Pages

Saturday, July 16, 2011

වැටෙන හුස්මක් ගානේ ඔබවමයි සිහිවෙන්නේ

දුන්නු වේදනා මේ නෙතින් උතුරලා
මතක රැස් වෙලා හිත ආයාලේ ගියා
හිතෙන්නේම නෑ ඔබ මගේ නොවේ කියා
ජීවිතේම දැන් මාගේ හීනයක් වෙලා

කෙටි කාලයකින් හමුවී
මගේ ජීවිතයට පැමිණි
ලස්සනම සිහිනෙකි ඔයා

මේ සීත වස්සානේ
පාළුව ගලන්නේ
තනිකමයි හදවත සරන්නේ
මේ අන්ධ හිත් මානේ
මතකය තැවෙන්නේ
සෝ සංකා හිරිහැර කරන්නේ

කෙටි කාලයකින් හමුවී
මගේ ජීවිතයට පැමිණි
ලස්සනම සිහිනෙකි ඔයා

සඳ නේන රෑ යාමේ
සසලව හිඳින්නේ
කළුවරයි දසතින් හමන්නේ
වැටෙන හුස්මක් ගානේ
ඔබවමයි සිහිවෙන්නේ
ඔබ කොහේදෝ හිඳින්නේ
 

පද රචනය – ඩිලාන් ගමගේ
සංගීතය – රදීෂ් වැන්දබෝනා
ගායනය – නිරෝෂා විරාජිනී
නිමේෂයකින් හිතට ඇතුළු වෙන ආදරය මුළු ජීවිත කාලය පුරාවටම ඒ සිතට සෝ සංකා දී හිරිහැර කරනවා නම් හෙළන හැම සුසුමක් ගානෙම සිහිවන්නේ ඔහුම හෝ ඇයම විය හැකිය.
හමුවී කෙටි කාලයකින් සුන්දර සිහිනයක් ලෙසින් ජීවිතයම වෙලාගෙන ආත්ම ගත වූ ආදරයේ මිහිරියාව වේදනා පිරුණු මතකයේ නිදන් කළ පෙම්වතුන්ගේ සිතුවිලි කෙබඳු විය හැකිද? මෙවර ගී මුතුහර පලඳන්නේ මේ කාලයේ පෙම්වතියකගේ තනිවූ සිතක සිතුවිලි පැවසෙන ගී සංකල්පනාවකි. නිරෝෂා විරාජිනීගේ හඩින් ගැයෙන මෙම ගී පද රචනාවේ අයිතිකරු නව පරපුරේ ගී පද රචකයකු වන ඩිලාන් ගමගේ ය. “දුන්නු වේදනා” ඩිලාන්ගේම අත්දැකීමක් ඇසුරින් ලියැවුණු අයුරු ඔහු ‘රසඳුන’ සමඟ පැවසුවේ මෙලෙසින් ය.
more
”මීට ටික කලකට පෙර මගෙන් වෙන්වී ගිය ආදරවන්තියක නිසා වේදනාවෙන් මිරිකෙමින් සිටිද්දී රදිෂ්ගෙන් ලැබුණු තනුවකට තමා මම මේ ගීතයේ පද රචනය කළේ. පෙම්වතියකගේ විරහා වේදනා පැවසෙන ගී සංකල්පනාවක් වුණාට මේ ගීතයේ ඇතුළත් වෙන්නේ දින දෙකක් වැනි කෙටි කාලයකින් මගේ ජීවිතයට බොහෝ සේ ළංවී පසුව වේදනා උරුම කර දී වෙන්වුණු ඒ ආදරවන්තිය නිසා කම්පිත වූ මගේම පෞද්ගලික සිතිවිලියි. ඇය මට පෙම් කළ කෙටි කාලේදී ඇගේ ආදරෙන් මගේ මුළු ජීවිතයම පිරිලා තිබුණා. මගේ ජීවිතයේ ලස්සනම සිහිනය වී උන්නු ඇය මාත්තෙක්ක වැඩිපුරම දොඩමලු වුණේ රාත්‍රි කාලයේදී යි. ඒ නිසාම තමයි මේ ගීතයට රාත්‍රිය පසුබිම් කරගත්තේ.
ඇය වෙන්වී ගියාට පසුව හැම රාත්‍රියකම වැටෙන හුස්මක් ගානේ මට මතක් වුණේ ඇයවයි. ”සඳ නේන රෑ යාමේ - සසලව හිඳින්නේ” සහ “වැටෙන හුස්මක් ගානේ – ඔබවමයි සිහි වෙන්නේ” වැනි වදන් වැල් මේ පද රචනයේදී යෙදුණේ මා විඳ වූ අයුරින්මයි. ඇගේ වෙන්වීම නිසා තනිකම දරාගන්න බැරිව මා ගීත රැසක්ම රචනා කළා. පෙම්වතෙකු ලෙස මට විඳවන්න වුණු වේදනා පෙම්වතියක විඳි වේදනා බවට හරවා පද රචනය කළේ ගායන ශිල්පිනියක විසින් ගායනා කිරීමට සුදුසු වන අයුරුයි.”
සිරස සුපර් ස්ටාර්ස් ගායක ගායිකාවන් සඳහා වැඩිපුර ගීත රචනය කර ඇති ඩිලාන් ලියූ “සිහිනයක් වෙලා” (අමිලා නදීෂානි), “මේ හිතේ එල්ලිලා” (දුෂ්‍යන්ත් වීරමන්), ”වෙන්වී දැන් යන්න ඉතින්” (චාමික සිරිමාන්න), “සඳ රේණු වැහි” (ප්‍රසංග තිසේරා) සහ “දෑස පාලා” (සංගීත් විජේසූරිය) වැනි ගීත ඔහුගේ හැකියාව පෙන්නුම් කරන ගී පද රචනා ය.
Silumina