Pages

Monday, September 02, 2013

බොරු රඟපෑම්වලට වැඩි ආයුෂක් නැහැ

සුරංග නිතරම හිතන්නෙ ක්‍රියා කරන්නෙ තමන් අන් සැමටම වැඩිය දක්ෂයෙකු ලෙසටයි. දන්නා කියන අයකු ලෙසටයි. කවුරුවත් තමන්ට ඉහළින් යනවාට ඔහු කැමති වුණේ නැහැ. 
ලෝකයේ සැමවිට සැම දෙයම දන්න අය ඉන්න බැහැ. “ලොවින් එකෙක් එක් දෙයකට වෙයි සමත” කියලා විද්වත් කියමනක් තිබෙනවානේ. එහෙම නම් තමන් සෑම දෙයම දන්නවාය කියලා සුරංග හිතන එක වැරදියි. බොහෝ දේ දැනගත්තත් නොදන්නා දේත් තියෙන්න පුළුවන් බව අමතක කළ යුතු නැහැ. තමන් බොහොම දේ දන්නවා යැයි සිතන සුරංග තමා සමග ඇසුරු කරන අවශේෂයන් තමන්ට සම නොවෙන බවට පූර්ව නිගමනයකට පත්වෙලා සිටිනවා. ඒ නිසා ඔහු නිතරම සෙසු අය පහළට දමා කතා කිරීමටත් පෙලා තලා හැසිරීමටත් පුරුදු වෙලා සිටිනවා. 
ඒ නිසා වැඩි දෙනා ඔහුට කැමති නැහැ. 
“එයා මහ අහංකාර මිනිහා” 
“එයාගෙ ඔළුව වැඩියි.” 
“උද්දච්චකමටයි වැඩ.” 
මේ ආදී වශයෙන් නුගුණම කියන්නට පටන් ගනිවි. ඔවුන් කවදාවත් සමාජශීලී වෙන්නේ නැහැ. තමන් අනුන්ට වඩා ඉහළය කියලා සිතලා තනිවම ඉන්නයි ඔවුන් උත්සාහ කරන්නේ. අන් අය සමග කිට්ටුවෙන් ඇසුරු කරන්න ගියහොත් එය තමාගේ තත්ත්වයට මදියැයි ඔහු හිතන්න පුළුවන්. 
මෙහෙම අයට කියන්නේ අතිමාන පුද්ගලයන් කියලා. මානයේ කොටස් දෙකක් තිබෙනවා, හීනමාන අතිමාන වශයෙන්. හීනමාන කියන්නේ තමුන් අන් අයට වඩා පහළයි කියලා සිතන එක. තමා ඇතැම් විට අන් අයට වඩා ඉහළ හෝ ඔවුන් සමග සම මට්ටමේ ඉන්නට පුළුවන්. එහෙත් හීනමානය ඇති අය හිතන්නේ තමන් අන් අයට වඩා නිතරම පහළය කියලයි. එහෙම සිතා පහළ අයකු ලෙස හැසිරෙනවා. 
අධි මානය කියන දේ එහි අනිත් පැත්තයි. තමන් සෙස්සන්ට සම කළ නොහැකි අතර සෙසු අයට වඩා පහළ වුවත් එය දැන දැනම උසස් ලෙස සැලකීමයි මෙයින් අදහස් වන්නේ. මෙය එක්තරා මානසික රෝගී ලක්ෂණයක් බවයි මානසික විද්‍යාඥයන් කියන්නේ. මේ අයගේ මානසික තත්ත්වය තවදුරටත් දිග් වුවහොත් ඔවුන් ගමන් බිමන්වලින් හැසිරීමෙන් කතාබහෙන් ඒ තත්ත්වය ප්‍රදර්ශනය කරන්නට උත්සාහ කරන අයුරු දැකගත හැකියි. 
මුහුණට මුලිච්චි වුණත් කෙළින් බලාගෙන යන අය ඔබට ඕනෑතරම් හමුවිය හැකියි. ඔබ කොතරම් ඔහු හැඳිනුවත් ඔහු හැසිරෙන්නේ හඳුනන්නේ නැති විදියටයි. ඔබ සමග අඩු වශයෙන් සිනහවත් නොවී නොඅඳුනන ලෙස ඔබෙන් මාරු වී යන අයගෙන් ඔබ යම් විටෙක මෙහෙම අහනවා. 
“මම අඳුනන්න බැරිද?”
“ඇයි මතක නැද්ද අපි දෙන්න එක පන්තියෙ ඉගෙන ගත්තා.”
මෙහෙම ඔබ පිළිබඳ හැඳින්වීමක් කළහොත් ඔහු ගත්කටටම කියාවි,
“මටනම් අඳුනන්න බැහැ.” 
“මේ තියෙන වැඩ රාජකාරි වගකීම් එක්කලා කොහොම 
මතක හිටිනවද?”
මේ විදියට පිළිතුරු දීලා ලිස්සා යන්නට පුළුවන්. 
හඳුනාගත්තත් හඳුනානොගත් විදියට ඔහු හැසිරෙන්න පුළුවන්. එවැනි පිළිතුරක් දී තමා හඳුනා ගන්නට උනන්දුවක් නොදක්වන ලෙසට ප්‍රදර්ශනය කර මාරු වී යන්නට ඉඩ තිබෙනවා. 
ඔහු හිතනවා ඇත්තේ හඳුනන බව ප්‍රකාශ කිරීම ඔහුගේ මහන්තත්ත්වයට හානියක් කියලයි. පහළ සමාජ මට්ටමක අය සමග ඇසුරු කිරීම තම මහන්තත්ත්වයට කැළලක් ලෙස ඔහු සලකන්න පුළුවන්. 
මම තමා කෙරුමා යනුවෙන් නිතර සිතමින් ඒ අනුව ක්‍රියාකර නැති හැකියාවක් ඇති කර ගැනීමට යාම මෙවැනි අයගේ විශේෂ ලක්ෂණයක්. සෑම දෙය ගැනම ටිකක් දැනගෙන බොහෝ දේ දන්නා බහුශ්‍රැතයකු ලෙස සලකන අයද සිටිනවා. ටිකක් දැනගෙන සිටීම නොදැන සිටීමට වඩා භයානකයි කියලා හිතන්න වෙන්නේ ඒ නිසයි. 
ඇතැමුන් යම් ප්‍රමාණයක ධනයක් තබාගෙන තමා බොහෝ ධනවතෙකු ලෙස රඟපාන්නට පුරුදුව සිටිනවා. ඇඳුම් පැළඳුම්වලින්, පරිහරණය කරන භාණ්ඩවලින්, ගන්නා ආහාර පානවලින් තමන්ගේ උසස් භාවය පෙන්වීමට උත්සාහ ගන්නවා. සමහර අය තමුන් කතා කරන විලාශයෙන්ද තම හැකියාව ප්‍රදර්ශනය කරගන්නට යනවා. වචන ශබ්ද නගා කතා කිරීමෙන් වචන බරකර කතා කිරීමෙන් ඇඳ පැළඳ කතා කිරීමෙන් තම පුළුවන්කාරකම පිටතට පෙන්වීමට තැත් කරන බව පැවැසිය යුතුයි. 
එපමණක් නොවෙයි තමා ඇසුරු කරන අය ගැන පවසමින්ද තම මහේශාඛ්‍ය භාවය ප්‍රදර්ශනය කරන්නට යනවා. “අර මහාචාර්යවරයා මගේ බැජ්මේට් කෙනෙක්.” 
“මේ ඇමැතිතුමා මගේ හිතවතෙක්. තවත් විශේෂඥ දොස්තර කෙනෙක් මගේ ළඟම මිත්‍රයෙක්” ආදී වශයෙන් පවසා අන් අය මාර්ගයෙන් තමාගේ උසස් බව ගොඩනගා ගැනීමට උත්සාහ කරනවා. 
මෙහිදී විශේෂයෙන් පැවැසිය යුතු වන්නේ මෙලෙස ඔබට නැති තත්ත්වයක් කෘත්‍රිමව මවා පෙන්වීමට යාම බිය ජනක බවයි. එසේම එය තාවකාලිකයි. ඔබගේ ව්‍යාජත්වය හෙළි වූ විට සිදුවන්නේ ඉතාම පහළට වැටීමයි. ලජ්ජාවට පත්වීමයි. මෙලෙස රඟපෑම්වලට වැඩි ආයුෂක් නැති බව සැලකිය යුතුයි.

lakbima.lk/ යසවර්ධන රුද්රිගු