Pages

Tuesday, July 05, 2011

ඇය හැම තැනකදීම හැම වයසකදීම අනාථයි...


ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ප්‍රතිභා මහානාම හේවා

වැටත් නියරත් ගොයම් කන විට කවරෙකුට හෝ ඒ අමාරුව පැවසීම අරුත් විරහිත ක්‍රියාවකි.

ලංකාවේ පුරා ශතවර්ෂයකටත් වඩා ඉපැරණි නීති පද්ධතියක්‌ හරහා ක්‍රියාත්මක වන නීතිරීති ලංකාවේ කාන්තාවන්ගේ සහ දරුවන්ගේ ජීවිත කෙසේ සුරක්‍ෂිත කරන්නේද නො එසේනම් ඒවා ඔවුන්ගේ අගතියට බලපෑම් කර ඇත්ද මේ නීති පද්ධතිය තුළ ඔවුනට අත්ව තිබෙන තත්ත්වය පිළිබඳව කොළඹ නීති විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ප්‍රතිභා මහානාම හේවා මහතා සමගින් කළ පිළිසඳරකි.

කාන්තාවන් ආරක්‍ෂා කිරීම ලෝකයේ බොහෝ රටවල නීති පද්ධතිය තුළම අන්තර්ගත කොට තිබෙන කාරණයක්‌. මේ සඳහා බලපෑම් කරනු කාරණා බොහොමයක්‌ ම දැනගත හැකියි. මේ වනවිටත් කාන්තා අයිතිවාසිකම් ප්‍රඥප්තියක්‌ එක්‌සත් ජාතීන්ගේ සංවිධානය විසින් ලොවට එළි දක්‌වා තිබෙනවා. මේ ප්‍රඥප්තිය එළි දැක්‌වීමට මූලිකම පදනම වූයේ මිනිස්‌ අයිතිවාසිකම් ප්‍රඥප්තියේ ලැබී තිබෙන සමානාත්මතාව කාන්තාවටත් ලබා දීමයි.
MORE

ඉදිරියට ගෙන ආ මේ සංකල්පය ලාංකීය නීති පද්ධතිය තුළ සක්‍රීයව ඇත්ද? වර්තමානයේ මෙම නීති කාන්තාවන්ගේ අයිතීන් ආරක්‍ෂා කිරීමට නොව, ඒවා සීමාකිරීමට හෝ ඒවාට එරෙහි නීති ලෙසටත් ඉස්‌මතු ව පවතී.

තේසවලාමෙයි නීතිය යටතේ විවාහයට පත් කාන්තාව සම්මුතියෙන් ම ඇගේ සැමියාට පහත් ලෙස පවරා දී තිබේ. මෙම නීතිය යටතේ විවාහයට පත් කාන්තාවකට ඇයගේ දේපළ ඇයට කැමැති ආකාරයකට විකිණීමට, බදු දීමට, කුලියට දීමට හෝ උකස්‌ කිරීමට නොහැකිය.

මෙබඳු දෙයක්‌ සිදුකරන්නේ නම් පුරුෂයා සහ කාන්තාව යන දෙපාර්ශ්වය ගත්කල බොහෝ අවස්‌ථාවල සමාජය තුළ හිංසනයට ක්‍රෑරත්වයට ගොදුරු වන්නේ කාන්තාවන්.

ශ්‍රී ලංකාව තුළත් මේ තත්ත්වයන්ට පත්වන කාන්තාවන් ගලවා ගන්නට නොයෙකුත් නීතිරීති පනවා තිබුණත් වඩාත් ගැඹුරින් හා විමසිල්ලෙන් බැලුවහොත් ඒවා සැබැවින්ම කාන්තාවන්ගේ ආරක්‍ෂාව සඳහා ප්‍රමාණවත් නොවන බව පැහැදිලිවම පෙනේ.

එක්‌සත් ජාතීන්ගේ සංවිධානයේ සමානාත්මතා සංකල්පය සඳහා අනිවාර්යයෙන්ම ස්‌වාමිපුරුෂයාගේ කැමැත්ත ඒ සඳහා අවශ්‍ය වෙයි. ඒ නිසා බැංකුවකට තමන්ගේ ඉඩම තේසවලාමෙයි නීතියට යටත්ව උකස්‌ කිරීමකට පවා ස්‌වාමියාගේ කැමැත්ත හෝ කැමැත්ත දක්‌වන දිවුරුම් ප්‍රකාශයක්‌ නොතිබුණහොත් ඇය බෙහෙවින්ම අසරණ වනු ඇත. තත්ත්වය මෙසේ නම් සමානාත්මතා සංකල්පය තේසවලාමෙයි නීතිය යටතේ කාන්තාවකට ලැබෙන්නේ ද යන්න විමසිය යුතුය.

එමෙන්ම උඩරට නීතිය යටතේ දීග විවාහයකට ගිය දියණියකට විවාහයෙන් පසුව අන්තිම කැමැති පත්‍රයක්‌ නොලබා සිය පියා මියගිය විට පියාගේ දේපළට උරුමකම් කිව නොහැකිය. උරුම අයිතිවාසිකම් කිවහැක්‌කේ අවිවාහක දියණියට, බින්න විවාහ දියණියකට සහ පුත්තුන්ට පමණි.

එක්‌ නඩුවක දී සියලු දූ පුතුන් පියා අමතක කර දැමූ විට දීග විවාහක දියණිය ඇගේ පදිංචියද වෙනස්‌කර පියාගේ නිවසට පැමිණ අවුරුදු ගණනාවක්‌ පියාට උවටැන් කොට සැලකීම් කළද ඇයට පියාගේ කිසිදු දේපළක්‌ නීතියෙන් හිමිවූයේ නැත. එයට හේතුව වූයේ ඇය දීග විවාහක දියණියක වීමයි. තත්ත්වය මෙසේ නම් සමානාත්මතාවයේ අයිතිවාසිකම් කාන්තාවන්ට ලැබේද යන්න ප්‍රශ්න කළ යුතුව තිබේ.

2005 ගෘහස්‌ත ප්‍රචණ්‌ඩත්වය වැළැක්‌වීම සඳහා විශේෂයෙන්ම පාර්ලිමේන්තු පනතක්‌ සම්මත කරනු ලැබුවේ ගෘහය තුළ දී පීඩාවට පත්වන විවාහක කාන්තාව ප්‍රචණ්‌ඩත්වයෙන් මුදා ගැනීමට වුවත් ප්‍රයෝගිකව නම් මේ නීතිය ක්‍රියාත්මක නොවේ.

පොලිසිය මෙවන් පැමිණිලි (සිද්ධියට අදාළව) භාරගන්නට මැලිවන අතර නීතිඥයකු මගින් නඩු පවරන්න අහිංසක කාන්තාවන්ට උපදෙස්‌ දෙයි. අධිකරණය පවා මේ පනත යටතේ නඩු ඉදිරියට ගෙන යැමට අකමැත්තක්‌ දක්‌වන්නේ සැමියා හා බිරිඳ අතර ප්‍රශ්න ගෘහය තුළ දී විස¹ගත යුතුය යන ආකල්පයෙනි. එහෙත් ගෘහය තුළ අනේකවිද වධ හිංසාවලට ලක්‌වන කාන්තාවන් මේ පනත මගින් කොතරම් ආරක්‍ෂාවේදැයි යළිත් සිතා බැලිය යුතුය.

මේ නීතිය ප්‍රයෝගිකව ක්‍රියාත්මක වීමේ ගැටලු මතුවෙයි. අතමිට හිඟ කාන්තාවන් විවාහ වූ විට ඇගේ ආර්ථික දරිද්‍රතාව නිසාම ඇයට කරකියා ගත දෙයක්‌ නොහැකි වූ විට පුරුෂයාගේ බැණවැදීම්, තාඩන පීඩන දරා ගෙන සිටින්නේත් නීතියේ පිළිසරණ සොයා නොයන්නේ ඇය අසරණ වන නිසාය. නැවත නැවත ඇය අධිකරණයට නොයන්නේ ස්‌වාමියාව ඇගේ ජීවිතයෙන් ඉවත්කරනු ලැබූ විට ඇගේ දරුවන් සහ ඇය නඩත්තු කරන්නේ කවරෙක්‌ද යන්න බලගතු ප්‍රශ්න ලෙස ඉස්‌මතු වන නිසාය.

ප්‍රංශය වැනි රටවල මේ ගැටලුවට ප්‍රතිකර්ම සපයන්නේ මෙලෙස නොවේ. එහි කාන්තාව ආර්ථික අතින් ශක්‌තිමත්ය. දික්‌කසාද වූ කාන්තාවන්ට විශේෂ ආරක්‍ෂාවක්‌ රජයෙන් සලසාදෙනු ලබයි. නවාතැන් පහසුකම් සහ මනෝ ප්‍රතිකාර ද ලබාදෙයි. මෙබඳු තාඩන පීඩන කරන සැමියන් ට එරෙහිව නීතිමය ආධාර ලබා ගන්නට උත්සාහ ගත්තද තවමත් කාන්තාවන් අධිකරණයට යැමට මැලිකමක්‌ නොදක්‌වන්නේ මෙබඳු හේතුකාරකයන් නිසාය.

මේ නිසා ඇය තවදුරටත් ගුටිකමින්, නොයෙක්‌ තාඩන පීඩන මැද ජීවත්වන්නට තීරණය කරන්නේත් මේ තත්ත්වයන් නිසාමය.

රැකියා ස්‌ථානවල දී සිදුවන ලිංගික අතවර සහ ලිංගික හිංසනයන් පිළිබඳව ක්‍රියාමාර්ග ගැනීමට ජාත්‍යන්තර නීතියට සහ කාන්තාවන්ට එරෙහිව සිදුවන්නා වූ වර්ගීකරණය ට එරෙහි සම්මුතීන්ට ශ්‍රී ලංකාව අත්සන් කර එබඳු වගන්ති දණ්‌ඩ නීති සංග්‍රහයට ඇතුළත්කර තිබෙන නමුත් රැකියාවන් කරන යුවතියන් / කාන්තාවන් තමන්ට කාර්යාලවලදී සිදුවන අතවර ලිංගික හිරිහැරවලට එරෙහිව නීතිමය පියවර ගන්නට නොයන්නේ මෙම සිදුවීම් වලින් අනතුරුව තමන්ගේ රැකියාව අහිමිවුවහොත් ඇය ආර්ථික වශයෙන් දරුණු ආගාධයකට වැටෙන නිසාය.

නීතිමය පාර්ශ්වයෙන් කෙසේ වුවද සැබෑ සමාජයේ දී වුව ඇය දෙස බැලෙන්නේ වපර ඇසකිනි. මුළුමහත් සමාජයට වැරැද්ද කරනු ලබන තැනැත්තා නිවැරදිකරු බවට පත්කර ගැනීමට උත්සාහ ගන්නා අතර කාන්තාවට සියලුම වැරදි පැටවීමට සමාජය උත්සුක වෙයි.

ලිංගික අතවර හා හිරිහැර පිළිබඳ ක්‍රියාත්මක කිරීමට නීති සකස්‌ වුවද 1995 දණ්‌ඩනීති සංග්‍රහයට සංශෝධනයක්‌ ගෙන ආවද මෙම නීති සංශෝධනය වී වසර 16 ක්‌ ගතවුවද මෙම සංශෝධන යටතේ නඩු පැවරී ඇත්තේ 25 කටත් වඩා අඩු ප්‍රමාණයකි. මෙම නඩු ද ගොනු කර ඇත්තේ පොලිස්‌ කාන්තා නිලධාරිනියන්, නීතිඥවරියන් වැනි උදවියයි. බස්‌රථවල ගමන්කරන විට හිරිහැරයට පත්වන අතවරවලට ලක්‌වුවද ඔවුන් පොලිසියට පැමිණිලි නොකරන්නේ සාක්‍ෂිවල පවතින දුර්වලතා නිසාය. තවද මෙබඳු නඩු මගකට යොමුවීම හරහා තීන්දුවක්‌ ලබා ගැනීමට ගතවන දිගු කාලය නිසාය. නීතිපතිගේ විමර්ශනය යෑවෙන ගොනු කලට වේලාවට නොලැබීම හේතූකොට ගෙන උසාවිවල නඩු ප්‍රමාදය මේ වනවිටත් උග්‍ර ගැටලුවක්‌ව පවතී.

මෙම නඩු පමාව වළක්‌වා ගැනීම ට කළයුතු වන්නේ මෙබඳු නඩුවක්‌ විභාග කර අවසාන කළ යුතු කාලය පිළිබඳ නීතියක්‌ පැනවීම පමණි.

උදාහරණයක්‌ ලෙසට මූලික අයිතිවාසිකම් කඩ වී මාස දෙකක්‌ තුළ දී ඒවා විමර්ශනයකර තීරණය ලබාදිය යුතු බවට ඇති ප්‍රයෝගික ක්‍රියාවලිය ද මෙම තත්ත්වය මතටද යොමුකර ගත හැකි නම් එය වඩාත් සුවදායී ප්‍රතිඵල කාන්තාවන්ට ගෙන එනු ඇත.

එමෙන්ම ශ්‍රී ලංකාවේ පවතින තවත් ශෝකජනක කරුණක්‌ වන්නේ කාන්තාවන් කුට්‌ටනය කිරීමය (ජාවාරම් සඳහා යොදවා ගැනීමයි) ලංකාවේ මෙන්ම නොයෙක්‌ රටවල ද බොහෝ අවස්‌ථාවල දී මෙම තත්ත්වයන් සිංගප්පූරුව, මාලදිවයින ආදී රටවලට අධ්‍යාපනය ලබාදීමට යෑයි ද රැකියා ලබාදීම සඳහා බවට ද බොරු ප්‍රකාශ කර පුවත්පත්වල අතිවිශාල දැන්වීම් පළකොට මෙම ජාවාරම සූක්‍ෂම ලෙස ක්‍රියාත්මක වේ.

රටින් පිටට ගියාට පසුව මෙබඳු අයගෙන් ඇතැමුන් බලෙන් ගණිකා ජාවාරම් සඳහා යොදවා ගනු ලබයි. රැකියාවලට ගියාට පසුව මුලින්ම කෙරෙනුයේ ඔවුන්ගේ ගුවන් ගමන් බලපත්‍රය බලහත්කාරයෙන් ලබා ගැනීමයි.

මෙබඳු විටෙක ඇයට කරකියා ගත දෙයක්‌ නොහැකි වන අතර ඒජන්සිකරුගේ අතකොළුවක්‌ බවට ඇය පත්වෙයි. මෙබඳු තත්ත්වයන් වළක්‌වා ගැනීමට නීතිමය ආවරණයක්‌ තිබේද යන්න විමසා බැලිය යුතුය.

තවද කාන්තාවන් සහ ළමුන් සඳහා සාක්‍ෂි ලබා ගැනීමේ ක්‍රමවේද වඩාත් ලිහිල් කළ යුතුය. ලිංගික අතවරයකට ලක්‌වන කාන්තාවකගේ හෝ ළමයෙකු ගේ ප්‍රකාශය විමර්ශනයෙන් පසුව මහෙස්‌ත්‍රාත්වරයා හෝ මහාධිකරණයට අධිචෝදනා පත්‍ර ගොඩනගා නඩුව යළිත් කැඳවන කාලය වන විට අවුරුදු ගණන් ගතවෙයි. එම උසාවි කැඳවීම්වලදී නැවත නැවත හරස්‌ ප්‍රශ්නවලට උත්තරදීමට ඇයට සිදුවෙයි. නැවත වරදක්‌ සිත්වේදනාවලට සහ මානසික පීඩනයකට හා දුකකට අගතියකට පත්වීමට ඇයට සිදුවෙයි. මේ තත්ත්වය නිසාම ඇය උසාවියේ සාක්‍ෂි දීමට පවා නොයන තත්ත්වයන් ඉස්‌මතු වනබව දැකගත හැකිය.

කෙටිකාලීනවම අත්කර දිය යුතු යුක්‌තිය අත්කර දීමට දිගුකාලයක්‌ ගැනීම තුළින් කාන්තාවන් සහ ළමුන් නීතිය නිසාම බෙහෙවින් පීඩාවට පත්වෙති. කාන්තාවන් සහ දරුවන් සඳහාම කෑ මොරගසන රාජ්‍ය නොවන සංවිධාන අටෝ රාශියක්‌ ලංකාවේ ඇති නමුත් ඔවුන්ද මේ අවස්‌ථාවේ මර නින්දේ පසුවන වග ද පෙනෙන්නට තිබේ. කාන්තාවන් ගේ අයිතීන් සුරක්‍ෂිත කරන්නට කටයුතු කරන්නේ නම් ඒ කටයුතු සිද්ධියකට පමණක්‌ සීමානොකර සමස්‌ත ක්‍රියාදාමයම පදනම් කරගෙන කළ යුතුව පවතී. එහෙත් සිදුවන්නේ එය නොවේ.

1995 දණ්‌ඩ නීති සංග්‍රහයේ සංශෝධන වලට අනුව යම් වරදකට ගොදුරු වූ අයෙකුට වන්දියක්‌ නියම කිරීමට හැකියාවක්‌ තිබීමය. මේ බලය අධිකරණයට පැවරී තිබේ. නමුත් ගැටලුව නම් මේ සියල්ල ලංකාවේ ක්‍රියාත්මක වන්නේ නඩුව අවසානයේදීය. එලෙස වන්දියක්‌ හෝ දඩයක්‌ නියම කළද එය අගතියට පත් පාර්ශ්වයට ලබා ගැනීමට කලක්‌ ගතවෙයි.

නමුත් බොහෝ රටවල නම් දඩයක්‌ හෝ වන්දියක්‌ මුලින්ම නියමකර අගතියට පත් කාන්තාවට හෝ දරුවන්ට යම් සහනයක්‌ ලබාදීම සිදුවෙයි. එසේම නඩු විභාගයද ඉක්‌මනින්ම සිදුවෙයි.

මේ නිසා සිදුවිය යුත්තේ ඇයව අතවරයට ලක්‌වූ බවට පැහැදිලි සාක්‍ෂි ඇත්නම් යම් ආකාරයක අරමුදලක්‌ විත්තිකරු හරහා ආරම්භකර ඒ අරමුදලින් පීඩාවට පත්වූ පාර්ශ්වයට යම් සහනයක්‌ ලබා දීමට කටයුතු කිරීමය. මෙම ක්‍රියාදාමය බොහෝ රටවල ක්‍රියාත්මක වෙයි.

තවත් ෙ€දවාචකයක්‌ ව පවතින්නේ අවුරුදු 18 කට වඩා වැඩි තරුණියක්‌ දූෂණයට ලක්‌වූ විට ඇයට අත්වන ඉරණමයි. ඇයව භාර ගැනීමට කිසිදු ආයතනයක්‌ නොතිබීමයි. ළමා නිවාස ඇයව භාර නොගන්නේ ඇයට වයස අවුරුදු 18 ට වැඩි නිසාය. දෙමව්පියන් ඇයව භාර නොගන්නේ ඇය පවුලට කැළලක්‌ වූ නිසාය. මෙබඳු තැනැත්තියන් සඳහා රැඳවුම් නිවාස හෝ වෙනත් එබඳු තැන් ආයතන නොමැත.

ඇයට අවසානයේ සිදුවන්නේ මහමඟට ඇද වැටීමටය. එසේ හෙයින් අධිකරණයේ නඩුව නිමාවනතුරුම ඇයට ජීවන මාර්ගයක්‌ ලබා දී නඩත්තු වීමට මගක්‌ සැලසිය යුතුය. මේවා කිරීමට මුදල් කොහෙන්දැයි යමෙකු තර්ක කළ හැකිය. එය සැබැවින්ම හිස්‌ තර්කයකි. හේතුව උසාවියේ එකතුවන දඩ මුදල් ප්‍රමාණය කෙතෙක්‌ ද ඒවා කිනම් කාර්යයන් සඳහා යොදවා ගන්නේද මේ මුදල් ඉහත වින්දිතයන් සඳහා උපයෝගිකර ගත නොහැක්‌කේද? යන ප්‍රශ්න විමසීමෙන් වටහා ගත හැකිය.

අනෙක්‌ අතට මහා භාරකාරතුමන් වෙතට පුද්ගලයන්ගෙන් අත්කර ගනු ලැබූ දේපළ, මේ ආකාර වින්දිතයන් සඳහා සුදුසු පුනරුත්ථාපන මධ්‍යස්‌ථාන ගොඩනැගීමට ඉවහල්කර ගත හැකිය.
සංවාදය - ඩබ්ලිව්. ඒ. සරත්චන්ද්‍ර -Divaina