Pages

Saturday, August 24, 2013

ඔබට මෙතරම් ළංව ඉන්නේ - නොලැබෙනා බව දැන දැනයි

හමුවෙනා නෙත් දහක්‌ අතරින්
ඔබේ දැසම සොයා ඇවිදින්
ඔබට මෙතරම් ළංව ඉන්නේ
නොලැබෙනා බව දැන දැනයි...//

අයාලේ ගිය හීන අතරේ
ගොඩගසා මහ වේදනා
මමම විතරද පෙම් කරන්නේ
ආත්මය පරදුව තියා
ඔබව හිමිවේ නම් ඔයා අදහන්නම්
ආදරෙයි මං රත්තරනේ දැන්
නැතුව ඉන්නට බෑ ඔයා

හමුවෙනා නෙත්...

තෙතමනේ ඇති පපුව ගැඹුරේ
උනනවා පෙම් දිවිතුරා
අද ඉඳන්වත් ඉමුද සෙනෙහෙන්
පුංචි වෙනසක්‌වත් එපා...

ගී පද/තනුව - ඩිලාන් ගමගේ
ගායනය - කවිරාඡ් කවිරාඡ්

වචනයෙන් කියාගන්න බැරි බොහෝ දේ ඇස්‌ දෙකින් ප්‍රකාශ කරන්න පුළුවන්... ආදරේත් ඒ වගේ... තරුණයෙක්‌... තරුණියක්‌ මුල් වරට හමුවුණාම... දෙදෙනාගේ නෙත් එකට යාවෙද්දී... ඒ ඇස්‌වල ආදරය උතුරනවා.... ආදරය, නුරාව, රාගය.... වගේම ඇස්‌ දෙකෙන් වෛරය සහ ක්‍රෝධය පෙන්වන්නත් පුළුවන්.

හමුවෙනා නෙත් දහක්‌ අතරින්
ඔබේ දැසම සොයා ඇවිදින්
ඔබට මෙතරම් ළංව ඉන්නේ
නොලැබෙනා බව දැන දැනයි...

මහමඟඳී මගේ දෙනෙත්වලට තවත් නෙත් කීයක්‌ හමුවෙනවද... ඒ දෙනෙත් මට කියවන්න පුළුවන්. ඒ තරුණියන් මගේ ආදරය අයෑදිනවා. ඒත්.. ඒත්.... මගේ දෙනෙත් හැම තැනම දිවයනවා. ඔයාගේ ලස්‌සන නෙත් යුග සොයනවා.. දෙනෙත් දාහක්‌ අතරින් මට ඔයාගේ නෙත් හමුවෙනවා... මගේ හිත හෙමි හෙමිහිට ඔයාට ළං වෙනවා. මං දන්නවා කොයිතරම් ඔයාට ළං වුණත් මට ඔයාව ලබාගන්න බැරි බව.....

ඩිලාන් ගමගේ ලියා... තනු රචනා කළ ගීය ගයන්නේ කවීෂ කවිරාඡ්

මම මේ සිංදුව ලියුවේ ජනනාත් වරදාගොඩගේ "සප්නා" චිත්‍රපටයට. සබීත් බණ්‌ඩාරනායක නිෂ්පාදනය කළ මේ චිත්‍රපටය තවම තිරගත වුණේ නෑ, මම තිරපිටපත බලලා තමයි සිංදුව ලියුවේ. ඒ ඩිලාන්ගේ අදහස.

අයාලේ ගිය හීන අතරේ
ගොඩගසා මහ වේදනා
මමම විතරද පෙම් කරන්නේ
ආත්මය පරදුව තියා...
ඔබව හිමිවේ නම්
ඔයා අදහන්නම්
ආදරෙයි මං රත්තරනේ දැන්
නැතුව ඉන්නට බෑ ඔයා

මම හොයපු ආදරේ මට හමුවෙලා. මුහුදු වෙරළේ.. මල් වත්තේ නිසංසලේ ඔයා මට තුරුලු වෙලා... මම කොතරම් හීන දැක්‌කද... ඒත් මගේ හිතට.. දුක්‌ වේදනා දෙමින් ඒ හීන අයාලේ ගියා... මම මගේ මුළු ජීවිතයම පරදුවට තියලයි ඔයාට ආදරේ කරන්නේ. මට මගේ පණටත් වඩා ඔයාව වටිනවා. දෙවියනේ... මට හිතෙනවා මං වගේ ආදරවන්තයෙක්‌ තවත් ඉන්නවද කියලා... ඔයාව මට ලැබෙනව නම්.. මම මගේ මුළු හඳවතම ඔයාට පුදකරන්නම්... ඇත්තමයි මම ඔයාට ආදරෙයි... ඔයා නැතුව මට ඉන්න බෑ.....

මම ෆිල්ම් කීපයකටම සිංදු ලියුවා. මේ සිංදුව ලියලත් අවුරුදු දෙකක්‌ විතර වෙනවා... මේ සිංදුව කවීෂ ගායනා කළා කියලා මම දැනගත්තේ පස්‌සේ.. මගේ අනෙක්‌ සිංදු වගේ නෙවෙයි.. මේ සිංදුව ලියද්දී චිත්‍රපටයේ පිටපතට කොටුවෙන්න වුණා.. සාමාන්‍යයෙන් ඒක එහෙම තමයි සිද්ධවෙන්නේ.. ඩිලාන් පැවසුවා.

තෙතමනේ ඇති පපුව ගැඹුරේ
උනනවා පෙම් දිවිතුරා
අද ඉඳන්වත් ඉමුද සෙනෙහෙන්
පුංචි වෙනසක්‌වත් එපා...

ඔහුට දැන් ඇගේ ආදරය ලැබිලා... ඒත් ඒ ආදරයේ තාවකාලික බවක්‌ ඔහුට දැනෙනවා. එය හෙළිකරන්න ඔහු කැමතිත් නෑ. සමහර විට ඔහුට දැනෙනවත් ඇති මේ ඔහු සෙවූ නියම ආදරේ ද කියලා... ඈ ඔහුට ආදරේ කරන්නේ සීමාවක ඉඳලා... ඒකට හේතුවකුත් ඇති... සමහරවිට ඇය අන්සතු ළඳක්‌ වෙන්නත් පුළුවන්...

ඒ නිසා තමයි ඔහු මෙහෙම කියන්නේ...

මගේ හිත හරිම සංවේදීයි. දරුණු නෑ.. සැණෙකින් තෙත්වන හිතක්‌ මට තියෙන්නේ. ඒ හිත ඇතුළෙන් එන ආදරේ.. ඔයා වෙනුවෙන් මගේ ජීවිතය තියෙන තුරාවටම ඉපදේවි. දැන් අපි පෙම්වතුන්.. ඇයි අපිට ආදරෙන් ඉන්න බැරි.. එපා... මට පුංචි වෙනස්‌කමක්‌වත් කරන්න එපා... එතකොට මට දුක හිතේවි...

මේ සිංදුවෙ... කොටස්‌ තුනෙන් කියන්නේ කතන්දර තුනක්‌... සාමාන්‍ය ගීයකට වඩා තරමක්‌ වෙනස්‌. මම මේ සිංදුව ලියලා මෙලඩි එක කරන්න කීපදෙනෙක්‌ටම දුන්නා.. ඒත් ඒක සිද්ධවුණේ නෑ.. අන්තිමේදී මමම මෙලඩි එක කළා... ඩිලාන් ගමගේ.... ගී පද රචකයා පැවසුවා.

අජිත් අලහකෝන් Divaina