Pages

Monday, December 05, 2011

මා පෙම් කළ ජනපද කල්‍යාණිට හිමියනි මට කළ නොහැක නිගා...

නව දැලි හේනක පෑව වැඳිරි රුව
ලෙස උවමින් දෙනුවන් රවටා
මා පෙම් කළ ජනපද කල්‍යාණිට
හිමියනි මට කළ නොහැක නිගා

සුරඟන රූ සිරි දුටිමි හැඳින්නෙමි
සිත් ලෙස දෙනුවන් බඳුන් පුරා
මා හඳුනන මගෙ හදගත් කලණිය
මට නුදුරුයි සුරඟනට වඩා

මා සිත සුවපත් කරලනු නොහැකිය
සෝ ළතැවුල් දෙයි රැය ද දිවා
නෙත දුටු සුරඟන රූසිරි කුමට ද
හද දුටු ජනපද කලණ නිසා

පද රචනය, සංගීතය සහ ගායනය
සෝමතිලක ජයමහ
 
සංගීතය හා ගායනය එකම පුද්ගලයා අතින් නිමැවෙන අවස්ථා සිංහල ගීතය තුළ හමුවන්නේ ඉතා කලාතුරකිනි. ආනන්ද සමරකෝන්, සුනිල් ශාන්ත, ෂර්ලි වෛජයන්ත ආදීන්ගේ නිර්මාණ තුළ මේ තත්ත්වය කලාතුරකින් දක්නට හැකිය. මේ අතර සෝමතිලක ජයමහ නම් වූ ගාන්ධර්වයාට හිමිවන්නේ සුවිශේෂත්වයකි. අප අතර කීර්තියට පත්වූ ගී නිර්මාණ කීපයකම මේ ත්‍රිපුද්ගල සංයෝගය සෝමතිලක ජයමහ නම් වූ කලාකරුවා අතින්ම සම්පූර්ණ වී තිබේ. කාව්‍යක්කාරයෙකු, සංගීතඥයෙකු මෙන්ම මධුර හඬකට හිමිකම් කියමින් සුගායනයේ යෙදීමේ හැකියාව වූ කලී කෙනකුට කලාතුරකින් දායාද වන භාග්‍යයකි.

එක්තරා විරෝධාකල්ප නිර්මාණයක් ලෙස සැලකිය හැකි මේ නිර්මාණයට පසුබිම් වන්නේ සද්ධර්මරත්නාවලියේ හමුවන නන්ද තෙරුන්ගේ වස්තුවයි.

නන්ද තෙරුන්ගේ වස්තුවෙහි නන්ද තෙරුන් පැවිදි වන්නේ ස්වේච්ඡාවෙන් නොව බුදුහිමියන් කළ ඉල්ලීමක් මතයි. මාලිගයේ දන් වැලඳීමෙන් පසු බුදු හිමියන් පාත්‍රය නන්ද කුමරාට දුන් නිසා ඔහුට එය රැගෙන ජේතවනාරාමය තෙක් පසුපසින් යන්නට සිදුවෙයි. එසේ යන විට ඔහු සමඟ සරණ ගිවිස සිටි ජනපද කල්‍යාණිය, ස්නානය කරමින් සිට මුදන ලද වරලස සමඟ මඟට පැමිණ, ඉක්මනට ආපසු එන ලෙස ඔහුට ප්‍රකාශ කරයි. මේ අදහස කුමරුගේ හිතට තදින් කාවැදුණු නිසා ඔහු පැවිදි වුවද නිසි පරිදි බණ භාවනා නොකරයි. ශාසනය කෙරෙහි ඇල්ම අතහරියි. එසඳ බුදුහිමියන් ඔහු ව තව්තිසා දිව්‍යලෝකය කරා ගෙන යති. යන අතරමඟදී අලුත දැවුණු හේනක් ද දැවී ගිය වැඳිරියක ද ප්‍රදර්ශනය කරති. දිව්‍යාංගනාවන් දුටු නන්ද කුමරාට දැනෙන්නේ ජනපද කල්‍යාණිය දැවුණු හේනේ වැඳිරිය හා සමාන බවකි.

”ස්වාමීනි කුමක් වදාරන සේක්ද? මේ දෙවඟනන් දුටු කලට ඒ දනව් කලන බිසවු නම් අතුරු මඟ නවදැළි සේනේ අප දුටු දා වක ගැසී ගිය වැඳිරි මෑල්ලත් වටිත් දැයි කී සේක්”

සද්ධර්මරත්නාවලිය තුළින් හමුවන නන්දගේ චරිතය වූ කලී අවස්ථාවාදී පෙම්වතකුගේ චරිතයකි. එහෙත් මෙහි පද රචකයා උත්සාහ කරන්නේ එම ආකල්පය අභියෝගයට ලක් කරමින් පරමාදර්ශී සංවේදී ප්‍රේමවන්තයකු ගේ චරිතයක් ‘නන්ද’ තුළින් ප්‍රතිනිර්මාණය කිරීමටයි.

”නව දැලි හේනක පෑව වැඳිරි රුව
ලෙස උවමින් දෙනුවන් රවටා
මා පෙම් කළ ජනපද කල්‍යාණිට
හිමියනි මට කළ නොහැක නිගා”

මට මේ මොහොතේ මහින්ද දිසානායකයන් ගේ පද රචනාවක් සිහිවේ.

”ඔබෙ දෙතොලේ
මොළකැටි බව
නාඳුනන ලෙසින්
නා දලු වැඩි සුමුදු වෙතැයි
කියමි ද කෙළෙසින්

(වී පැදුරෙන් – මහින්ද දිසානායක)

තම සැළමුතු ප්‍රේමය දිව්‍යාංගනාවන් ඉදිරියේ පාවාදීමට මේ ප්‍රේමවන්තයා සූදානම් නැත. ආදරය වෙනුවෙන් බුදුහිමියන්ට පවා අභියෝග කිරීමට රචකයා මවනා නන්ද සමත්වෙයි. සැබෑ ආදරයක පැවතිය යුතු කෘතවේදී බව සහ පරිත්‍යාගශීලී බව මේ තුළ අන්තර්ගතය.

සුරඟන රූ සිරි දුටිමි හැඳින්නෙමි
සිත්ලෙස දෙනුවන් බඳුන් පුරා
මා හඳුනන මගෙ හදගත් කලණිය
මට නුදුරුයි සුරඟනට වඩා

මෙහි මුණගැසෙන පෙම්වතා සුරඟනන්ට ගැරහීමක් සිදු නොකරයි. ඔහු පවසන්නේ තමා සුරඟනන් ගේ රූ සිරි හොඳින් දුටු බවයි. ඒත් අතපොවන්නට බැරි දුරක සිටින සුරඟනන්ට වඩා අතළඟ සිටින ජනපද කල්‍යාණිය තමාට වටිනා බව ඔහු ප්‍රකාශ කර සිටී. සුරඟනන් ගේ රූ සිරි හොඳින් වින්ද බවට ඔහු කරන ප්‍රකාශය නිසාම පෙම්වතාගේ අවංකභාවය වඩා හොඳින් ඉස්මතු වෙයි. එසේම නිර්මාණයට අව්‍යාජත්වයක් එක්වෙයි.

මා සිත සුවපත් කරලනු නොහැකිය
සෝ ළතැවුල් දෙයි රැය ද දිවා
නෙත දුටු සුරඟන රූසිරි කුමට ද
හද දුටු ජනපද කලණ නිසා”

ආදරය අරුම පුදුමය. එහි උස්මිටිකම් නොමැතිය. “හිත ගිය තැන මාලිගාව“ යන කියමන මෙන්ම “දුවන මුවන් දැක නොදමන් නෙළූ පලා” යන ජනශ්‍රැතියේ එන ප්‍රකාශයන් ද මේ රචනාව තුළින් ඉස්මතු වෙයි. ඔහු ව්‍යංග්‍යයෙන් පවසන්නේ ඇසින් හඳුනා ගැනීමට වඩා හදවතින් හඳුනාගැනීම ප්‍රබල බවයි. එය පහසුවෙන් බිඳ දැමිය නොහැකි බන්ධනයක් බවයි.

බෞද්ධ සාහිත්‍යකරුවා බුද්ධ චරිතය වීරත්වයට පත් කිරීමට මේ ප්‍රබන්ධයන් කළ ද නන්ද කුමරාගේ චරිතය දෙස දෙවරක් සිතීමට මේ ගීතය ඉවහල් වෙයි. තම වැඩිමහල් සහෝදරයාට ඇති ගෞරවය නිසා ඔහු පැවිදිවූයේ අකැමැත්තෙනි. ඔහුගේ හිතේ රැඳුණ අවසාන ඡායාව වූයේ තමාට ඉක්මනින් ආපසු එන ලෙස පැවසූ ජනපද කල්‍යාණියගේ ඡායාවයි.

මගේ මනස ඉදිරියේ මැවෙන්නේ අකැමැත්තෙන් මහණ වී බවුන් වඩන නන්ද හිමියන්ගේ රූපයයි. හිත එකඟ කරන්නට තැත් කරන වාරයක් පාසා, කෙස්වැටිය මුදාගෙන ඔහුට අත වැනූ ඒ සුන්දරිය ඔහුට සිහිවෙයි. ජේතවනාරාමයේ වැටෙන් රිංගා ඇය සොයා යාමට ඔහුට සිත් දෙයි.

රමණීය තනු නිර්මාණයෙහි මෙන්ම සුගායනයෙහි සෝමතිලක ජයමහ දක්වන සමත්කම නැවත; නැවතත් නිර්මාණය තුළ මතුවෙයි. ඒ තුළින් මතුවන නන්ද කුමරාගේ සුසුම මගේ හදවත මොහොතකට පාරයි.

ධම්මික බණ්ඩාර - Silumina