Pages

Sunday, July 24, 2011

රූපට්‌ මර්ඩොක්‌ගේ මාධ්‍ය අධිරාජ්‍යයේ බිඳවැටීම

ඔත්තුව දුන් මාධ්‍යවේදියාත් මළවුන් අතර...
ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් සියයට එකක්‌වත් රූපට්‌ මර්ඩොක්‌ (Rupert Murdoch) නමැති ලොව අංක එකේ පුවත්පත්, රූපවාහිනී මාධ්‍ය හිමිකරුවා පිළිබඳව අසා ඇතැයි මා සිතන්නේ නැත. තවද බ්‍රිතාන්‍යයේ අවුරුදු එකසිය හැටඅටක්‌ එක දිගට පළවී පිටපත් මිලියන දෙකහමාරක අලෙවියක්‌ තිබූ ඉරිදා පුවත්පත වන "නිව්ස්‌ ඔෆ් ද වර්ල්ඩ්" (News of the World) පිළිබඳව වැඩි දෙනෙක්‌ දන්නවා යෑයි සිතන්නටද ඒ හැටි හැකියාවක්‌ නැත. එහෙත් ඒ පිළිබඳව දැන ගන්නටද පෙර එම පුවත්පත වසා දමා ඇති බව හුදී ජනයාගේ පහන් සංවේගය පිණිසත් යුරෝපයේ, ඇමරිකාවේ, එංගලන්තයේ වෙසෙන දේශපාලකයින් ඇතුළු ප්‍රභූ පැලැන්තියේ සතුට පිණිසත් හේතුවූ බව මෙසේ දන්වා සිටිමි.

රූපට්‌ මර්ඩොක්‌ යනු 1931 දී ඕස්‌ටේ්‍රලියාවේ මෙල්බර්න් නුවර උපත ලැබ දැනට ඇමරිකානු පුරවැසියකු වන ලෝකයේ ප්‍රධානතම මාධ්‍ය ආයතනයේ ආරම්භක අයිතිකරුයි. ඔහුගේ ආයතනයේ නම නිව්ස්‌ කෝපරේෂන්ය. (News Corpartion) පුවත්පත් ආයතන පාලකයෙකු වූ පියාගේ අභාවයෙන් පසුව එම ව්‍යාපාර අතට ගන්නා විට ඔහුගේ වයස විසි දෙකක්‌ විය. ඉතා කෙටි කාලයකදී ඕස්‌ටේ්‍රලියාවේ ප්‍රමුඛ පුවත්පත් ගණනාවක්‌ මිලදී ගත් ඔහු නවසීලන්තයේ "ද ඩොමිනියන්" පත්තර කොම්පැනියද මිලදී ගත්තේය.
more
1972 දී ඕස්‌ටේ්‍රලියාවේ දේශපාලනයට තම ශක්‌තිය පෙන්වූ ඔහු එහි කම්කරු පක්‍ෂය බලයට ගෙන ඒමට තම පුවත්පත් මගින් ඉමහත් බලපෑමක්‌ ද කළේය.

ඕස්‌ටේ්‍රලියාව මදිවූ රූපට්‌ 1968 දී එංගලන්තයට අත තැබීය. එවකටද බ්‍රිතාන්‍යයේ වැඩිම අලෙවියක්‌ තිබූ "නිව්ස්‌ ඔෆ් ද වර්ල්ඩ්" සහ "ද සන්" පුවත්පත් මිලදී ගත්තේය. 2006 වන විට නිව්ස්‌ ඔෆ්ද වර්ල්ඩ් ඉරිදා පුවත්පත මිලියන දෙකහමාරක්‌ ද ද සන් පුවත්පත මිලියන තුනක්‌ ද අලෙවි වාර්තා තබමින් මුල්පෙළේ සිටියහ. 1980 සහ 1990 බ්‍රිතාන්‍ය කොන්සවේටිව් පක්‍ෂයටද 1990 මැද සිටි කම්කරු පක්‍ෂයටද උදව් කළ රූපට්‌ මර්ඩොක්‌ගේ පුවත්පත් එම පක්‍ෂ බලයට ඒමට ඉමහත් කාර්ය භාරයක්‌ ඉටුකළේය.

මේ අතර 1973 දී මර්ඩොක්‌ ඇමරිකාවටද සේන්දු විය. එහිද පුවත්පත් ගණනාවක්‌ මිලදී ගත් ඔහු 20 th Century FOx නමැති චිත්‍රාගාරයද මිලදී ගත්තේය. දැන් රූපවාහිනියට අත තැබීම රූපට්‌ගේ අභිප්‍රායයි. 1986 දී ඇමරිකාවේ රූපවාහිනී ආයතන හයක්‌ මිලදී ගත් ඔහු FOX රූපවාහිනිය ඇමරිකාවේද ස්‌කයි (SKY) රූපවාහිනී ආයතනය බ්‍රිතාන්‍යයේ සහ ඕස්‌ටේ්‍රලියාවේද ආරම්භ කළේය. FOX චැනලය ඇමරිකාවේ වැඩිම නැරඹීමක්‌ ඇති ප්‍රවෘත්ති චැනලයයි. 2003 දී ඇමරිකාවේ විශාලතම රූපවාහිනී චැනලයේ 34% ක කොටස්‌ මිලදී ගත් ඔහු Dow Jones නමැති මූල්‍ය ආයතනය ඩොලර් බිලියන පහකට අත්පත් කර ගත්තේය. Wall Street නමැති ඇමරිකාවේ කොටස්‌ වෙළෙඳ පොළේ පුවත්පත Wall Street Journal ප්‍රකාශයට පත් කරන්නේ එම සමාගමයි.

මේ අනුව රූපට්‌ මර්ඩොක්‌ගේ රූපවාහිනී පුවත්පත් සහ වෙනත් ප්‍රකාශන ආයතන පිළිබඳවත් ඔවුන්ගේ එම පුවත්පත් ප්‍රකාශනයට පත්වන ප්‍රකාශන පිළිබඳවත් ලිපි ගණනාවකින් කතා කළ හැකිය. ඇමරිකාවේත්, එංගලන්තයේත්, ඕස්‌ටේ්‍රලියාවේත් දේශපාලනය ජන ජීවිතය කෙරෙහි ඇති රූපට්‌ මර්ඩොක්‌ගේ බලපෑම කොතෙක්‌ද යත් ඔහුගේ කැමැත්ත ජනතාවගේ කැමැත්ත බවට පරිවර්තනය කිරීමට තරම් ප්‍රබල මාධ්‍යකරුවෙක්‌ බවට ඔහු පත්වී සිටි. ශ්‍රී ලංකාවේද පෙන්වන ස්‌ටාර් මූවි, ස්‌ටාර් ස්‌පෝට්‌ස්‌, ස්‌ටාර් වර්ල්ඩ් මෙන්ම නැෂනල් ජෝග්‍රැෆි සහ ස්‌ටාර් ක්‍රිකට්‌ චැනලයන්හි අයිතිකරුවා ඔහුය.

දැන් ඔහුගේ එංගලන්ත තත්ත්වය පිළිබඳව විමසා බලමු. ඔහුගේ News of the World පුවත්පත පළ වූයේ ඉරිදා පමණි. අලෙවිය පිටපත් මිලියන දෙකහමාරකි. පාඨක සංඛ්‍යාව මිලියන අටකි. එම පුවත්පත බ්‍රිතාන්‍යයේ වැඩියෙන්ම අලෙවි වූ පුවත්පතයි. එය එසේ වීමට කරුණු කීපයක්‌ හේතුවිය. පළමුවැන්න එහි ඇති අපූරු ඕපාදූප වාර්තායි. රජ පවුලේ පටන් දේශපාලනඥයන්ගේද ප්‍රභූවරුන්ගේද ක්‍රීඩක, කලාකරු සංගීතඥයන්ගේද ව්‍යාපාරිකයන්ගේද නොයෙක්‌ ආකාරයේ රහස්‌, වංචා අනියම් සබඳතා ආදී පෞද්ගලික ජීවිතයේ කරුණු වාර්තා කිරීම එම පුවත්පතේ ප්‍රධාන කාර්යය විය.

වෙස්‌ වලාගත් මාධ්‍යවේදීන් නොයෙක්‌ ආයතනවලට යවා ඔවුන්ගේ දූෂිත භාවයන් පිළිබඳව ලොවට හෙළි කිරීම මෙම පුවත්පත ඉමහත් ජනප්‍රියත්වයට පත්වීමට ප්‍රධාන කාරණයක්‌ විය. දූෂිත දේශපාලනඥයින් මෙන්ම ව්‍යාපාරිකයෝද මෙම පුවත්පතේ මාධ්‍යවේදීන්ට ඉමහත් බියකින් පසුවූහ. ධනවත් අරාබියකු ලෙස වෙස්‌වලාගත් එක්‌ මාධ්‍යවේදියෙක්‌ මහ රැජිනගේ දෙවැනි පුත් ඇන්ඩෲගේ දික්‌කසාද බිරිඳත් තෙවැනි පුත් එඩ්වඩ්ගේ බිරිඳත් රවටා ඔවුන් රජ පවුල විවේචනය කෙරුණු අයුරු වීඩියෝ ගත කොට පළ කළ වාර්තාව බ්‍රිතාන්‍යයේ ඉමහත් ආන්දෝලනයකට ලක්‌විය. එවැනි වාර්තා ගණනාවකි. එහෙත් කුමන හොඳ දෙයක වුව අවසානයක්‌ ඇත. එය ස්‌වභාවධර්මයා විසින් කළ හැකි අතර වෙනත් ආකාරයකින් තමන්ට කපා ගන්නා වළකට වැටීමෙන්ද එය සිදුවිය හැකිය.

රූපට්‌ මර්ඩොක්‌ගේ නිව්ස්‌ කෝපරේෂන් අද තමන්ම කපා ගන්නා වූ වළකට සෙමින් සෙමින් වැටෙමින් පවතී. ඩොලර් බිලියන දස දහස්‌ ගණනක්‌ වටිනා ව්‍යාපාරයක්‌ බිඳ වැටීම ලෙහෙසියෙන් සිදුවිය නොහැක. එහෙත් රූපට්‌ මර්ඩොක්‌ගේ අනාගතය එතරම් සුමුදු නැත. අවුරුදු 168 කට පසුව News of the World පුවත්පත වසා දැමිණි. ඒ එංගලන්තයේ මරා දමා තිබූ තරුණියකගේ ජංගම දුරකථනයේ සටහන්වී තිබූ පණිවුඩවලට නීත්‍යනුකූල නොවන ආකාරයෙන් සවන් දී (Hack) ඇති බවත් ඒවායින් සමහරක්‌ ඔවුන් විසින් මකා දමා ඇති බවත් හෙළිවීම නිසයි. එවැනි අනීතික කටයුතුවලදී පොලිස්‌ නිලධාරීන්ටද අල්ලස්‌ දී ඇති බව හෙළිවිය. ඒ පිළිබඳව හෙළි කළේ ෂෝන් හොර් නමැති බොහෝ කලක්‌ එම පුවත්පතට සේවය කළ මාධ්‍යවේදියායි.

සිය පෞද්ගලික දුරකථන හැක්‌ කිරීම පිළිබඳව අද එංගලන්තයේ මහා හා හෝවක්‌ ඇරැඹී ඇත. මුළු බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවම මේ පිළිබඳව එකමුතුවී කටයුතු කරන අතර එම පුවත්පතේ කතුවරයාව සිට ඉවත්වූ පුද්ගලයෙක්‌ අගමැති කැමරන්ගේ ප්‍රවෘත්ති නිලධාරියා ලෙස පත්කර ගැනීම පිළිබඳව අගමැතිට උත්තර පත්තර බඳින්නට සිදුවී ඇත.

තවද ස්‌කොට්‌ලන්ඩ්යාඩ් පොලිසියේ පොලිස්‌පති විසින්ද එම පුවත්පතේ කලක්‌ කටයුතු කළ ඉහළ මාධ්‍යවේදියෙක්‌ පොලිසියේ මාධ්‍ය රැකියාවකට ගැනීම පිළිබඳව පිට පිට කරුණු හෙළිවිණි. අවසානයේ පොලිස්‌පතිතුමාට පෙරේදා යුනිෙµdaමය ගලවා ගෙදර යැමට සිදුවිය. තවද මෙම දුරකථන අනීතික ක්‍රියාවට පුද්ගලයන් හැට දහසකටත් වඩා භාජනය වී ඇති අතර පසුගියදා ඒ පිළිබඳ නිසි පරීක්‍ෂණ පැවැත්වීම පැහැර හැරි නියෝජ්‍ය පොලිස්‌පතිතුමෙක්‌ද රැකියාවට ආයුබෝවන් කියා ගෙදර ගියේය. ඒ සියල්ලන්ටම වඩා බරපතළම කාරණය වන්නේ මෙම පුවත්පතේ මේ අනීතික ක්‍රියාවන් පිළිබඳව ලොවට හෙළිකළ කලක්‌ එහි ඉහළ මාධ්‍යවේදියකුව සිටි ෂෝන් හෝර් ඔහුගේ නිවසේදීම මරණයට පත්ව සිට සිරුර සොයා ගැනීමයි. තවම එම මරණයට හේතුව සොයාගෙන නැත. මෙය මෙම ආන්දෝලනයේ පළමු බිල්ල ලෙස සමහර පුවත්පත් හඳුන්වා ඇත.

මේ පිළිබඳව විමසීමට පාර්ලිමේන්තු කාරක සභාවක්‌ වහාම පත්කරන ලද අතර ගිය අඟහරුවාදා රූපට්‌ මර්ඩොක්‌ සහ ඔහුගේ පුත් ෙ-ම්ස්‌ එම කමිටුව ඉදිරියට ගෙන එන ලදහ. ඔවුන්ට මන්ත්‍රීවරු ගණනාවකගේ විවිධ ආකාරයේ ප්‍රශ්නවලට මුහුණ දීමට සිදුවුණ අතර නිව්ස්‌ ඔෆ්ද වර්ල්ඩ්හි හිටපු කතුවරිය වූ රෙබෙකා බෲක්‌ස්‌ පොලිසිය විසින් අත්අඩංගුවට ගත් අතර ඇයටද මෙම පාර්ලිමේන්තු කමිටුව ඉදිරියට යැමට සිදුවිය. තවද මෙම පුවත්පත විසින් කෙරුණු නීත්‍යනුකූල නොවන කටයුතු වසා දැමීම සඳහා නොයෙක්‌ පුද්ගලයනට විශාල මුදල් ගෙවා ඇති බවත් හෙළිවී ඇත. තව ඉදිරියට මොන ආකාරයේ හෙළිවීම් සිදුවේදැයි සිතාගත නොහැක.

මේ කලබෑගැනි නිසා මර්ඩොක්‌ට අයත් සමාගම්වල කොටස්‌ මිල ශීඝ්‍රයෙන් පහත වැටීමක්‌ සිදුවී ඇති අතර සුළු කොටස්‌ හිමියන් කොටස්‌ විකිණීමත් අරඹා ඇත. තවද ඔහුටම අයත් "ද ටයිම්ස්‌" පුවත්පතත් "ද සන්" පුවත්පතත් එවැනිම නීත්‍යනුකූල නොවන ආකාරයෙන් පුවත් සොයාගෙන ඇති බවට කරුණු හෙළි වෙමින් පවතී.

පාර්ලිමේන්තු කමිටුව ඉදිරියේ සාක්‌කි දෙමින් සිටි රූපට්‌ මර්ඩොක්‌ට මහත් අකරතැබ්බයකට මුහුණ පාන්නට සිදුවිණ. ඒ දහඅට හැවිරිදි ශිෂ්‍යයකු රැවුල කපන්නට ගන්නා ක්‍රීම් පිරවූ පිඟානක්‌ රූපට්‌ වෙත දමා ගැසීමයි. සියල්ලෝම කලබලවන ආකාරයත් රූපට්‌ගේ තරුණ බිරිය ඉදිරියට පැන ඒ ශිෂ්‍යය හට පහරක්‌ ගසන ආකාරයත් සජීවීව සටහන්වී මෙහි රූපවාහිනිවලද විනාඩියෙන් විනාඩිය විකාශය සිදුවිණි. තවද පසුදා පුවත්පත් සියල්ලේම මුල්පිටුවේ ප්‍රධාන ප්‍රවෘත්තිය වූයේ එයයි.

මෙම කරුණ මහා දේශපාලන පෙරළියකට පවා හැරෙන්නට ඉඩ ඇත. අප්‍රිකාවේ නිල සංචාරයක යෙදුණු අගමැති කැමරන් එය නවතා දමා අඟහරුවාදා නැවත ලන්ඩනයට පැමිණියේය. ඔහු එම පුවත්පතේ හිටපු කතුවරයකු ඔහුගේ මාධ්‍ය ප්‍රධානියා ලෙස පත්කොට තිබූ හෙයින් අගමැතිකමෙන්ද අස්‌වී යන ලෙස පාර්ලිමේන්තුවේ විපක්‍ෂයේ මහා විවේචන ඇතිවී ඇත.

පුවත්පත් ඕනෑවට වඩා ළංකර ගැනීමේ විපාක අද ආණ්‌ඩු පක්‍ෂය විඳිමින් සිටියි. මෙයට වඩා නිව්ස්‌ කෝපරේෂන් සමාගමට මුහුණපෑමට වන බලගතු තත්ත්වයක්‌ ඇත. එනම් ඇමරිකාවේ සැප්තැම්බර් 11 දා මියගිය අයගේ ඥතීන්ගේ දුරකථනවලටත් මේ ආකාරයෙන් අනීතික ලෙස සවන්දී ඇත්ද යන්නට එහි පරීක්‍ෂණ අරඹන බවට ඇති ප්‍රවෘත්තියයි.

කෙසේ වෙතත් ලෝකයේ මහා බලගතු මාධ්‍ය ආයතන හිමිකරු මෙන්ම රට රටවල්වල ආණ්‌ඩු සෙළ වූ රූපට්‌ මර්ඩොක්‌ අද බලාපොරොත්තු රහිත සෙලවීමකට ලක්‌වී සිටි. ඔහුගේ කේන්දරයේ සෙනසුරු ඒරාෂ්ටකයක්‌ ඇතැයි මම සිතමි.

මේ ලියන අතරතුර කෙටි නින්දකට පත්වූ මා ඇහැ ඇරුණේ සිහිනයක්‌ මැදදීය. මගේ සිහිනය මෙයයි. ලංකාවේ දේවාලයක පෝලිමේ විශාල පූජා වට්‌ටියක්‌ ගත් අයෙක්‌ සිටී. වට්‌ටියේ ඇත්තේ ඩොලර් නෝට්‌ටුය. ටිකක්‌ දැක පුරුදු මුහුණකි. බැලූ විට ඒ රූපට්‌ මර්ඩොක්‌ නොවේදැයි මට හැඟුණි.

කලකට පෙර ඔහු හමුවූ සාත්තරකරුවෙක්‌ මෙසේ කියන්නට ඇත. "මහත්තයො දැන් ඉතින් ඔහෙගෙ හොඳ කාලේ ඉවර වේගෙන යන්නෙ. ඒරාෂ්ටකේ දැන් ඉතින් පොඩ්ඩ පොඩ්ඩ දැනෙන්න ගනිවී. කෝකටත් ඉතින් යන්තර දෙක තුනක්‌ හෙම දාලා බෝධි පූජා, පොල්ගැහිලි හෙම පටන්ගන්න වෙයි මහත්තයො. සෙනසුරා විෂ්ණු දෙවියන්ටත් බට කොළකැව්ව එක පත්තර අච්චු ගහන කොළ ඒ හැටි තිත්ත නැහැ මහත්තයො

 Courtesy - Divaina