Pages

Tuesday, August 06, 2013

රජ කුමරාගේ උප්පැන්න සහතිකය ලියැවුණු හැටි

බ්‍රිතාන්‍ය කිරීටයේ අලුත්ම උරුමකරු ජෝර්ජ් අලෙක්සැන්ඩර් ලුවිගේ උපත නිල වශයෙන් ලියාපදිංචි කිරීම පසුගියදා සිදු විය. ඒ අනුව ජෝර්ජ් කුමරුගේ මවගේ වෘත්තිය ලෙස උප්පැන්න සහතිකයේ සඳහන් කර ඇත්තේ ‘එක්සත් රාජධානියේ කුමරිය’ (Princess of the United Kingdom) ලෙසය. සාමාන්‍යයෙන් තමා කුමරියක ලෙස හඳුන්වා දෙන්නට කේට් මැළිකමක් දක්වයි. ඇය වඩාත් කැමැත්තක් දක්වන්නේ තමා ‘කේම්බ්‍රිජ්හි ආදිපාදවරිය’ ලෙස හඳුන්වා දෙන්නටය. විලියම් කුමරු හා විවාහ වන මොහොතේ මහ රැජන ඇය වෙත ප්‍රදානය කළ නිල නාමය වූයේද ‘කේම්බ්‍රිජ්හි ආදිපාදවරිය’ යන්නය.
කෙසේ වුවද විලියම් කුමරු හා විවාහ වීම නිසා ඇය ‘වේල්සයේ විලියම් කුමරිය’ බවට පත්වේ. ඒ අනුව ‘එක්සත් රාජධානියේ කුමරිය’ ලෙස ඇය හැඳින්වීමේ වරදක් නැත.
විලියම් කුමරු සිය පුතුගේ උප්පැන්න සහතිකයට ඔහුගේ රැකියාව ලෙස ලබාදී ඇත්තේ රාජකීය ගුවන් හමුදාවේ හෙලිකොප්ටර් නියමු යන්න නොව ‘එක්සත් රාජධානියේ කුමරු’ ලෙසය.
සාමාන්‍යයෙන් සිය දරුවාගේ උපත ලියාපදිංචි කිරීම සඳහා මව්පියන් දරු උපතින් දින 42ක් ඇතුළත උපත් ලියාපදිංචි කිරීමේ කාර්යාලයට යාම සිරිතය. එහෙත් ජෝර්ජ් ඇලෙක්සැන්ඩර් ලුවි කුමරු රජ කිරුල හිමි ලැයිස්තුවේ තුන්වැන්නා වීම නිසාම වෙස්මිනිස්ටර්හි නියෝජ්‍ය රෙජිස්ට්‍රාර්වරිය ඔහුගේ උපත ලියාපදිංචි කිරීමට කෙන්සින්ටන් මාලිගයට පැමිණියාය.
ජෝර්ජ් කුමරුගේ උපත ලියාපදිංචි කිරීමේ ‍පෝරමය පිරවීමට පෙර විලියම් කුමරු ජෝර්ජ් කුමරුගේ උපත පිළිබඳ වූ සහතිකය නියෝජ්‍ය රෙජිස්ට්‍රාර්වරිය වන ඇලිසන් කැච්කාට් වෙත ලබාදී තිබේ. කැච්කාට් ‍පෝරමය පිරවීමෙන් පසුව ජෝර්ජ් කුමරුගේ උපත ලියාපදිංචි කළ පුද්ගලයා ලෙස විලියම් කුමරු අත්සන් තැබිය.
ජෝර්ජ් කුමරු උපන්දිනය, ස්ථානය ඇතුළු තොරතුරු අඩංගු උප්පැන්න සහතිකයේ පියාගේ සම්පූර්ණ නම ලෙස විලියම් ආතර් පිලිප් ලුවි කුමරු, කේම්බ්‍රිජ්හි ආදිපාද ලෙස සටහන් කර තිබේ. මවගේ සම්පූර්ණ නමට කැතරින් එළිසබෙත්, කේම්බ්‍රිජ්හි ආදිපාදවරිය ලෙස යොදා ඇති අතර විවාහයට පෙර නම ලෙස මිඩ්ල්ටන් යොදා ඇත.
(ඩේලි මේල්)