Pages

Thursday, April 21, 2011

ආදරය වෙන්දේසි කරන්න එපා !

සැඳෑ අන්දකාරේ 
නුඹට ලංවී මමත් ආසයි 
මුමුණන්න 
යාවුනු හදවත් තුළ 
දැල්වෙන යසෝගිනි 
නිවමු අපි නෙතු පියන් ඇර 
කඩතුරාවෙන් මතු වී 
වල්මත්ව 
සොයමු අපි ලෙන්ගතු ආදරය..

ආදරය බොළඳයි ඒක මහ විහිලුවක්‌, පිස්‌සුවක්‌ කියලා කෙනෙකුට අර්ථ කතනය කරන්න පුලුවන්. ඒත් මම වගේම ඔබත් ආදරය විඳින්න ආසයි. හැබැයි ආදරය විඳවන්න ආස නැහැ. නුතන ආදර කතාව අතීත ආදර කතා පුරාවෘත්තවලින් පෝෂණය වුනා. රෝමියෝ ජුලියට්‌ සාලිය, ආශෝක මාලා ඊට ළඟම උදාහරණ.

කෙනෙකුගේ ජීවිතය හදන්න වගේම ජීවිතය විනාශ කරන්න මේ ආදරයට පුලුවන්. ඒ තරමටම ආදරය බලවත් අධ්‍යාත්මික බලවේගයක්‌.

නන්නත්තාර වූ සමාජ තලය මත අද ආදරය වල්මත් වෙලා. අද ආදරය වෙන්දේසි වන භාණ්‌ඩයක්‌ බවට පත්වෙලා. අද වර්තමානයේ ප්‍රේමවන්තයකගේ හා ප්‍රේමවන්තියකුගේ ආදර කතාවේ අවසානය දෙදෙනා ලිංගිකව එකතු වීම වෙන්න පුලුවන්. නමුත් සැබෑ ආදරයේ අරුත කියන්නේ ඉන් එහා ගිය අධ්‍යාත්මික බැඳීමක්‌.more

ඔබේ ප්‍රේමවන්තයා පරම පවිත්‍රවෙන්න පුලුවන්. හැබැයි ඔබේ සියලුම දේ ඔහුට දන් දීමට පෙර පොඩ්ඩක්‌ සිතන්න, ඔහු ඔබට සැබෑවටම ආදරය කරනවාද කියලා. සමහර විට ඔහු ඔබට කෙසේ වෙතත් ඔබේ සිරුරට ආදරය කරනවා වෙන්න පුලුවන්. ඔබ වඩාත්ම පරිස්‌සම් විය යුත්තේ එවැනි පුද්ගලයන් ගෙන්.

ඔබ ඉක්‌මන් වෙලා, ඔබේ පතිවත නැමති දැහැන බිඳුනොත් ඔබේ සිරුරට පමණක්‌ ලොල්බැඳි ඔබේ පරම පූජනීය පෙම්වතා ඔබටත් නොකියා පෑල දොරෙන් පැන යන්න තියෙන ඉඩ කඩ වැඩියි.

එවැනි අනංගයින් ඔබට මල් හීසර විදින්නට පෙර ඔබ අවධානයෙන් සිටිය යුත්තේ අන්න ඒ නිසා.

නැත්නම් ඔබ සමාජය ඉස්‌සරහා අවලංගු කාසියක්‌ බවට පමණක්‌ පත්වේවි. ආදරය සුන්දර වරදක්‌ උනාට ජීවිතය සෙල්ලමක්‌ නෙමෙයිනේ. 

අද වර්තමානයේ බොහෝ පාසල් දියණිවරුන්ට අකාලයේ පාසලෙන් ආයුබෝවන් කියන්න වෙලා තියෙන්නේ ඔබේ සිරුරට පමණක්‌ ලොල් බැඳි ආදරවන්තයින් නිසා. ඔබ මත එහි වරද පැටවෙනවා නවත්වන්න බැහැ.

සුදු ගවුම් පොඩ්ඩක්‌ ඇඳ ගත් ඔබ එහි බඳ පටියෙන් මිදිලා ආදරය ඉස්‌සරහ රාගයෙන් මත්වෙලා ලිංගිකත්වය ඉස්‌සරහ ඔබේ පතිවත වෙන්දේසි වන්න පුලුවන්. ආදරය ඉස්‌සරහ රාගික බවින් ඉස්‌මතු වූ මනෝභාවය තුළ ඔබට ඉන් එහා වැටහීමක්‌ ඇති නොවන්න පුලුවන්. ඒත් ඔබ පසුතැවෙන්නේ ඉන් පස්‌සේ. එතකොට අඬලා වැඩක්‌ නැහැ.

දෙදෙනෙකුගේ ආදරයේ අවසානය සොඳුරු කැදැල්ලක එත්තැන්වීම වෙන්න පුලුවන්. අන්‍යොන්‍ය විශ්වාසය ආදරයේ හොද පුරුකක්‌.

නූතන ආදර වංශ කතාව තුළ අද පෙම්වතුන් වෙලා හෙට ලැගුම් හලකින් ආදරය නිමා වෙනව නම් එම සබැඳියාව තුළ නියම ආදරයක්‌ තිබුණාදැයි සැකයක්‌ මතු වෙනවා. 

විවෘත ආර්ථික රටාව තුළ, ආදරය විකිණෙන සමාජ තලය තුළ එහි ස්‌ථාවරය කියලා කෙනෙකුට තර්ක කරන්න පුලුවන්.

රත්තරං නංගියේ නුඹට නුඹේ පෙම්වතා ඉදිරියේ රාගයෙන් මත් වූ මනෝභාවය තුළ නුඹට නුඹේ ජීවිතය තුට්‌ටු දෙකක්‌වත් නොවටින්න පුලුවන්. නමුත් නුඹේ සිරුරට පමණක්‌ ලොල් බැඳි පෙම්වතාගේ බොලඳ වදන් ඉදිරියේ ඔබේ ජීවිතය පුදපු පෙම්වතා ඔබ හැර ගිය දාට ඔබ සමාජය ඉස්‌සරහ අවලංගු කාසියක්‌ බවට පත්වන්නේ ඔබටත් නොදැනීමයි.

ඇස්‌ දෙක වගේ ඔබව පරිස්‌සම් කරපු නුඹේ රත්තරං අම්මයි, තාත්තයි නුඹ මනමාලියක්‌ වෙලා ගෙදරින් පිටවෙලා යනවා බලන්න කොච්චර ආසද? 

ලෝකයා ඉස්‌සරහා නුඹ අවලංගු කාසියක්‌ බවට පත්වී හංවඩු ගැසෙනවාද නැත්නම් ආදරය ඉස්‌සරහා ජීවිතය විඳවන්නේ නැතිව ජීවිතයට මුහුණ දෙනවාද කියන කාරණය තෝරාගැනීම ඔබ සතු වගකීමකි.


නුවන් මලවර ආරච්චි
Courtesy  - Navalia by  නුවන් මලවර ආරච්චි