Pages

Tuesday, June 14, 2011

විවාහයේ ද්වාරය හා කාන්තාව


සුවඳ හමන 
මුකුලිත මලකි නුඹ 
තැලෙන්න එපා නුඹ 
හදපැටි තුළ සිරවී 
මංගල නැකතට 
කුලපතිනියක්‌ වී 
මංගල සාරිය ඇඳගෙන 
යනු මැන සිනාසෙමින්...

මුළු ලෝකයේම ඇති සියලූ සීමා මායිම් වැට කඩොලූ බිඳ දමමින් මුළු තුන්සිය හැටපස්‌ දවස පුරාම විරාමයකින් තොරව ජීවන අරගලයන් සමග සටන් විදිමින් ජීවත් විමේ කලාව ගෙන යන්නේ කාන්තාවයි. විටෙක ඇය ඔබගේ අම්මා විය හැකිය. තවත් විටෙක බිරිද විය හැක.

ලෝක කාන්තා දිනයට පමණක්‌ ප්‍රශස්‌ති ගායනා කරන ගැහැනියට කාන්තාවක්‌ යනුවෙන් හඳුන්වන්නේ අද වචනයෙන්, රූපයෙන් සෞන්දර්යයෙන් යුක්‌ත නිසාය. වීරියත්, දිරියත් බිහි කරන්නේ අම්මා කෙනෙකි. අම්මා යනු කාන්තාවකි. තොටිල්ල පදවන අත හෙට ලොව පාලනය කරයි. ආචාර්ය මිනිසුන් බිහි කරන අම්මා ශීලාචාරය හා සදාචාරයේ ප්‍රතිමූර්තියයි. මෙවැනි උතුම් මාතෘත්වයක්‌ ලැබිය හැක්‌කේ කාන්තාවකට පමණි. more

නමුත් වර්තමාන සමාජය තුළ කාන්තාවට නිසි තැන ලැබෙනවාද ආර්ථික, සාමාජිය දේශපාලනික හා විවාහයේදී කාන්තාව මුහුණ දෙන භෞතික සහ මානසික සාධක වල නිමක්‌ නැත.

සමහර විටදී විවාහයට පෙර තම පළමු ප්‍රේමවන්තයා අතින් අඳුරු කාමරයක්‌ තුළ ඇගේ සලූපිළි ගැලවී තමන් ආභරණයක්‌ සේ සුරැකි තම පතිවත ඔහුට දන් දෙන්නට ඇත. පළමු වරට එදා ඇය ගැහැනියක්‌ වන්නට ඇත. 

නමුත් ඇය සමාජයේදී අත් විඳින්නට වන සංඝනක කරුණු නිසා ඇයට අහිමි වන පතිවත පිළිබඳව සටන් කරන්නේ කා සමගද? සමාජයේ සිටින තිරිසන් සළෙලූන්ගේ හිංසාවෙන් හා තම අප්පා ඇතුලු තම ඥාතීන් විසින් කෙළෙසන එම අහිංසක තරුණිය විවාහයේ පළමු රාත්‍රියේදී තම සැමියාට පෙන්වන්නට ඇත්තේ කුමක්‌ද? එවැනි අයට කාගේ පිහිටක්‌ද? 

සමාජයේ ඇති සියලූම දුරාචාර වැඩකොට විවාහයේ පළමු රාත්‍රියේදී තම බිරිදගේ කන්‍යාභාවය සොයන ස්‌වාමිපුරුෂයන් තවමක්‌ සිටිත්ද? 

කාන්තාවක්‌ විවාහ වනතුරු තම පතිවත ගක ගත යුතු යෑයි සදාචාරාත්මක හා නීතියක්‌ ඇත. එම මිණුම දණ්‌ඩ පිරිමින්ටද අදාළ විය හැකිය. තම බිරිද සමග ගෙවන පළමු රාත්‍රිය තමන් ගැහැනියක සමග ගෙවන පළමු රාත්‍රිය දැයි තම හදවත සාක්‌ෂි දරනු ඇත.

සෑම සාර්ථක මිනිසකු පසුපස ගැහැනියක සිටිනවා සේම අසාර්ථක මිනිසකු පසුපස සිටින්නේද ගැහැනියකි. එම නිසා කාන්තාව යනු ප්‍රබල භූමිකාවක්‌ ඉටු කරන ඉටු කළ යුතු චරිතයකි. 

එදා ගුත්තිල වීණා වාදනය කරන විට මවගේ ඇකයෙන් දරුවන් වැටුණත්, අද දරුවන් ඇකයෙන් වැටෙන්නේ රූපවාහිනි තිරයේ දිග හැරෙන ටෙලි සිත්තම ඉදිරියේදීය. 

රත්තරං නංගියේ සුදු වතින් සැරසිලා පොත්මිටිය තුරුළු කර ගෙන මලිත වූ පැතුමට නුඹට ඉකි බිඳින්නට වන්නේ ඔබේ පතිවත අකාලයේ මිලින වුවොත් පමණයි.

කාන්තාවන් තම හිතු මතේට පාවිච්චි කළ හැකි සෙල්ලම් බඩුවක්‌ නොවන බව පිරිමි මතක තබා ගත යුතුය. 

විවාහයේදී කාන්තාවගේ කන්‍යාභාවය සොයන පිරිමි ඇය ඇතුලු කාන්තාවන්ගේ විවාහයට පෙර කන්‍යාභාවය විනාශ වූයේ විවාහයට පෙර කිසිත් නොකර යෑයි සුද්ද වන්තයින් වන්නට උත්සාහ කරන පිරිමි නිසා බව පමණක්‌ පිරිමි ඔබ මතක තබා ගන්න.- 


නුවන් මලවරආරච්චි - Navaliya