Pages

Saturday, July 30, 2011

නුඹේ හිත හිස් අහසක්

නුඹේ හිත හිස් අහසක්
මගේ හිත කවි දහසක්
ළං නොවෙයි අප දෙදෙනා
කවදාක හෝ සංසාරයේ
නුවරඑළි සිසිලයි නුඹේ රිය ඇතුළේ
අඳුරු වීදුරුවෙන් ඇතුළ පිට නොපෙනේ
මේ අනඟ රැඟුමේ අවසානදි මා
වේද ගොදුරක්...
නුඹ මට සෙනෙහේ නම් ඇයි ලොවට රහසින්
අසම්මත විලසින් ඇරයුම් කරන්නේ
මේ අනඟ රැඟුම් අවසානදි මා
වේද ගොදුරක්...
* පද රචනය සහ සංගීතය - ශාන්ත ජයලත් තිසේරා
* ගායනය - ශෂිකා නිසංසලා
”නිර්මාණකරුවාට සමාජ වගකීමක් තිබේ. මානව දෘෂ්ටියකින් යුක්තව නිර්මාණ ඉදිරිපත් කරමින් ජනතාව ඥානනය කිරීම එහි වගකීමයි”
එසේ පවසමින් මෙවර “ගී මිහිර” විශේෂාංගයට අප හා එක්වූවේ නූතන සංගීත ක්ෂේත්‍රයේ අඩුවෙන්ම කතාබහට එක්වෙන වැඩියෙන්ම නිර්මාණ කටයුතුවල නියුතු වී සිටින නිර්මාණකරුවෙකි. ගී පද රචකයකු, සංගීතවේදියකු මෙන්ම ගායන ශිල්පියකු ද ලෙස දේශීය සුභාවිත ගීතයට නැවුම් බලාපොරොත්තු ඇති කරමින් ගීතලෝලී ප්‍රජාවට සමීප වී ඇති ඔහු ශාන්ත ජයලත් තිසේරා ය. මේ දිනවල ඔබ නරඹන රූපවාහිනී නාට්‍ය පහකම එනම් “ඕලු” – “බොඳ මීදුම්” – “සවීණා” – “ආදරණීය චංචලා” සහ “කප් සුවහස් කල්” යන ටෙලි නාට්‍ය පහේම සංගීත අධ්‍යක්ෂවරයා ද වන ශාන්ත අද කතාබහ කරන “නුඹේ හිත හිස් අහසක්” ගී මුතුහර හිමිකරු ය.
more
”මේ ගී සංකල්පනාව මගේ සිතේ ඇති වුණේ මා ජීවත් වෙන මහනුවර, ලේඩි මැකලම් පාරේ යනෙන අතරේ නිතර දුටු සිදුවීම් පෙළක් ඇසුරෙනුයි. ලේඩි මැකලම් පාර අසබඩින් ගලන මහවැලි ගඟේ අසිරිය දැකපු මගේ ඇස් දෙකට නිතරම පෙනෙන තවත් දර්ශන පෙළක් වුණේ පාර අයිනේ වීදුරු කළු කරපු සුපිරි වාහන සහ ඒවා සමඟ සැරිසරන තරුණ තරුණියන්වයි. ඔවුන්ගේ හැසිරීම් විලාසයන් නිසා ඔවුන් බොහෝ දෙනකු පෙම්වතුන් බව පැහැදිලි ලෙස පෙනුණා. සමහර ගැහැනු ළමයි නවතා තිබෙන එම වාහනවලට නැගී සිය පෙම්වතුන් සමඟ පියඹා යන අයුරු මෙන්ම සමහරු එම වාහන තුළට ඇතුළු වී හිඳින අයුරුත් මම දැක්කා. ඔවුන් අතර සිටි ගැහැනු ළමයින්ගෙන් වැඩි දෙනෙකු දුප්පත් ගැහැනු ළමයි බව දකිද්දි එවැනි ගැහැනු ළමයකුගේ සිතක මොන වගේ සිතුවිලි උපදිනවා ඇත්ද කියා මම කල්පනා කළා.”
”මුලින් ම මගේ ගී සංකල්පනාවේ උපන්නේ අර මා දැකපු සිදුවීම් පෙළේ උන්නු දුප්පත් ගැහැනු ළමයකුයි, පොහොසත් පිරිමි ළමයකුයි. ඇගේ හිතේ ඔහු ගැන මෙන්ම තමාගේ අනාගතය ගැනත් සොඳුරු බලාපොරොත්තු දහස් ගණනක් තිබෙනවා. ඒ නිසයි ‘මගේ හිත කවි දහසක්’ යනුවෙන් පද පෙළක් යෙදුවේ. ඒ වගේම ඔහුගේ අවස්ථාවාදී සංකල්පය ප්‍රකාශ කරන්න තමයි ‘නුඹේ හිත හිස් අහසක්’ සහ ‘මේ අනඟ රැඟුමේ අවසන දි මා වේද ගොදුරක්’ වැනි පද පේළි යොදා ගත්තේ. ‘නුවරඑළි සිසිලයි” යෙදුමෙන් පැවසුවේ ඔහුගේ රිය වායු සමනය කර ඇති සුපිරි වාහනයක් වගයි.
වත්මන් සමාජයේ තැනක් ලබන්න, අනාගතයේ සැපවත් ජීවිතයක් ගත කරන්න ආසාවෙන් අපේ සමහර දුප්පත් ගැහැනු ළමයි අසම්මත ප්‍රේම ආරාධනාවක් පිළිගන්නවා. ඒත් ඔවුන් අවසානයේදී තමන් අසරණ වේදෝ යන සැකයෙන් ද පසු වෙනවා. මෙවැනි තත්ත්වයන්ට පත් වෙන යුවතියන්ට ‘ටිකක් සිතා බලන්න’ කියා දී ඔවුන් ඥානනය කිරීමට කළ උත්සාහයක් ලෙසින් මගේ මේ ගී පද රචනය හඳුන්වන්න මම කැමැතියි.”
අසංක පි‍්‍රයමන්ත පීරිස් ගයන “මගේ දරු පැටව්” – “පුංචි හැඩකාරියේ” – “නුඹේ සිනා මුව මඩලට” – “පුංචි පුතා හින්දයි” සහ “කලා වැව හිඳෙනවා” (අමරසිරි පීරිස්) – “නිසංසල සඳක්” (ශෂිකා නිසංසලා) – “ඔබ හිමි වුණා නොවෙයි” (චන්ද්‍රසේන හෙට්ටිආරච්චි) – “මගේ කූඩුවට ඇවිත් සල්ලාල පෙම්බරෙක්” (ජයසිරි අමරසේකර) වැනි ජනපි‍්‍රය ගීත රැසක් පද රචනය කළ සංගීතවත් කළ ශාන්ත, රූපවාහිනී නාට්‍ය සංගීත ක්ෂේත්‍රයේ සම්මානනීය සංගීත අධ්‍යක්ෂවරයකු වන අතර දැනට රූපවාහිනී නාට්‍ය තිහක් සංගීතවත් කර ඇත. ගායන ශිල්පියකු ලෙසින් ද කුසලතා දක්වන ශාන්ත ගායනා කළ ගී අඩංගු වූ ගීත ඇල්බමය “කඳුළු දොරකඩ” නමින් ගීතලෝලීන්ට කලකට ඉහත පිරිනමන ලදී.
කටුගස්තොට කලාප අධ්‍යාපන කාර්යාලයේ සහකාර අධ්‍යාපන (සෞන්දර්ය) අධ්‍යක්ෂවරයකු වශයෙන් සේවය කරන ශාන්තගේ ජීවන සහකාරිය වන ධම්මිකා ජයසිංහද සංගීත ගුරුවරියකි. ඔවුන්ගේ දියණිය පැහැසරාය. මේ දිනවල ශාන්ත “සිහින පියාපත්” රූපවාහිනී නාට්‍ය සංගීතවත් කරමින් සිටියි.