Pages

Tuesday, April 26, 2011

සැඳෑ වරුණ ගැයේ මෙසේ..................

ගීතයට පදනම් වන ප්‍රස්තුතයෙහි මූලික හැඩතල අනුව ඒ ගීතය හරහා මතුවන රසය ද විවිධ හැඩතල උරුම කරගනී. එකම ප්‍රස්තුතය මඟින් බිහිවන විවිධ රසභාවයන් රසිකයාගේ සිත් සතන් පුරවා ලමින් ඔවුන් ආනන්දයටත් ඒ හරහා ප්‍රඥාවටත් යොමු කරවයි. ගීතය සඳහා ස්වභාවධර්මය වස්තු විෂය කර නොගත් කිසිදු ගේය පද රචකයකු මේ මිහිතලයෙහි අපට හමු නොවේ. ස්වභාවධර්මයේ විවිධ සංසිද්ධීන්, වෙසෙසින්ම ස්වභාව සෞන්දර්යේ විවිධ පැතිකඩ සිය ගීත මඟින් සන්නිවේදනය කිරීමට උත්සාහ ගනු ලබන පද රචකයන් අත ස්වභාව සෞන්දර්ය තේමා කොටගත් වචන සමුදාය ගේය කාව්‍යයක් බවට පත්වනුයේ නිරායාසයෙනි.
සැන්දෑව වූ කලි මෙසේ ගේය පද රචකයන් අත පිරිපහදු වී එහි නොයෙක් හැඩතල ඇසුරින් රසිකයාගේ භාවමණ්ඩලය ආමන්ත්‍රණය කරනු ලබන සියුම් ප්‍රස්තුතයකි. සැන්දෑව, සැඳෑ අහස, සැඳෑ කළුවර, සැඳෑ වෙලාව, සැඳෑ සෞන්දර්ය හරහා මූලික ලෙස ගලායන විවිධ අනුභූතීන් රසිකයාගේ හදවත සියුම් ලෙස ආමන්ත්‍රණය කරයි.
සැඳෑ අඳුර ලොව ගලන වෙලාවට
කවුළු පියන් පත් වැසෙන වෙලාවට
දහසක් දොම්නස් සිහින පැතුම් මැද
තනිවුණු ඔබෙ සුසුමන් සෙමින් විත්
මගෙ හදවත පාරයිmore

සැඳෑ අඳුර විසින් කවියාගේ මනෝභාවයෙහි ඇති කරනු ලබන සිතුවිලි සමුදාය විචිත්‍රවත් ලෙස ගීතයට නඟන සෝමතිලක ජයමහ සිය පද රචනාවට තමන් විසින් සංගීත සංයෝජනය කොට ගයනු ලබන ඉහත ගීතය අප හදවත්හි ඇති කරනු ලබන චමත්කාරය කෙතරම් ද? උක්ත ගීතය සිංහල ගීත සාහිත්‍යයේ බිහිවූ අගනා නිර්මාණයකි. සැඳෑ අඳුර හා සබැඳි මේ ගීතයෙහි නිම්නාද වන සෝමතිලක ජයමහ ගේ සුපහන් ගායනය කිසිදු වෙහෙසකින් තොරව රසිකයා ආමන්ත්‍රණය කරයි. එසේම රසිකයා ද කිසිදු වෙහෙසකින් තොරව එය රස විඳියි.
මඩවල එස්.රත්නායක විසින් රචනා කරන ලදුව නන්දා මාලිනිය සංගීතවත් කොට ගයනු ලබන පහත ගීතය සැබැවින්ම රසිකයාගේ හදවත් හි පාළුව, කාන්සිය, තනිකම දනවයි.
සැඳෑ කළුවර කුර ගගා විත්
ඔබේ පැල්පත මගේ දසුනින්
ඈත් වූ සඳ මගෙ සරා සඳ
තනිවෙලා මා තනිවෙලා

”සැඳෑ කළුවර කුරගගා විත්” යන්න මෙන්ම “ඈත් වූ සඳ මගෙ සරා සඳ” යන්න ද සැබැවින් ම කවියාගේ ප්‍රතිභාව ස්ඵුට කරවයි. සෙමින් ගලන අඳුර සංකේතවත් කිරීමෙහිලා “සැඳෑ කළුවර කුර ගගා විත්” යන්න යෙදීම කොතරම් අපූර්වත්වයක් අප සිත ජනිත කරන්නේද?
ඩෝල්ටන් අල්විස් විසින් රචනා කරන ලද නීලා වික්‍රමසිංහ විසින් ගයනු ලබන පහත ගීතය ද සැඳෑ අඹරේ මතුවන සියුම් සංකල්පනා ඉතා පොහොසත් ලෙස පැදි පෙළට නඟයි.
සැඳෑ අඹරේ නිශා මල් යට
වළාකුළු යහනතේ වැතිරී
මඟ බලා ඉන්නම්....

සැන්දෑවේ තම අපේක්ෂා ඉටුවන තෙක් මඟ බලා සිටින සුපෙම්වතියකගේ සිතුවිලි සමුදාය හරහා බිහිවන මේ ගීතය හරහා මතුවන රසභාවයන්හි අන්තර්ගත සියුම් නාද මාලාව හරහා මතුවන නීලා වික්‍රමසිංහ ගේ ගායන මාධූර්ය ඉතා ළයාන්විත ය.
සුනිල් සරත් පෙරේරා යනු ස්වභාව සෞන්දර්ය තම ගේය කාව්‍යයන් සඳහා ඇසුරු කරන ලද විශිෂ්ට පද රචනයකි. ඔහු විසින් රචනා කොට සංගීත නිපුන් සනත් නන්දසිරි විසින් ගයනු ලබන පහත ගීතය ද සැන්දෑව ඇසුරින් බිහිවී ඇති රමණීය ගීතයකි.
සැන්දෑ කළුවර ගලා හැලෙන විට
සෙනෙහස දැල්වෙන නිවස සොයා යමි
ඔබේ සිනා සඳ මඬල මුවාවෙන්
ජීවිතයේ දුක් වෙහෙස නිවාගමි

සැන්දෑ කළුවර ගලයි. කථකයාගේ එකම පැතුම වී ඇත්තේ තම ප්‍රියම්බිකාවගේ සෙවණ රැඳි කුටුම්භයෙහි ඇයගේ සඳමඬල වූ මුහුණින් පළවන සිනාවෙන් ජීවිතයේ දුක් වෙහෙස නිවාගැනීමේ පැතුම පමණි. ඇයගේ සිනාව ඔහුගේ දාහය, තාපය නිවාදමයි. සැන්දෑව කවියාගේ සිතෙහි මතු කරනු ලබන යථාර්ථවාදී චිත්‍රය කදිමට නිරූපණය කිරීමට විශාරද සනත් නන්දසිරි ගේ ගායනයත් සංගීතයත් මනා ලෙස බද්ධ වී තිබේ.
ලූෂන් බුලත්සිංහල විසින් රචනා කරන ලද මාලිනී බුලත්සිංහල ගයනු ලබනුයේ මෙතෙක් අප නොදුටු සැඳෑවේ සංකේත රූපයකි.
සැන්දෑ අහස වගේ - සැරසී මට ඉන්න කියා
කියන්න ඇයි ඔබ නාවේ - මා රිදවන්නද සිතුවේ

ප්‍රේමාන්විත යෞවනියකගේ බිඳුණු ප්‍රාර්ථනා ඇසුරින් බිහිවී ඇති ඉහත ගීතය සැඳෑවෙහි ඇති චමත්කාරය යෞවනියකගේ සෞන්දර්යාත්මක වටපිටාව ඇසුරෙහි බිහිවේ.
විශාරද දයාරත්න රණතුංග ගේ ගායනයෙන් හා සංගීතයෙන් පිරිපුන්
සැන්දෑ අහසේ ඉරට මුවාවෙන්
කාලය කවුළු දොරින් මිය යනවා

යන ගීතය ද සැඳෑව ඇසුරින් ජීවිතයෙහි යථාර්ථය පසක් කරවයි. කාලය ගෙවේ. ජීවිතය නොනැවතී ගමන් කරයි. දිනෙන් දින ජීවිතය වෙනස් වේ. එහෙත් ප්‍රාර්ථනා අපේක්ෂා අතීතයෙන් හෝ ගලා විත් අප හා නොනැවතී බද්ධ වේ.
විශාරද දයාරත්න රණතුංග ගායනා කරනු ලබන අනෙකුත් ගී අතර මේ ගීතයට හිමිවනුයේ සුවිශේෂී ස්ථානයකි.
කුලරත්න ආරියවංශ විසින් රචිත රෝහණ සිරිවර්ධන ගායනා කරනු ලබන
ඔබේ අතගෙන පෙර සැඳෑවක
උයන් තෙර හිඳ ආදරෙන්
ගැයූ කුළුඳුල් ප්‍රේම ගීතය
විරහ ගීයක් නොවේවා

මේ වූ කලි ප්‍රේමවන්තයකුගේ අව්‍යාජ පැතුමකි. නැවුම් ප්‍රාර්ථනාවකි. පෙම්වතාගේ මුවින් පිටවන ඔහුගේ කුළුඳුල් ගීතය ගැයෙන සැඳෑවට අප ද ආශක්ත වෙමු.
ඉහතින් මා දැක්වූයේ සැඳෑව ඇසුරු කොටගත් ගීත කිහිපයෙක මතකයක් පමණි. මෙයට අමතරව සැන්දෑව ප්‍රස්තුත කොටගත් විශාල ගීත රාශියක් බිහි වී තිබේ. ඒ අතර ප්‍රියා සූරියසේන ගායනා කරනු ලබන “සැන්දෑයාමේ” ගීතය මෙන්ම පණ්ඩිත් අමරදේවයන් ගයන “ප්‍රේම සැඳෑවෝ” ගීතය ද ප්‍රධාන වේ.