Pages

Friday, August 09, 2013

"සිරි පැරකුම්" සුන්දර චිත්‍රපටයකි

ඔහුගේ "සිරිගජසිරි" "සරෝජා" "සමනල තටු" හා " සූරිය අරණ" වැනි චිත්‍රපට තුළින් ඔහු ඉතා විශාල සමාජ මෙහෙවරක්‌ කළේය. ඊටත් වඩා සුවිශේෂී වූ සමාජ මෙහෙවරක ඔහු මෙවර යෙදී ඇත. එනම් අද සමාජයේ, ලොකු පොඩි කාගේත් කතාබහට ලක්‌ වී ඇති අර්ථවත්, සෞන්දර්යාත්මක, අපේකම හා අපේ සංස්‌කෘතික හර පද්ධති ඇතුළත් " සිරි පැරකුම්" නමැති අති සුන්දර චිත්‍රපටය අද ඔහු සමාජයට තිළිණ කර ඇත.

එහි අන්තර්ගතය ඉතා වැදගත්ය. ශ්‍රී ලංකාවේ රජකළ, අපේ සංස්‌කෘතික වටිනාකම් ඔප් නැංවූ, අපේ සාහිත්‍ය කලාවට සුවිශේෂ මෙහෙවරක්‌ කළ කුසදාවත කාව්‍ය ඇතුළත් කව්සිළුමිණ වැනි අති විශිෂ්ට සාහිත්‍ය කෘති ලියූ "කලිකාල සාහිත්‍ය සර්වඥ පණ්‌ඩිත" දෙවන පරාක්‍රමබාහු මහරජතුමාගේ ළමා කාලය සහ එතුමා පන්සල, ස්‌වාමීන් වහන්සේලා ඇසුරු කරමින් පත පොත දැනුම ලබමින් සටන් කලාව ප්‍රගුණ කරමින් සහජීවනයෙන් යුතුව ගත කළ ආදර්ශවත් ජීවිතය ගැන තොරතුරු සහ එතුමා රාජාභිශේකයට පත්වීම දක්‌වා වූ කාලය තුළ තොරතුරු එමගින් ඉතා සෞන්දර්යාත්මකව විස්‌තර කර ඇත. දුටුගැමුණු රජතුමා රජ මාළිගයෙන් පිටවී තරුණ වයසේ ගමක ජීවත් වුණා සේම පරාක්‍රමබාහු කුමාරයාද සතුරන්ගෙන් බේරීමට එතුමාගේ ළමා කාලය ගත කළේ පඬුවස්‌ නුවර දඹදෙණිය නම් ගම්මානයේය.

මේ කතාව එදා අප සාහිත්‍ය පත පොතෙන් කියවූයේ "අප්පුවා රජවූ හැටි" යන කතාන්දරය ලෙසටය. ඒ පුවත ඉතා සුන්දරය. එහෙත් ඒ ඉතිහාසය අද ළමා පරපුර නොදනී. වර්තමානයේ ඉතිහාසය විෂයක්‌ ලෙස ඉගෙන ගන්නේ සිසු පරපුරෙන් අතළොස්‌සක්‌ පමණ පිරිසකි. අපේ ලංකාව "පෙරදිග ධාන්‍යාගාරයක්‌" ලෙස නම්කර තිබූ බවද කෘෂිකර්මාන්තය, ගොවිතැන අපේ ප්‍රධාන රැකියාව වූ බවද අද ළමා පරපුරට අපි කියාදිය යුතුව ඇත. "ගමයි - පන්සලයි - වැවයි - දාගැබයි" යන සංකල්පයට එදා ජීවයක්‌ ලැබී තිබුණි. එදා මිනිසුන් තුළ ඉවසීම, කරුණාව, අපේකම, එකමුතු බව, සහජීවනය හා හොඳ සාරධර්ම ආදී මනුදම් මුල් බැසගෙන තිබුණේ ඒ නිසාය. 

බුදු දහමට අනුව ජීවත් වන සැම දෙනා සමග සහ සම්බන්ධතාවන් පවත්වන අපේ ගැමියන්ගේ ජීවිත සැනසිලිදායකය. ඒ සමාජ රටාව ඇත්තෙන්ම අපේ දරුවන්ට දැක බලාගැනීමට සැලැස්‌වීම කොතරම් අගනේද. අද "කුඹුරක්‌", " කමතක්‌", " මී හරකෙක්‌" " සී සෑමක්‌" නොදුටු ළමයි කොතෙකුත් ඇත. " සී සෑම" ගැන ඔවුන් කියවා ඇත්තේ පොත පතින් පමණි. අද ඔවුන්ට දැක ගැනීමට සිදුව ඇත්තේ යන්ත්‍ර සූත්‍ර මගින් සී සාන අයුරුය. සෝමරත්න දිසානායකයන් ඒ අපේ දරුවන් නොදුටු දේ ගැන අවබෝධ කරගෙන අපේ සමාජයට මේ ආදර්ශ ලබාදී ඇත.

මෙවැනි සවිස්‌තරාත්මක තොරතුරු ඇතුළත් පාඩමක්‌ දරුවකුට කියා දීමට සති කිහිපයක්‌ ගත වෙයි. සෝමරත්නයන් මෙහිදී එම අවබෝධය ලබා දීමට ගෙන ඇති උත්සාහය සැබවින්ම පැසසිය යුත්තකි.

චිත්‍රපටයේ ගීත සහ සංගීතය ප්‍රශස්‌ත මට්‌ටමක පවතී. කතා තේමාවට, පසුතල දර්ශනවලට ඔබින අයුරින් සරල සුමට අර්ථවත් මෙන්ම ගීතවත්ව ලියා ඇති ගී පදමාල සෝමරත්නයන්ගේ ප්‍රතිභාපූර්ණත්වය මෙම චිත්‍රපටියෙන් පෙන්වන තවත් අවස්‌ථාවකි. එසේම ගී පදවැල්වලට තැනට උචිත අයුරින් රිද්මයානුකූලව සංගීතය යොදාගනිමින් රෝහණ වීරසිංහයන් මෙම චිත්‍රපටයට ලබාදී ඇති ආලෝකය ඉතා ප්‍රශංසනීය වේ. මෙහි කලා අධ්‍යක්‍ෂක ලෙස කටයුතු කළ "හීනටිගල ප්‍රේමදාසයන්" ඒ ඒ චරිතයන්ට උචිත අයුරින් ඇඳුම් පැලඳුම් සකස්‌ කරමින් සාර්ථක පසුතල නිර්මාණය කරමින් ඉතා සාර්ථක දායකත්වයක්‌ ලබාදී ඇත.

නළු නිළියන් තෝරා ගැනීමේදී ප්‍රවීණයන් මෙන්ම ආධුනික ළමා නළු නිළියන් ඉතා දක්‍ෂ ලෙස රංගනයට එක්‌කර ගැනීමට අධ්‍යක්‍ෂවරයා කර ඇති කැප කිරීම ප්‍රසංසනීය වේ. ආයාසයකින් තොරව නිදැල්ලේ හැසිරෙමින් පුංචි හා පැටවකු සේ තමාගේ ලෝකයේ ජීවත් වන "පුංචි පැරකුම්" කුමාරයාගේ චරිතය ඉතා විශිෂ්ටය. එය රසික හදවත් අමන්දානන්දයට පත් කරවන සුළුය.

ඔහු මේ චිත්‍රපටයේ ප්‍රාණවායුව බඳුය. සෙසු චරිත රඟපාන ළමා නළු නිළියන් හතර දෙනාගේ රංගනයන්ද, ඉතා ප්‍රබලය, විශිෂ්ටය. එසේම විමල් ජයකොඩි, ජයනි සේනානායක, චාන්දනී සෙනෙවිරත්න යන අයගේ රංගන කෞෂල්‍යයද මේ චිත්‍රපටයට ගෙන දෙන්නේ නොමද ශක්‌තියකි. පදරාජ සෙනවිගේ රංගනයේ යෙදෙන අශාන් ඩයස්‌ගේ ප්‍රතිභාවද මේ චිත්‍රපටයට සපයන්නේ අයෝමය ශක්‌තියකි. එසේම තරුණ පැරකුම් කුමරුගේ චරිතයට පණ දෙන අකිල ධනුද්දරගේ රංග ප්‍රතිභාව අති විශිෂ්ටය. ඔහුගේ සජීවී රංගනය කිසි දිනක ප්‍රේක්‍ෂකයාට අමතක නොවේ. එසේම සිරිමල් එතනාගේ හා කළු එතනාගේ රංගනය සිත් ගන්නා සුළුය. ස්‌වාමීන් වහන්සේලා දෙදෙනා ගේ චරිත රඟපෑ සම්පත් තෙන්නකෝන්ගේ සහ ගිරිරාඡ් කෞෂල්‍යගේ රංගන කෞෂල්‍යයද ඉතා ප්‍රශස්‌ථ මට්‌ටමක ඇත. පැරකුම්ගේ හා සිරිමල් එතනාගේ ආදර ලෝකය, සුන්දරය, සංවරය ඒ තරමටම උත්තරීතරය. රජකුමරකු වූ පසුද තම පෙම්වතිය හා හදාවඩාගත් දෙමාපියන් අමතක නොකිරීමද තමාට ආරක්‍ෂාව ලබා දුන් රෙදි නැන්දාට ගරු බුහුමන් දැක්‌වීමද පැසසිය යුතුය. එවැනි සාරධර්මවලට ගරු කිරීම වැනි දේ මෙම චිත්‍රපටය තුළින් පෙන්වන සෝමරත්නයන් ලොවට කියා ඇති දේ ඉතා හරවත්ය.

වේෂ නිරූපණයේ අඩුපාඩු ඇත. පැරකුම් ළමා කාලයේ සිටි මවුපියන් සිටි ස්‌වරූපය කුමරා වැඩිවියට පත් වු පසුද එසේ පවතී. ඔවුන් වයසට ගිය ස්‌වභාවයක්‌ හෝ ඇඳුම් පැළඳුම්වල වෙනසක්‌ මෙහි දක්‌නට නැත. එසේම අන්ත(පුරයේ කාන්තාවන් මීට වඩා රූමත් අය වූවා නම් චිත්‍රපටය තවත් සුන්දරය, අධිරාජ්‍යයා හා රෙදි නැන්දාද කුමාරයා වයසින් මුහුකුරා ගියත් ඔවුන් තරුණය. මේ අඩුව වේශ නිරූපණයේ දුර්වල බව පෙන්නුම් කරයි.

මෙය විශේෂයෙන් පෙන්විය යුත්තේ ළමා පරපුරටය. අපේ අනාගත ජීවනාලිය ළමා පරපුරය, ළමා වයසේ මනසට ගෝචර වන දෙය තුළින් යහපත් හෝ අයහපත් පුද්ගලයකු සමාජයට අවතීර්ණ වේ. එනිසා අප හොඳ දේ දරුවන්ට දිය යුතුය. 

ළමා සිත් සතන් තුළින් වෛරය, ක්‍රෝධය, නොසන්සුන් කම තුරන් කළ යුතුය. සෞන්දර්යාත්මක බව හා කලාව, සාහිත්‍යය රසාස්‌වාදනය, සංහිඳියාව වැනි අංග ඇතුළත් කර දරුවන්ගේ ජීවිත අර්ථවත් කළ යුතුය. එවිට අපේ අනාගත පරපුර වැඩදායී හැඟêම් දැනීම් මනුස්‌සකම් ඇති පිරිසක්‌ කළ හැකිය.

අධ්‍යාපන කටයුතු, ටියුෂන්වලට සහභාගි වී හෙම්බත්ව සිටින දරුවාට මෙවැනි චිත්‍රපටයක්‌ නරඹා, ගීතයක්‌ අසා වින්දනයක්‌ ලැබීමට අවස්‌ථාව ලැබී ඇත. එසේ නම් දරුවාගේ ළමාකමට සරිලන ඔවුන්ගේ බුද්ධියට ගෝචර වන හොඳ ළමා චිත්‍රපටයක්‌ නිර්මාණය වී ඇත. අධ්‍යාපන අමාත්‍යංශය මගින්ද මෙවැනි සාර්ථක චිත්‍රපට නැරඹීමට ඉඩ පහසුකම් ලබා දිය යුතුය. ඇත්තෙන්ම එය ළමා පරපුර වෙනුවෙන් කරන බුද්ධිමත් ආයෝජනයකි, යහපත් මග පෙන්වීමකි.

මල්ලිකා ගීගනආරච්චි
ආචාරිණී කොළඹ ආනන්ද විද්‍යාලය
සමාජීය විද්‍යාපති ජනසන්නිවේදන (ඵගA)
අධ්‍යයන අංශය කැලණිය විශ්වවිද්‍යාලය