Pages

Wednesday, April 13, 2011

මානව ඉතිහාසයේ සුවිශේෂ සැණකෙළිය සුරකිමු

මානව ඉතිහාසයේ ස්‌ථාවර ජනාවාස ගොඩනගා ගනිමින් කෘෂිකාර්මික යුගයට අඩිතාලම දමාගැනීමට මිනිසාට වසර ලක්‍ෂ ගණනක කාලයක්‌ ගතවී ඇති ආකාරය ජගත් ඉතිහාසයේ දැක්‌වේ. මානව වංශකථාවේ ලොව ප්‍රථම මහා ශිෂ්ටාචාර වශයෙන් සැලකෙන නයිල් නිම්න, මෙසපොටේමියානු, ඉන්දු නිම්න හා හොවැංහෝ ශිෂ්ටාචාරයන්ට ප්‍රථම මානවයා කෘෂි යුගයට අවතීර්ණ වී ඇති බවට සාක්‌ෂි, සාධක ලොව විවිධ ප්‍රදේශයන්ගෙන් හමුවෙමින් පවතී. ආර්ය සංක්‍රමණයට පෙර ඉන්දියාවේ පැවැති ඉන්දු නිම්න ශිෂ්ටාචාරය නාගරික ශිෂ්ටාචාරයක්‌ බවත්, එය ක්‍රි. පූර්ව 3500 තරම් දූරාතීතයට දිව යන ඉතිහාසයකට උරුමකම් කියන බවත් ඉන්දීය ඉතිහාසඥයෝ සඳහන් කරති. නාගරික ශිෂ්ටාචාරයකට පෙර ග්‍රාමීය ශිෂ්ටාචාරයක්‌ තිබිය යුතුමය. ඒ පිළිබඳ අධ්‍යයනය කිරීමේදී ඇෆ්ගනිස්‌ථාන දේශ සීමාවට ආසන්න භූමිය තුළ ක්‍රි. පූර්ව 6000 තරම් දූරාතීතයේ "නර්මදා සභ්‍යත්වය" පැවැති බවත් එය භාරත දේශයේ යුගයක ආරම්භය බවට සැකකරන බවත් ඉතිහාසඥයෝ පවසති. ඒ අනුව නර්මදා සභ්‍යත්වයට ඇත්තේ වසර 8000 ක ඉතිහාසයකි. ඉන්දු නිම්න ශිෂ්ටාචාරයට වසර 5500 ක ඉතිහාසයක්‌ ඇති අතරම ශිෂ්ටාචාර තුළ පවා "ගවයා" ශුද්ධ වස්‌තුවක්‌ ලෙසින් සැලකූ ආකාරය පුරාවිද්‍යාත්මකව තහවුරු කර ඇත.Read more

ඉන්දීය ඉතිහාසය එසේ වෙද්දී, ඉන්දු නිම්න ශිෂ්ටාචාරයට සමගාමීව හෙළයේ ශිෂ්ටාචාරයක්‌ ගොඩනැගුණු බව හිටපු පුරාවිද්‍යා කොමසාරිස්‌ ජනරාල් ආචාර්ය ශිරාන් දැරණියගල මහතා අවධාරණය කරයි. අනුරාධපුරයේ ඇතුළු නුවර ඔහු සිදුකළ කැණීමකින් තහවුරු වී ඇත්තේ ක්‍රි. පූර්ව 09 වැනි සියවසේදී එම භූමියේ නාගරික සභ්‍යත්වයක්‌ පැවැති බවයි. නාගරික සභ්‍යත්වයක මූලික ලක්‌ෂණ, සාධක ආචාර්ය ශිරාන් දැරණියගල එම කැණීම් මගින් අනාවරණය කරගෙන ඇත. එහෙත් කැලණිය විශ්වවිද්‍යාලයේ ආචාර්ය ප්‍රේමතිලකයන් හා ස්‌වීඩනයේ පර්යේෂකයන් පිරිසක්‌ එක්‌ව පෙර කළ අපගේ මහාඑළිය හෙවත් වත්මන් හෝර්ටන්තැන්නේ සිදුකළ පුරාවිද්‍යාත්මක කැණීම මගින් වසර 14000 කට පෙර තිබූ රයි, බාර්ලි වැනි ධාන්‍ය වර්ගයන්ගේ පරාග පොසිල හමුවී තිබේ. ඒ මගින් අනාවරණය වනුයේ අපගේ කෘෂි ඉතිහාසය ඈත අතීතයට දිවයන බවට දැනට වසර දස දහසකට පෙර අවසන් අයිස්‌ යුගය නිමා වන විටදීත් හෙළයා කෘෂි යුගය ගතකරමින් සිටි බවට එම මහඑළිය පර්යේෂණ දත්ත සාක්‌ෂි පවසයි.

කාල් මාක්‌ස්‌ගේ සමාජ පරිණාම සූත්‍රයට අනුව දඩයම් හෝ එඩේර යුගවලට සාපේක්‌ෂව කෘෂි යුගය වඩාත් දියුණු තත්ත්වයකි. කෘෂි යුගයේදී ආසියාව තුළ ගවයාට වන්දනීය තත්ත්වයක්‌ ලැබී තිබූ බවට ඉන්දු නිම්න ශිෂ්ටාචාර සේම පුරාණ පර්සියාවේ පැවැති සරතුෂ්ත්‍රාගමට අනුවත් තහවුරු වේ. සූර්ය වන්දනාවත් ඊට සමගාමීවම ඇරඹුණු බවට කිසිදු සැකයක්‌ නැත. හිරුගෙන් තොරව වගාවක්‌ සිදුකළ නොහැකි බව එම යුගයේදී දිවි ගෙවූ පූර්ව ඓතිහාසික මානවයා පවා අවබෝධ කරගෙන සිටීම ඊට බලපා තිබේ.

මේ ආකාරයට ඉන්දු නිම්න ශිෂ්ටාචාරයට සමගාමීව පැවැති හෙළයේ අනුරාධපුර ශිෂ්ටාචාරය තුළින් සූර්¨යයා මෙන්ම ගවයා ගොවි ජනතාවගෙන් පිදුම් ලැබුවාට කිසිදු සැකයක්‌ නැත. හෙළ බක්‌මහ උළෙලේ ආරම්භය පිළිබඳ නිශ්චිතවම කාල වකවානු ගණනය කිරීමක්‌ මෙතෙක්‌ සිදුවී නැතත් ඈත එපිට කෘෂි යුගයේ මුල් කාලවකවානුව දක්‌වා වූ දූරාතීතයට එහි ආරම්භය දිව යනවාට කිසිදු සැකයක්‌ නැත. මහා භාරතයේ ක්‍රි. පූව_ 1500 තරම් දූරාතීතයේ දී ආර්ය සංක්‍රමණය සිදුවීමෙන් අනතුරුව ඉන්දු නිම්න ශිෂ්ටාචාරය විනාශ කෙරුණත්, වේද යුගයේ ආරම්භයත් සමගින් ඉන්දු දහමට පදනම දැමුවාය යන්න පොදු විශ්වාසයයි. වේද යුගයට පෙරදී පවා සූර්ය නමස්‌කාරය සිදුකෙරුණත් ආගමික චාරිත්‍රයක්‌ බවට එය පත්වනුයේ වේද යුගයේදී බව තර්කානුකූලව එම යුගයේ සිටම නැවුම් සහල් මංගල්‍යයක්‌ බඳු වූ තෛපොන්ගල් උළෙලේ පැවැත්වීම ඇරඹුණාට සැකයක්‌ නැත. වේද යුගයේ මුල් කාල පරාසය තුළ සිටම අස්‌වනු නෙළීමෙන් පසුව නව අවුරුදු උළෙල සැමරීමට පෙළඹුණා විය හැකිය. මේ ආකාරයට ඉන්දු දහම මුල්කරගෙන හින්දු බැතිමතුන්ගේ නව අවුරුදු උළෙලත් සිංහල බෞද්ධ ජනතාවගේ නව අවුරුදු උළෙලත් අප්‍රේල් හෙවත් බක්‌මහට යෙදීමට භූගෝලීය වශයෙන් පිහිටීමත්, කෘෂි ආර්ථිකය පසුබිම් කරගත් ජීවන රටාවත් දැඩිව බලපෑ බව පොදුවේ පිළිගත් විද්වත් මතයයි. මෙම අසිරිමත් උළෙලට සොබා දහමත්, ආගම දහමත්, ආර්ථිකයත් ඒ වාගේම ජ්‍යෙdතිෂයත් සහසම්බන්ධ වී තිබීමත් සුවිශේෂ කාරණයකි. හෙළ බක්‌මහ උළෙලේ සියලු වත් පිළිවෙත් ජ්‍යෙdතිෂය මුල්කොටගෙන නිර්මාණය වීමත් චිරාත් කාලයක්‌ මුළුල්ලේ සිට පැවැත එන්නකි. 

සිංහල හා හින්දු අලුත් අවුරුදු උළෙල මිහිපිට පවත්නා අසිරිමත්ම උළෙලක්‌ බවට පත්ව ඇත්තේ නැකතක්‌ මුල්කරගෙන එකම වේලාවකට මුළුමහත් ප්‍රජාවම වැඩ අත්හිටුවීම, පුණ්‍ය කාලය ගත කිරීම, ළිප ගිනි දැල්වීම. කිරි ඉතිරවීම, කිරිබතක්‌ සැකසීම, එකම වේලාවක ආහාර අනුභවය, වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම සේම හිසතෙල් ගැල්වීම හා රැකියාවකට පිටත්වීම පවා සිදු කිරීම කරණකොට ගෙනය. ඊට අතිරේකව හෙළ බක්‌මහ උළෙලට අන්තර්ගත තවත් සුවිශේෂ අංග රාශියකි. ගුරු දෙගුරුන් ඇතුළු ඥාතීන් නැමදීමට මවුපියන් ඇතුළු ඥාතීන් බැහැදැකීමට තෑගි බෝග රැගෙන යැමත් බුලත් හුරුළු දී වන්දනාමාන කිරීමත්, පවත්නා මතභේද, අසමගිකම්, අමනාපකම් අහෝසි කර ගනිමින් නව සබඳතා ඇතිකර ගැනීමත්, පවත්නා සබඳතා අලුත්කර ගැනීමත් මෙම මාහැඟි අසිරිමත් උළෙලට අයත් වත් පිළිවෙත් අතර වඩාත් කැපී පෙනේ. ඊට අමතරව එදා ස්‌වයංපෝෂිත ආර්ථික රටාවකට උරුමකම් කී කෘෂිකාර්මික සමාජය බක්‌මහ වනවිට අස්‌වනු නෙළා අටුකොටු පුරවාගෙන සතුට, සොම්නස හා විවේකය පිරුණු බක්‌මහ නව අවුරුදු උදාවත් සමගින් සියලු දේ අලුත් කරමින් නොනැවතී, සාමූහික කෙළි සෙල්ලම්වල යෙදීමත් සුවිශේෂ කාරණයකි. බක්‌ මහේදී ගැමි හෙළයා යෙදෙන ක්‍රීඩා ගෘහ වේවා, එළිමහන් වේවා ඒ සියල්ලම සාමූහිකව සහභාගි විය හැකි කෙළි සෙල්ලම් වීමත්, එහිදී එදා සමාජයේ බොහෝ මානව කණ්‌ඩායම් හෝ ගෝත්‍ර අතර පැවැති කාන්තාව කොන් කිරීමේ රටාවෙන් බැහැරව පිරිමි - ගැහැනු භේදයකින් තොරව කෙළි සෙල්ලම්වලට සම්බන්ධවීමේ අවස්‌ථාව සැලසීමත් විශේෂයෙන් කැපී පෙනෙන කාරණයකි. මෙම කෙළි සෙල්ලම් ගම තුළත්, ගම් අතරින් ජාති, කුල, ආගම් භේදයකින් තොරව විශේෂයෙන් පන්ති භේදයකින් තොරව ලිංග භේදය පවා පිටු දකිමින් පවත්වමින් ලොව හමුවේ ලබාදෙන ආදර්ශය මානව සමාජයේ කිසිදු ජන කොට්‌ඨාසයකින් දැකගත නොහැකි තරමේ විරල සංසිද්ධියකි. චිරාත් කාලයක්‌ මුළුල්ලේ බක්‌මහ උළෙලට අයත් සියලු ආකාරයේ වත් පිළිවෙත් චාරිත්‍ර වාරිත්‍ර අඛණ්‌ඩව පවත්වාගෙන යැමට හෙළයාත්, එමෙන්ම අපගේ අසල්වැසි හින්දු බැතිමතුනුත් සමත්වීමත් සුවිශේෂ කාරණයකි.

එය වඩාත් කැපී පෙනෙනුයේ මාක්‌ස්‌ගේ සමාජ පරිණාම සූත්‍රයට අනුව එදා ගෝත්‍ර සමාජයේ කෘෂිකාර්මික අවධියේදී ඇරඹුණු බවට විශ්වාස කරන මෙම බක්‌මහ උළෙල වසර දහස්‌ ගණනක්‌ මුළුල්ලේ වැඩවසම් යුගය පුරාත්, වත්මන් ධනේශ්වර යුගය තුළදීත් අඛණ්‌ඩවම එම චාරිත්‍ර වාරිත්‍ර රැක ගනිමින් රැගෙන ඒමට අපේ මුතුන් මිත්තන් සමත්වීම මෙහිලා අගය කළ යුතුම සිද්ධි දාමයකි. විශේෂයෙන් මාක්‌ස්‌වාදයට අනුව ආර්ථිකය නමැති පදනම මත ඉදිකෙරෙන ගොඩනැඟිල්ලේ බිත්ති වශයෙන් සංස්‌කෘතිය සැලකේ. එහෙත් එදා වැඩවසම් යුගය තුළදී සේම මෙදා ධනේශ්වර සමාජ ආර්ථිකය තුළත් බක්‌මහ උළෙලේ සිරිත් විරිත්, වත් පිළිවෙත් ඉටුකරමින් අනාගත පරපුරට ලබාදීමට, රැක දීමට වත්මන් සිංහල සමාජය සේම හින්දු සමාජයත් දරන අනුපමේය උත්සාහය, කැපවීම හේතුකොට ලොව අසිරිමත් මානවීය උළෙලක්‌ හෝ මානව සමාජයේ සුවිශේෂ අංගයක්‌ අනාගත පරපුරටත් දායාද කිරීමට උදාර අවස්‌ථාවක්‌ උදාවී තිබේ. එදා වැඩවසම් යුගයේ කෘෂිකාර්මික සමාජය තුළින් නිර්මාණය කෙරුණු මේ මහා මංගල්‍යය එම ආර්ථික රටාවට වඩාත් උචිත ආකාරයට නිර්මාණය වී ඇති බවත් සත්‍යයකි. විශේෂයෙන් සාමූහික දිවි පෙවෙතක්‌ ගත කළ එදා සමාජයේ හෙළයා ඊට අනුරූපව සියලු චාරිත්‍ර වාරිත්‍ර කෙළි සෙල්ලම් නිර්මාණය කිරීමටත් උත්සුක වී ඇති බව නොරහසකි.

ආසියාවේ සිංහල හා හින්දු සමාජ අතර මෙම ක්‍රියාදාමය අඛණ්‌ඩවම සිදුකෙරෙද්දී යුරෝපයේ දහසය වැනි සියවසේ ඇරැඹි පුනර්ජීවන යුගයෙන් පසුව වාණිජ විප්ලවයත්, කාර්මික විප්ලවයත් හරහා වැඩවසම් යුගය, යල්පැන යමින් ධනේශ්වර සමාජ ක්‍රමයට අවතීර්ණව විසිවැනි සියවස වනවිට තාක්‌ෂණ විප්ලවයත් ජයගනිමින් සිටී. ගෝලීයකරණය ඔස්‌සේ නව ලිබරල්වාදී ආර්ථිකය හා බටහිර සංස්‌කෘතික ප්‍රවාහය ලොව සිසාරා හමා යද්දී හෙළයේ මහා සංස්‌කෘතික සැණකෙළිය වූ හෙළ බක්‌මහ උළෙල පෙර පරිදිම රැකගෙන අනාගතය කරා රැගෙන යැම බරපතල අභියෝගයක්‌ව පවතින්නේය යන්න සත්‍යයකි. නමුත් ඒ අභියෝගයන් ජය ගැනීමට සිංහල හා හින්දු සමාජ සමත් වීමට එකාවන්ව පෙළගැසිය යුතුය. කැපවිය යුතුය.

Divaina  - ඌවතැන්නේ සුමන හිමි