Pages

Saturday, July 16, 2011

සදාචාරාත්මක පේ‍්‍රමයක ශෝකාන්තය

මෙය හා සදාචාරය කෙතරම් ගැළපේදැයි මම නොදනිමි. එහෙත් මම මේ ගීතයට ඒ නම තැබුවෙමි. සෂිකා නිසංසලා ගායිකාව ගැන මට විවාදයක් නොමැත. එහෙත් ලලිත් වසන්ත නමැති ගීත රචකයා ගැන මට වාදයක් ඇත.
මම කිසිම දිනක ඔහු දැක හෝ කතාකර නැත්තෙමි. එහෙත් මා දන්නා පරිදි ඔහු ලංකාවේ ප්‍රධාන කැසට් නිෂ්පාදන සමාගමක තීරක වරයෙකි. ඒ කැසට් නිෂ්පාදන සමාගම ගැන මට වාදයක් හෝ සමාගමක් නොමැත. මේ සියල්ල විවෘත ආර්ථිකයේ යහපත් හෝ අයහපත් ප්‍රතිඵල විය හැකිය. එහෙත් ලලිත් වසන්ත කවුරු වුවද මට වැදගත් වන්නේ ඔහු ගේ ප්‍රතිභාව පමණකි. එබැවින් මා එය නිර්භය ව කියා පෑ යුතුය. එයින් අදහස් කරන්නේ ඔහු විකිණීම සඳහා කරන සෑම නිර්මාණයක් ම ඇගැයීම නොවේ.
එහෙත් සාම්ප්‍රදායික විචාර කලාවට හෝ අගනුවර කල්ලි වාදයට එකකුගේ ප්‍රතිභාව යට කරනු දැකීමට මා තුළ ඇතිවන අකැමැත්ත නිසාවෙනි.
ලලිත් වසන්ත, රචනා කළ “මගේ දරු පැටව්” ගීතය “සඳ නාවත්” ගීතය සාර්ථක ගීත වේ. එහෙත් ඒ ගීත සාර්ථක ඇගැයීමකට ලක්වූවා යැයි මම නොසිතමි.
මිනිසා කවුරුන් වුවද මිනිසා කළ හොඳ දෙයක් ඇගැයීම සාමාජීය වගකීමකි. පාණ්ඩිත්වය හෝ සමාජයට ඇති බිය නිසා එය මග හැරීම කුහකකමකි. මේ කුහකකම නිසා වැළලී ගිය සොඳුරු නිර්මාණ ගණනාවක් ලාංකේය ගීත සාහිත්‍යයේ පවතී. මේ සියල්ල හඳුන්වා දීමට තරම් මට ආයුෂ නොමැත.
ලලිත් වසන්ත නමැති ව්‍යාපාරික චින්තකයා මම මොහොතකට අමතක කරමි. එහෙත් ඔහුගේ පන්හිඳෙන් නිර්මිත මේ ගීතය අපේ පවුලේ ගායිකාවකට දොරගුළු විවර කළ බව මම සිතමි. සෂිකා අපේ පවුලේ ගායිකාවක ලෙස මා හඳුන්වන්නේ ඇය මහ පොළවේ පය ගසා සිටින බැවිනි.
දිය මත රබර් බෝලයක් වනවාට වඩා යගුලියක් සේ ඇය රසිකයාගේ ගැඹුරු ම තැන හඳුනා ගැනීමට උත්සාහ කරමින් සිටින්නී ය. ඇය ව විනාශ කිරීම සූකිරි මාධ්‍ය වලටත්, ඇයව රැකගැනීම සැබෑ රසිකයාටත්, භාර කටයුත්තකි.
“පාරමිතා නොපුරමු අපි දෙන්නා
මතු මතු සංසාරේ
පාන සිනා සුළඟට විසි කරමු
හමුවන හැම වාරේ”
පේ‍්‍රමය දිග්විජයෙන්ම අවසන් වන්නක් නොවේ. එහි පරාජිතයෝ ද සිටිති. එහෙත් මේ පරාජිත බව උපේක්ෂාවෙන් හා සංයමයෙන් දරා ගත හැකි මිනිසුන් අල්ප ය. මට ලූෂන් බුලත්සිංහලයන් ගේ පදමාලාවක් සිහි වේ.
“මං හින්දා ඔබ
නෙතඟින් කඳුළක් හෙළන්නෙපා
මං හින්දා ඔබ
හද තුළ සුසුමක් නැගෙන්නෙපා
ගිවිසා ගනිමු අපි
පෙම් යුවළක් සේ
කිසිදා එක් නොවනා”

(ගායනය ගුණදාස කපුගේ - මාලනී බුලත්සිංහල)
more
මේ උපේක්ෂාව ගොඩනඟා ගැනීම අසීරු ය. එහෙත් සැබෑ ආදරය තුළ මේ උපේක්ෂාව රැඳී පවතී. ලලිත් වසන්ත නම් ගීත රචකයා එය ඉතා හොඳින් ස්පර්ශ කරයි.
“පාන හිනා සුළඟට විසිකරලමු
හමුවන හැම වාරේ”
මෙය අදීන කාව්‍යොක්තියකි. මෙහි දී සෂිකා ගේ මුවින් ගැයෙන ප්‍රකාශය අව්‍යාජ ප්‍රකාශයක් නොවේ. එහෙත් එය සත්භාවයෙන් කෙරෙන ප්‍රකාශයකි. තම ආදරවන්තයා නොපෙන්නට ප්‍රාර්ථනා කරන පෙම්වතියක් මිහිපිට ඇත්නම් එය මායාවක් පමණි. එහෙත් ඇයට ඔහු නොපෙනී යන්නේ කඳුළෙන් දෑස වැසී යාම නිසාවෙනි. එය මිථ්‍යාවක් නොව භාවාත්මක ප්‍රකාශයකි, පේ‍්‍රමවන්තයා ගේ රුව මැකී යන්නේ කඳුළු ගෑස්වලින් නොවේ ආත්මයෙන් උනන සැබෑ කඳුළු වලිනි.
කඳුළුවලින් බොඳ වී යනවා නම්
අවිහිංසක රූපේ
දෝර ගලනතුරු කඳුළු සලන්නම්
මට ඔබ නොපෙනෙන සේ
මේ තරුණිය ගේ ආත්ම සංයමය පද රචනාව මඟින් ඉතා ඉහළින් ඉස්මතු වේ. දෛවයේ යම් සරදමක් නිසා ඔවුන්ට වෙන්වීමට සිදුවී තිබේ. එක්කෝ මේ පේ‍්‍රමය සමාජ සම්මතයට පටහැණිය. නැතිනම් සමාජය මේ පේ‍්‍රමයට පටහැණිය. ඒ සියල්ල මැද මේ යුවතිය හැඟීම් පාලනය කර ගනී.
මට ඔබ ඔබ මට පෙම් කළ තරමට
වෙන් වී යන්න බැරි
අසම්මතේ පෙම්වතුන් නොවෙමු අපි
වරදට වහල් නොවී,
බොහෝ ගීත රචකයන්ට නොමැති මනා පද සංඝටනයේ හැකියාව ලලිත් ගේ බොහෝ පදමාලාවල දැකිය හැකිය. එසේම සංක්ෂිප්ත හැඟීම්බර, සහ ගීතමය යෙදුම් ඔහු ගේ භාෂාව පුරා සැරිසරයි.
ජයසිරි අමරසේකරගේ ගී තනු ඉතා මිහිරි ය. ඔහු ද නිසි ඇගැයීමකට පාත්‍ර වූ බවක් නොපෙනේ. පදමාලාව නිසි ලෙස හඳුනාගෙන සංගීත සංයෝජනය කිරීමේ දුලබ හැකියාව ඔහු සතු ය.
සෂිකා ගේ ගායන ලාලිත්‍යය කවදත් මිහිරි ය. ශෘංගාර රසය ශෝක රසය, කරුණා රසය සම්මිශ්‍රණය වී ඒ හඬ නිර්මාණය වී ඇති බව මගේ හැඟීමයි.
පේ‍්‍රමයේ විරහව විවිධාකාරයෙන් තැන තැන විසිරී පවතින්නකි. ඒ දුක් වේදනා එක්රැස් කිරීම කලාකරුවාගේ කාර්යභාරයයි.
ලලිත් වසන්ත නම් රචකයා මේ එක්රැස් කර ඇත්තේ විරහ වේදනාවක නැවුම් පැතිකඩක මේ වේදනාව අත්විඳින තරුණිය වෙත උපරීම දයාව කරුණාව ලබා දෙමින් මානව හදවත් දයාබර කිරීමට ඔහු සමත් වෙයි.
තම පේ‍්‍රමවන්තයා රූපය බොඳ වී යන තෙක් හඬා වැටෙන පෙම්වතියකගේ දුක්බර මුහුණ මේ මොහොතේ මා ඉදිරියේ මැවී නොපෙනී යයි.