Pages

Saturday, August 10, 2013

කොළඹ සිට කටුනායකට රූංගාලා යන්න ළගදීම පුලුවන්

දෙවැනි ලෝක යුද සමයේ රාජකීය ගුවන් හමුදාවට යානා ගොඩබෑම සඳහා කටුනායක ප්‍රදේශයේ ගුවන් පථයක්‌ ඉදිකරන ලද්දේ 1944 දීය. බ්‍රිතාන්‍යයන් විසින් "නිදහස" හිමි කර දුන් පසුත් කටුනායක භූමියේ බ්‍රිතාන්‍යය හමුදා කඳවුර පිහිටා තිබිණි. 1957 දී අගමැති බණ්‌ඩාරනායක විසින් බ්‍රිතාන්‍ය හමුදාව එයින් ඉවත් කළ අතර ඉන්පසුව කටුනායක ගුවන්තොටුපළ ශ්‍රී ලංකාව සතු එකම අන්තර්ජාතික ගුවන්තොටුපළ ලෙස ඉදිවිය. 1964 වසරේදී ප්‍රවෘත්ති ඇමැති අනිල් මුණසිංහ විසින් කටුනායක ගුවන්තොටුපළ සඳහා කැනේඩියානු ආධාර යටතේ ගොඩනැඟිලි ඉදිකිරීම ආරම්භ කළේය....

මේ ආදී වශයෙන් කටුනායක ගුවන්තොටුපළේ කතාව දිග හැරෙයි. කොළඹ බණ්‌ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ ලෙස අද භාවිතා වන ගුවන් තොටුපළ වර්ධනීය අවස්‌ථාවක තිබුණත් දිල්ලියේ සිට කටුනායකට පැමිණීමට සමාන කාලයක්‌ කටුනායක සිට කොළඹට පැමිණීමට ගතවීම හේතුවෙන් කටුනායක ගුවන්තොටුපළෙන්a අගනුවරට පැමිණීම නීරස කටයුත්තක්‌ වී තිබේ. කොළඹ සිට කටුනායක ගුවන් තොටුපළට යන මගීන්ගේ ගමන් විඩාව ඇරඹෙන්නේ ගුවන් ගමනේදී නොව, කටුනායකට යන ගමනේදීය. පාර දෙපැත්තේ තිබෙන සුරුවම්, ඒ මඟීන්ගේ දුක බලා ගැනීමට හැදූ පිළිම සේ දිස්‌වන්නේ ඒ තරම්ම දුකකින් හා කේන්තියෙන් කටුනායකට යැමට හෝ කොළඹට ඒමට සිදුවී තිබෙන නිසාය.

සංචාරක ව්‍යාපාරය ගැන උදම් ඇනුවද, යටිතල පහසුකම් ගැන කයිවාරු ගැසුවද කටුනායකින් කොළඹට පිවිසෙන ඕනෑම අයෙකුට ඉතිරි වන මතකයන් නම්, ශ්‍රී ලංකාවේ සුන්දරත්වය නොව එයාර්පෝට්‌ පාරේ රස්‌තියාදුවය. ඒ රස්‌තියාදුව විඳින සංචාරකයකු හෝ ආයෝජකයකු යළිත් ලංකාවට පැමිණෙන්නේ නම්, ඒ ශ්‍රී ලංකාවට ඔහු ගිය ජාතියේ තියෙන ණයක්‌ ගෙවීමට කරුමය විසින් ඔහුට නියම කර ඇත්නම් පමණි. 

කටුනායක - කොළඹ මේ රස්‌තියාදුව නතර කරන්නට, කන් පිරෙන්නට දේශපාලන කතා මේ රටේ ජනතාව අසා තිබිණි. දුම්රිය මාර්ගය, අධිවේගී මාර්ගය විකල්ප මාර්ගය වැනි දේට අමතරව මීගමුව දක්‌වා යන ඕලන්ද ඇළ ද කන් පිරෙන, ඒ කතාවල රසට තිබිණි. ගමනේ තිත්ත රස කරන්න ඒ කතාවලට කළහැක්‌කක්‌ නොවීය.

කයිවාරුවලට සීමා වී තිබූ කොළඹ - කටුනායක තදබදයට තිත තැබීම ආරම්භ වන්නේ 2009 අගෝස්‌තු 18 වැනිදාය. දැනට කොට්‌ටාව - ගාල්ල තෙක්‌ දියත් කර තිබෙන අධිවේගී මාර්ගය සේම කටුනායකටත් අධිවේගී මාර්ගයක්‌ ඉදිවීමේ, දේශපාලන පුරා‍ෙ‍ජ්රුවකට වඩා වැඩි යමක්‌ තිබිණි.

ශ්‍රී ලංකාවේ දෙවැනි අධිවේගී මාර්ගය වන මෙහි ආරම්භය බැලූ බැල්මට පෑලියගොඩ නව කැලණි පාලම අසලින් බව පෙනෙන්නට තිබුණත්, එය අධිවේගී මාර්ගය සඳහා වන ප්‍රවේශයක්‌ පමණි. මේ දිනවල කොළඹ - නුවර පාරෙන් යන එන ජනතාව දකින පෑලියගොඩ "මාර්ග චක්‍රය" අධිවේගී මාර්ගයේ පහසු කාරකයක්‌ මිස අධිවේගී මාර්ගය නොවේ. කටුනායක අධිවේගී මාර්ගය ආරම්භ වන්නේ පෑලියගොඩ නව මතස්‍ය වෙළෙඳ සංකීර්ණය හෙවත් අලුත් මාළු මාර්කට්‌ටුව අසලින්ය. කටුනායක - කොළඹ පාර සඳහා ඒ අසලින්ම ප්‍රවේශ මාර්ගයක්‌ හා නුවර - කොළඹ පාරෙන් හතර කණුව අසලින් ප්‍රවේශ මාර්ගයක්‌ දැනටමත් ඉදිකර හමාරය. අධිවේගී මාර්ගයේ ගමන් ගැනීම සඳහා "ටිකට්‌ කඩන්නේ", මාළු මාර්කට්‌ටුව අසලිනි, එසේ නම් පෑලියගොඩ කැලණි පාලම අසල හදන්නේ මොන පාරද?

නුවර පාර හා කටුනායක පාරට යන හා එන වාහන සඳහා තිබෙන තදබදයත්, අධිවේගී මාර්ගය ආරම්භ වූ පසු කොළඹට පිවිසෙන මංසන්ධිවල තදබදයත් අවම කිරීම සඳහා වන පොදු මාර්ග පද්ධතියක්‌ ලෙස මෙසේ ඉදිවන පෑලියගොඩ මාර්ග වක්‍රය හැඳින්විය හැකිය. අධිවේගී මාර්ගයේ මෙන් ගාස්‌තු අය කිරීමක්‌ මේ චක්‍රයේ ගමන් කරන්නන්ට ගෙවීමට සිදුවන්නේ නැත. 

මං තීරු හයකින් සමන්විත නව අධිවේගී මාර්ගය බෝක්‌කු ශතකයකින් හා පාලම් හතළිස්‌ දෙකකින් යුත් දැවැන්ත ඉදිකිරීමකි. නව මාර්ගය සඳහා ප්‍රධාන අභියෝගයක්‌ වී ඇත්තෙත් අලංකාරයක්‌ වී ඇත්තෙත් මීගමු කලපුව හා මුතුරාජවෙල තෙත්බිම් රක්‍ෂිතය. මුතුරාජවෙල රක්‍ෂිතය පාරිසරික සම්පතක්‌ වනවා සේම අවට ප්‍රදේශවල වැසි වතුර උරා ගනිමින් ගංවතුරට තිත තබනා යාන්ත්‍රණයක්‌ වී තිබේ.

මේ මුතුරාජවෙල වඟුරු බිම හරහා අධිවේගී මාර්ගය බැම්මක්‌ සේ ඉදි වන හෙයින් වතුර බැස යැම සඳහා හොඳින් ඉඩකඩ ලබාදිය යුතු තත්ත්වයක්‌ නිර්මාණය වී තිබිණි. පරිසර හානි අවම කර ගනිමින් ජලයට ද අධිවේගයෙන් ගමන් කරන්නට නොදුනහොත් කොන්ක්‍රීට්‌ බැමි හා තාර පාරක්‌ ගඟ උඩින් යන්නා වැනි තත්ත්වයක්‌, මුතුරාජවෙල ප්‍රදේශයේදී වැසි දිනවල දැක ගත හැකි වනු ඇත. එයට ප්‍රතිකර්මයක්‌ ලෙස මුතුරාජවෙල දක්‌වා දිවෙන සියලු ඇළ මාර්ග පුළුල් කොට ගැඹුරු කර වඩා විවෘත තත්ත්වයකට ගෙන ඒම සඳහා ඉංජිනේරු අංශ කටයුතු යොදා තිබිණි.

මීගමු කලපුව ගොඩ කර සාදා ඇති අධිවේගී මාර්ග කොටස අලංකාරයෙන් අනූන දසුනක්‌ සේම, සුළං කදම්බයකින් යන එන වාහනයකින් පවසනිවාලන යාන්ත්‍රණයක්‌ ද වී තිබේ.

අධිවේගී මාර්ගයට මීගමු පාර දී "හරහා යන්න" අවස්‌ථාවක්‌ ද තිබේ. ඒ මාකොළ හන්දියෙන්ය. එම ස්‌ථානයේ වටරවුම් මාර්ගයක්‌ ඉදි කළහොත් අධික වියදමක්‌ මෙන්ම විශාල ඉඩකඩක්‌ද අවශ්‍ය වේ. මෙහිදී ඉංජිනේරු උපාය වූයේ, පොළොව යටින් අධිවේගී මාර්ගය දැමීමය. එය උමං මාර්ග කොටසකි. උමං මාර්ගයක්‌ ඉදිකිරීම අධික වියදම් සහිත කටයුත්තකි. එහි හාරන සෑම අඟලක්‌ම ඉහළ පිරිවැයක්‌ දැරිය යුත්තකි. මේ නිසා උමගේ පළලේ අඟල් භාගයක්‌ හෝ ඉතිරි කර ගැනීමට ඉංජිනේරුවන් සැලසුම් කර තිබිණි. උමගේ ඉඩ ප්‍රමාණයෙන් අඩි දෙකේ ප්‍රමාණයක්‌ පමණක්‌ දෙපස ආරක්‍ෂක බැම්ම ලෙස කොන්ක්‍රීට්‌ ගන්වා ඇති අතර, කොන්ක්‍රීටයේ සවිබලය සඳහා, යකඩකූරු උමඟ දෙපස පසට කවා තිබේ. මේ නිසා අවසානයේදී පස්‌ බැම්ම ක්‍රියා කරන්නේද කොන්ක්‍රීටයේම හයියටය.

මිලිමීටර් 200 ස්‌ථරයකි. කොන්ක්‍රීට්‌ මිශ්‍රණයක්‌ හා මි මී. 30 ඝනකම ඇති තාර ස්‌ථාර තුනකින් අධිවේගි මාර්ගයේ බිම සවි බල ගැන්වී තිබේ. පැති බැමි සඳහා නවතම සිමෙන්ති ගල් විශේෂයක්‌ යොදා ගෙන ද තිබේ.

දක්‍ෂිණ අධිවේගී මාර්ගයේ මෙන් නොව මෙහි මාර්ගය පුරාවට විදුලි පහන් කණු දැකිය හැකිය. එම නිසා රාත්‍රි කාලයේ වුවද කිසිදු බාධාවකින් තොරව රථවාහන ධාවනය කළ හැකියි. තවද ප්‍රධාන මංතීරු දෙක අතර ක්‍රිස්‌ටිනා පැළ සිටුවා ඇත. ඒවා හොඳින් වැඩුණු පසු ප්‍රතිවිරුද්ධ දිශාවෙන් එන වාහනවල විදුලි ආලෝකය අනෙක්‌ දිශාවෙන් යන වාහනවලට නොවදී. මෙවන් සුවිශේෂී ලක්‍ෂණ රැසක්‌ කොළඹ - කටුනායක අධිවේගී මාර්ගයේ දැකිය හැකිය. 

මෙම ව්‍යාපෘතිය සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 295 ක පමණ පිරිවැයක්‌ දැරීමට සිදුවේ. චීනයේ එක්‌සිම් බැංකුව එම මූල්‍ය ආධාර සපයන අතර චීනයේ මෙටලිසිකල් සමාගම මෙහි ඉදිකිරීම් කටයුතු සිදු කරයි.

පැයට කිලෝ මීටර් 100 ක උපරිම වේගයකට යටත්ව වාහන ධාවනය කළ හැකි ලංකාවේ දෙවැනි අධිවේගී මාර්ගය වන කොළඹ - කටුනායක අධිවේගී මාර්ගය තව නොබෝ දිනකින් ඔබ වෙනුවෙන් විවෘත වනු ඇත.

Sunday Divaina * ඔසිත අත්තනායක
ගයාන් සමරසිංහ