගැනේ. දේශපාලන ස්ථාවරත්වය දිගුකාලීන ලෙස රැකගැනීම දෙවන තැනට ගැනේ. ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනය ස්ථාවර ලෙස පවත්වාගැනීම තෙවන තැනට ගැනේ. අන්තර්ජාතික වශයෙන් සුහදතාව රැකගැනීම හතරවන තැනට ගැනේ. මේ සියල්ල රාජ්‍ය පාලනයේ දී කැපී පෙනෙන ලක්ෂණ ලෙස සලකනු ලැබේ.
අපගේ මාතෘභූමිය හෙවත් ශ්‍රී ලංකාව 2005 වන විටද පැවැතියේ අතිශය දුෂ්කර අවදියක ය. යුද්ධය, ත්‍රස්තවාදය , බෙදුම්වාදය හා දේශපාලන මත ගැටීම් කෙළවරක් නැතිව පැවැතිණි. දුප්පත්කම වර්ධනය වෙමින් රැකියා වියුක්තිය හා තරුණ අසහනය ව්‍යාප්ත වෙමින් පැවැතිණි. එදා ශ්‍රී ලංකාව අසාර්ථක රාජ්‍යයක් ලෙස සලකන ලද අතර ලෝක බැංකුව ඇතුළු අන්තර්ජාතික මූල්‍යායතන ණය හා ආධාර කපා හැර තිබිණි. නිදහසින් පසු ශ්‍රී ලංකාව ගෙවා දැමූ අසාර්ථකම වසර තිහ පසුගිය කාලය තුළ දක්නට ලැබිණි. එහෙත් මහින්ද රාජපක්ෂ මහතා බලයට පත්වීමත් සමඟ 2005 හැරවුම් ලක්ෂයක් බවට පරිවර්තනය විය.
ලෝකය පුරා රටවල් අසූ ගණනක පැවැති සිවිල් යුද්ධ හා අභ්‍යන්තර කලබැගෑනි නිට්ටාවට අවසන් නො වූවද ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදය, බෙදුම්වාදය හා යුද්ධය අවසන් කිරීමට මහින්ද මහතාට හැකි විය. එය ලෝක දේශපාලනයේ සුවිශේෂ අවස්ථාවක් ලෙස සටහන් වී ඇත. බිඳවැටුණු සංචාරක කර්මාන්තය මෙන් ම ආයෝජකයන්ගේ ආකර්ෂණය ද නැවත ශ්‍රී ලංකාව තුළ ස්ථාපිත වී තිබේ. 2005 න් පසු කරන ලද ජන මත සමීක්ෂණ ගණනාවක ප්‍රතිඵලයට අනුව ශ්‍රී ලංකාවේ රාජ්‍ය නායකයා අතිශය ජනපි‍්‍රය කැපී පෙනෙන පුද්ගලයෙකි. එමෙන් ම ශ්‍රී ලංකාව ද වේගවත් ආර්ථික දියුණුවක් සහිත සුවිශේෂ රාජ්‍යයෙකි.
මහින්ද රාජපක්ෂ මහතා මේ අභිමානය ලබාගෙන ඇත්තේ ඓතිහාසික ජයග්‍රහණ ඔස්සේ ය. ඔහු වරෙක සිය ජීවිතය අභියෝගයට තබමින් ජනතාවගේ නිදහස වෙනුවෙන් පෙනී සිටියේ ය. ඔහු තව වරෙක කම්කරු ජනතාවගේ යහපත උදෙසා තම තනතුරු හා තාන්නමාන්න උගසට තැබුවේ ය. ඔහු තවත් වරෙක තම ජීවිතය අභියෝගයට ලක් කරමින් ජනතා දේශපාලනයක් වෙනුවෙන් පෙනී සිටියේ ය. අභ්‍යන්තර තර්ජන, බාහිර තර්ජන යන සියල්ලට මුහුණ දුන්නේ ය. එහි ප්‍රතිඵල අද දකින්නට ලැබේ.
ඇමෙරිකාවේ ජනාධිපතිවරයාට මෙන්ම ලිබියාවේ නායකයාට ද මහින්ද රාජපක්ෂ මහතා වෙතින් යමක් ඉගෙනීමට තිබේ. එය නායකත්වයේ රහසක් ලෙස පෙන්වා දෙන්නට කැමැත්තෙමු.