Pages

Sunday, April 10, 2011

නුඹ අතේ ම මට මගෙ කඳුළු යැව්වැකි



මී අඹ අත්තේ කොහෝ කොහෝ
දොළොස් මහේ මඟුල් දොහේ
රබාන රත්වෙන නැකැත් වෙලාවට
නළාව පිඹපන් කොහෝ කොහෝ...


ඈත ගුවන් විදුලි යන්ත්‍රයකින් ආචාර්ය අජන්තා රණසිංහයන්ගේ ගී පද වැලක් මට ඇසෙයි. එය මට අවුරුදු එන බව යළි යළිත් මතක් කරදෙයි. මම ඒ ගුවන් විදුලි යන්ත්‍රය තිබෙන දිශාවට තව තවත් ළං වෙමි.


“කුසුම් පිපී තුරු මතේ
සුවඳ හමයි දස අතේ
කෝකිල කූජනය නැඟෙයි
ලිය ගොමු අතරේ මධුර වසන්තේ

ඒ සෝමතිලක ජයමහ ගේ හඬයි. අවුරුද්ද ළඟ ළඟ ම එයි. මම මගේ පසුම්බියට අත යවමි. එහි මා ඉපයූ ධනය ස්වල්පයක් තැන්පත් ව ඇත. දැන් ඉතින් නොමසුරු ව වියදම් කළ යුතු ය. මම මොටෝරිය පදවාගෙන නගරයට යමි. නගරය කඩි ගුලක් ඇවිස්සුණා සේ ය.
Read more


“පාර දෙපැත්තේ
සොඳුරු සල්පිල්වල දෙවි ලොව නැති
සැප විකුණන්නේ
නුවරු රිසි රිසි දේ ගෙන මසුරන්
තඹයට දෙන්නේ
නිබඳ සිත ළතවෙන්නේ
ශෝභාව දේ...


තාරාවෝ ඉගිළෙති නාට්‍යයේ ලූෂන් බුලත්සිංහලයන් මැවූ සිංගප්පූරුව මට සිහිවෙයි. මොටෝ රියේ ලාච්චුවෙන් කැසට් පටයක් රැගෙන මම මගේ කැසට් යන්ත්‍රයට ඇතුළු කළෙමි. ලෝකය මොහොතක් නතර වූවා සේ ය. ඒ ඇසුණු ගීයෙන් මම ගල් ගැසුණෙමි.

“රණවරා ගහේ මල් පිපෙන කාලෙට
සඳ සරා කුමාරිය ඇවිත් කන්දට
අත වනා කියයි මට ගමට එන්නට
සකි සඳේ ඇඬුම් මිස බැරිය සීපද


ඒ සුනිල් එදිරිසිංහයන්ගේ හඬ ය. සල්පිල් අතර එහා මෙහා දුවන සෙනඟ අතරේ දෙනෙත් රඳවාගෙන සිටි මට මේ වසන්ත සමයේ හඬා වැටෙන ආත්මයක දෝංකාරය ඇසෙන්නට විය. නගරයේ ශ්‍රමය කැප කරන්නෝ අවුරුදු සමයේ ගම් රටවල් බලා ඇදෙති. ඔවුහු රණවරා මල් මනසින් දකිති. සරා සඳ ගමේ කඳු මුදුනට උදාවන ආකාරය සිහිපත් කරති.
ඔවුහු තම ගම් රටවල් වලට ගොස් ඒ සිහිනය දින කීපයක් හෝ සැබැවින් දැක ගනිති. දැනටමත් සඳ සරා කුමාරිය කඳු මුදුනට වී ඔවුනට අත වනන්නී ය. මේ සියල්ල දකිමින් ගමට යන්නට නොහැකි ව ළතවෙන මිනිසුන් නොසිටී ද? ඔවුන්ට විවිධ රැකියා තුළ මේ වසන්ත සමයේ සිරගත වන්නට සිදුවී තිබේ. ඔවුන්ගේ හාම්පුතුන් ඔවුන්ට ගමට යන්නට ඉඩ දෙන්නේ නැත. ඉඩ දුන්න ද ඔවුන් අත ඉතිරි වී ඇත්තේ සොච්චම් වැටුපකි. එවන් ශ්‍රමිකයකු ගේ ආත්මීය අඳෙීනාව වෙත ගීත රචකයා මනා ව ප්‍රවේශ වී තිබේ. මනා ව සංවේදී වී තිබේ.
අනේක විධ මිනිසුන් අවුරුදු සිරිය භුක්ති විඳිද්දී තමන් වැනි මිනිසුන් මුහුණ දෙන ඉරණම පිළිබඳ ඔහුට ඇතිවන්නේ වේදනාවකි. වැඩපළේ වහළ උඩටත් කොවුලෝ පැමිණ සිටිති. බඩගිනි නොදැනෙන්නාක් මෙන්, ඔවුහු නොකඩවා ගායනා කරති. මේ කොවුල් හඩ ඉදිරියේ තමා මැලවී ගිය එරබඳු මලක් හා සමාන බව ඔහු සිහිපත් කරයි. තම දුක අසන කුරුල්ලන්නට ඔහු මේ ඛේදනීය යථාර්ථය විවරණය කරයි.


“වැඩ පළේ වහළ උඩ අඬන කොවුලකී
මොකද මේ තොපට නැතිවා ද බඩගිනී
නම කියා විහිළු කළ කුරුලු දරුවනී
පරවුණා ම එරබදු මලේ නෑ පැණී


රණවරා ගහේ මල් පිපෙන කාලෙට
සඳ සරා කුමාරිය ඇවිත් කන්දට
අත වනා කියයි මට ගමට එන්නට
සකි සඳේ ඇඬුම් මිස බැරිය සීපද
වැඩ පළේ වහළ උඩ අඬන කොවුලනී
මොකද මේ තොපට නැතිවාද බඩගිනී
නම කියා විහිළු කළ කුරුලු දරුවනී
පර වුණා ම එරබදු මලෙත් නෑ පැණී

එනතුරා පැලට අවුරුද්ද දුක නැතී
මඟ බලාන දොරකඩ පුංචි දුව ඇතී
පඩි අරන් හෙට උදේ ගමට යන සකී
නුඹ අතේ ම මට මගෙ කඳුළු යැව්වැකී

පද රචනය - රත්න ශ්‍රී විජේසිංහ
සංගීතය - පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව
ගායනය - සුනිල් එදිරිසිංහ


රචකයාගේ කවිත්වය මෙහි අවසාන වැකියෙන් මනාව තහවුරු වෙයි. ආර්ථික දරිද්‍රතාව මිනිසකුගේ ආත්මය බිඳ දමන ආකාරය සිංහල අවුරුද්ද හා බැඳුණු පාරිසරික සාධක යොදා ගනිමින් රචකයා ඉදිරිපත් කරන්නේ රසික හදවත් ප්‍රකම්පනය කරමිනි. රත්න ශ්‍රී ගේ කවිත්වය අරක්ගෙන ඇති වාග් ප්‍රයෝග බොහොමයක් මේ තුළ අන්තර්ගත ව පවතී.
ධනවාදී සමාජයක දයාව කරුණාව නොමැත. ශ්‍රමිකයාගේ හැඟීම් එහිදී තක්සේරුවකට භාජනය නොවේ. තම රැකියාව රැක ගැනීමට නම් ඔහු නිෂ්පාදකයා වෙනුවෙන් දිවා රාත්‍රී ශ්‍රමය කැප කළ යුතු ය. එහිදී නිෂ්පාදකයට ඔහු පෙනෙන්නේ තවත් හිත් පිත් නැති යන්ත්‍රයක් ලෙස පමණි. මට එක් වර ම සිහිවන්නේ මාර්ටින් වික්‍රමසිංහයන් ගේ යුගාන්තය නවකතාවේ මුණ ගැසෙන සයිමන් කබලාන නම් වූ ව්‍යාපාරිකයාගේ සිතුවිල්ලකි.
“මිනිසුන් නොතළා උන්ගේ ශ්‍රමය මුදලට හැරවිය නොහැකි ය. ශ්‍රම ශක්තිය රන් ආකරයක් සේ සලකන ශූරයා පස්ගල් තළා පෙළා මීරන් ගොඩ දමන්නාක් මෙන් ශ්‍රම ශක්තිය මිරිකාගෙන එයින් ධනවත් වෙයි. එය ලජ්ජාවෙන් නොව ගර්වයෙන් සැලකිය යුතු කාරියකි.”
(යුගාන්තය - මාර්ටින් වික්‍රමසිංහ)
මේ ගීතයෙහි මුණ ගැසෙන ශ්‍රමිකයා මේ චින්තනයේ ගොදුරක් බවට පත් වූවකි. ඔහුට දැන් ගැලවීමක් නොමැත. තම නිදහස වළලාගෙන ඔහු උක්දණ්ඩක් මෙන් මිරිකෙමින් අනිකකු වෙනුවෙන් ශ්‍රමය කැප කරයි. එහෙත් ඔහුට ඔහුගේ මූලික අවශ්‍යතා හෝ ඉටුකර ගත නොහැකි ය. රත්න ශ්‍රී ඔහුගේ දුක්බර ආත්මයට තව තවත් සමීප වෙයි. බිරිය දරුවන් දැක ගැනීමට ඇති ආශාව, ඔවුන් සමඟ මොහොතක් හෝ සතුටින් සිටීමේ ආශාව ඔහු මනසේ ද හට ගනී.


“එනතුරා තුළට අවුරුද්ද දුක නැතී
මඟ බලාන දොරකඩ පුංචි දුව ඇතී
පඩි අරන් හෙට උදේ ගමට යන සකී
නුඹ අතේ ම මට මගෙ කඳුළු යැව්වැකී


මේ ගී පද රචනා වේ ප්‍රබලතම කාව්‍යෝක්තිය මෙයයි. මේ ශ්‍රමිකයා කිසිවකුට ශාප නොකරයි. තමා එනතුරු බිරිය මග බලා සිටින පුංචි දුව සිහිවී නෙතට නැඟෙන කඳුළ ඔහු ම පිසදා ගනියි. පඩි රැගෙන ගමට යන්නට වරප්‍රසාද ලැබූවන් කෙරෙහි ඔහු වෛර නොකරයි. ඔවුන් අතේ තමන් ගේ කඳුළු ගමට යවන්නට හැකි බව සිතා ඔහු සියලු දුඞඛ දෝමනස්සයන් උපේක්ෂාවෙන් විඳගනියි. එහෙත් ඒ උපේක්ෂාව ඉදිරියේ රසිකයා කම්පනය වෙයි. සංයමශීලී ව විරෝධාකල්ප ගොඩනැඟූ ජනකවි සාහිත්‍යයෙන් රත්න ශ්‍රී නොමඳ ව ආභාසය ලබා තිබේ.


“ඉන්නේ දුම්බරයි මහ කළු ගලක් යට
කන්නේ කරවලයි රට හාලේ බතට
බොන්නේ බොරදියයි පූරුවෙ කළ
යන්නේ කවදා ද මවුපියො දකින්නට”


මේ ජන ගී රිද්මය පාදක කරගෙන තම සංගීත ආකෘතිය ගොඩනැඟීමට පණ්ඩිත් අමරදේවයෝ සමත් වෙති. එය සුනිල් එදිරිසිංහයෝ සුගායනය කරති.
රසකැවිලි තෑගි බෝග තුරුලු කරගෙන මේ වනවිටත් ශ්‍රමිකයෝ ගමට ඇදෙති. සාක්කුව හිස් වුව ද මුහුණේ සිනා උතුරයි. ඒ නිදහසවත් නොලබන මිනිස්සු රටක් කිරි උතුරන දවසේ කම්හල් තුළ දහඩිය වගුරවති. ඔවුන්ගේ සුසුම් වැදී එරබදු මල් පරවී බිම වැටෙයි.