Pages

Saturday, July 30, 2011

දරුවාගේ අනාගතය ඔබේ කරගන්න එපා

පුතා ලොකු වුණාම මොකද කරන්නේ. මමද? රේෂාන් ඇහුවා. 

ඔව්. මගෙ පුතා තමයි. අම්මා ආදරෙන් කිව්වා. මම කැමති රඟපාන්න හැබැයි පෝසත් චරිත ඒ මොකද? අම්මට පුදුම හිතුනා. 

පෝසත් චරිතයක රඟපාන කොට ඉන්න ලස්‌සන ගෙවල්. කන්න ආස කෑම ලැබෙනවා. පුතුගෙ උත්තරය ගැන අම්මට දුක හිතුනා. අම්මට දුක හිතුනේ වෙන මොකුත් නිසා නොවෙයි. අනාගතය ගැන පුතු ගොඩනගා ගෙන සිටින මනෝ ලෝකය ගැනයි. 

අම්මා මොකුත් කතා කළේ නෑ. පුතුගෙ අනාගතය පුතුටම භාර කළා. 

දරුවන් අනාගතයේදී නියෑලෙන වෘත්තීය ගැන තීරණයක්‌ ගැනීමේ අයිතිය ඔවුන්ටම ලබාදෙන්න ඕන. නමුත් අද බොහෝ මව්පිය වරුන්ගේ ඉලක්‌කය වී තිබෙන්නේ තමන්ට අවශ්‍ය තැන දරුවා මතු දවසක ස්‌ථානගත කිරීමයි. මේ තත්ත්වය නිසා දරුවන් හෙම්බත් වීම සමඟම තමන්ගේ දිනුම් කණුව වෙත දරුවා හදා යෑවීමට අපහසු වීම තුළ උපදින සංකූලතාවයෙන් පීඩා විඳිනවා.
more
දරුවන්ගේ හැකියාවන් එකිනෙකාට වෙනස්‌. අල්ලපු ගෙදර දරුවා දොස්‌තර වුන නිසාම තමන්ගෙ දරුවාත් දොස්‌තර සිහිනයේ තබන්න බෑ. ඔහුගෙ හැකියාව ඊට වෙනස්‌ මාවතකට වෙන්න පුළුවන්. නමුත් අපේ මව්පියන්ගෙ ඉලක්‌කය වෙන්නේ අල්ලපු ගෙදරට. එහෙම නැත්නම් තමන්ගෙ නෑ පරම්පරාවට.. කාර්යාලයේ මිතුරන්ට වඩා ඉහළ තැනකට දරුවා ඔසවා තියන්නයි. මේ නිසා මව්පියන්ගේ බලාපොරොත්තු ගොඩනැගෙන්නේ දරුවා වැඩෙන අන්දමට අනුකූලව නෙවෙයි. 

මගෙ දරුවා දොස්‌තර කෙනෙක්‌ එහෙම නැත්නම් ඉංජිනේරුවෙක්‌ කරන්නම ඕන. යන ඉලක්‌කයට දරුවා සූදානම් කරනවා. යන්තම් සාමාන්‍ය පෙළ සමත් වුණ විගසම ඉස්‌සර වෙන්නේ මව්පිය අභිමත විෂය ධාරාව. මේ ගැන දරුවාගෙ කිසිම මනාපයක්‌ නෑ. ඒත් ඔවුන්ට හයි හත්තිය නැති හින්දා ඊට විරුද්ධව අදහස්‌ ඉදිරිපත් කරන්නත් බැහැ. ඉදිරිපත් කරන අදහස්‌ මව්පියන් ඉදිරියේ ඉබේටම නිෂ්ප්‍රභ වෙනවා. මේ නිසා උසස්‌ අධ්‍යාපනයට දරුවා පිය නගන්නේ අප්‍රසන්න හැඟීමකින් වගේම බිඳ වැටුන මානසිකත්වයකින්.

දරුවන්ගේ බිඳ වැටුන මානසිකත්වය මව්පියන් දකින්නේ ඔවුන්ගෙන් කරන පළිගැනීමක්‌ විදිහටයි. විටෙක මෙය පිළිගැනීමක්‌ වෙන්නත් පුළුවන්. තමන්ට අවශ්‍ය වූද, ප්‍රියමනාප වූද, විෂයන් සමඟ ගනුදෙනු කිරීමට වූ ඉඩ ප්‍රස්‌ථාව අමානුෂික ලෙස කප්පාදු කිරීම නිසා ඇති වුණ පීඩනය ඔවුන් නොදැනම මව්පියන්ගෙන් පිළිගැනීමක්‌ ලෙසට දකින්න පුළුවන්. 

දුව, පුතා අකමැති වුණත් තමන්ගේ ඉලක්‌කය වෙනුවෙන් මව්පියන් විශාල වියදමක්‌ දරන්නට සුදානම් වෙන්නේ දරුවා ඔවුන්ට අවශ්‍ය ලෙස හසුරුවා ගන්නයි. නමුත් මුනින් හරවන ලද කළයකට දිය පුරවන්නා සේ දරුවා ලබන නිරර්ථක ප්‍රතිඵලය තුළ මෙතෙක්‌ දැරූ සියලු පිරිවැය අපතේ යැමක්‌ ලෙස දකින්නට පුළුවන්. තමන්ගේ සිහින මාළිගය පුපුරා බිඳ වැටීමත් සමග මව්පියන්ගේ සිත තුළ තම දරුවා ගැන ඇති වෙන්නේ විශාල කලකිරීමක්‌. මේ නිසා දරුවන් මව්පියන් අතර ගොඩනැගෙන නොහොඳ සිත දිගින් දිගටම වර්ධනය වෙනවා.

තමන්ගෙ ඉලක්‌කය සපුරා නොදුන් තැන පටන් මව්පියන් ගෙන අවලාද ලේසි පහසු නෑ. අපි හරි හම්බ කරපු සේරම විනාශ වුනා.

හරකෙක්‌ හැදුවා නම් මීට වඩා වටිනවා. ලෙසින් සිදුවුණ 

වැරැද්දට ආඩපාලි කියනු විනා එතැනින් ඉදිරියට යන්නේ කොහොමද කියලා හිතන්නෙම නෑ. කොතැනක හෝ වරදක්‌ වුණා නම් එම වැරැද්ද නිවරැදි කොට අනාගත එළිදකින දිසාවකට දරුවා යොමු කිරීම අවශ්‍යයි. 

මෙම අවධිය වන විට දරුවා සිටින්නේ ඉතාම තීරණාත්මක අවස්‌ථාවකයි. සම වයසේ පිරිස උසස්‌ අධ්‍යාපනයට හෝ රැකියා අවස්‌ථාවකට යොමු වී සිටින විට තමන් හුදෙකලාව ඇතැයි වූ මානසික හිස්‌ බවෙන් පීඩාවට පත් වෙනවා. මේ අතර මව් පියන් විසින් තමන්ගේ අනාගතය වෙනුවෙන් මඟ පෙන්වා නොදීම නිසා ඔවුන් තුළ ඇති වෙන අනාගත අවිනිශ්චිත බව පෞරුෂයේ දුබලතා ගොඩ නැගීමට ඉබේටම හේතුවෙනවා. ගිය හකුරට හඬනවා වෙනුවට මව් පියන්ගේ විශේෂ කාර්ය වන්නේ දරුවන්ගේ අනාගතයට අවශ්‍ය මාර්ගෝපදේශය කාලානුරූපව ලබා දීමයි. 

තමාගේ අනාගත වෘත්තීය පිළිබඳව අදහස්‌ ගොඩනඟා ගන්නට අවශ්‍ය නිදහස දරුවාට පවරා දීම අවශ්‍යයි. හැම දරුවෙක්‌ම බාල කාලයේදී ඉදිරිපත් කරන සිහිනය සර්වපකාරවම සාර්ථක වෙන්නේ නෑ. ඔවුන් තුළ තිබෙන කිසියම් ආලෝක එළියක්‌ නිසා ඒ විදිහට කියන්නට පුළුවන්. නමුත් මෙය දරුවන්ගේ නිශ්චිත වූ අනාගත වෘත්තියම වෙන්නෙ නෑ. නමුත් නෑ නෑ ඕක ඔයාට ගැළපෙන්නෙ නෑ. අම්මයි තාත්තයි බලන්නෙ පුතා දොස්‌තර කෙනෙක්‌ එහෙම නැත්නම් ඉංජිනේරුවෙක්‌ කරන්න. වශයෙන් දරුවාගේ ඉලක්‌කය උපන් ගෙදරම මරා දාන්න හොඳ නැහැ. දැනුම , කාලය, අවස්‌ථාව අනුව මෙම ඉලක්‌ක බොහෝ දුරට නම්‍යයි. ඒ සඳහා දරුවාටම අවස්‌ථාව ලබා දෙනු විනා මෙන්න මේ විදිහටම ඔබගේ අනාගතය සකස්‌ විය යුතුය කියල විධාන දීම අවශ්‍ය නෑ. 

අම්මෙක්‌ තාත්තෙක්‌ විදිහට ඔබගේ අරමුණ තමන්ගෙ දරුවා ඔබට වඩා ඉහළින් ඔසවා තැබීම බව හැබෑව. නමුත් එය ඉතාම සීරුවට සිද්ධ විය යුතුයි. දරුවාගේ ආශාව, හැකියාවට මුල් තැන දීම විනා ඔබට ඇවැසි ලෙස දරුවා පිටුපස හඹා යැම නම් කිසිම විටෙක සිදුවිය යුතු නැහැ. ඕනෑම වෘත්තියක්‌ තුළින් හැකියාව සහ කැපවීම ඇත්නම් ඉදිරියට යැම එතරම් අපහසු නැහැ.

එහෙම නම් ඉතිං දරුවන්ගේ අනාගත වෘත්තීය පිළිබඳ තීරණය ඔවුන්ට ගන්නට ඉඩ දී ඊට අවශ්‍ය ජවය ලබාදීමට වැඩි යමක්‌ ඔබගෙන් සිදුවිය යුතු නැහැ. 


පුන්‍යා චාන්දනී ද සිල්වා  - Nawaliya