Pages

Monday, September 02, 2013

තරහා නෑ

නුඹ දන්නෙ නැති වුණාට, නුඹට නොපෙනුණාට, නුඹ කවදාවත් තේරුම් ගත්තෙත් නැතිවුණාට මම හැමදාම මේ පාළු කුටියෙ ඉඳල නුඹ දිහාම බලන් හිටියා. මගෙ නොනිඳි යහනට වෙලා නුඹ ගැනම හිත හිතා හිටියා.

තත්පර, විනාඩි, පැය, දින, සති, මාස, අවුරුදුවලින් කාලය ගෙවිල යද්දිත්, මම ආදරේ කළේ නුඹටමයි. දවසින් දවසට වෙනස් වෙවි නුඹ හිනැහෙද්දී, ඒ වෙනස්කම් දැක දැකත් මට වෙනස් වෙන්න බැරිවුණා. මට ඕනෙ වුණේ කවදහරි නුඹ මගේම කරගන්න. හැම තරු දෑසක්ම මට හිනැහෙද්දී මම මගේම හීනෙක අතරමං වුණා, තනි වුණා. ඒත් කවදාවත් නුඹ මගෙ ළඟට ආවෙ නෑ. අඩුම ගණනේ එන්න හිතුවෙවත් නෑ.

මගෙ ඇස්වලින් මොනතරම් කඳුළු ගලාගෙන ගියත්, නුඹව දිනාගන්න ඒ කඳුළුවලට බැරිවුණා. ආයාසයෙන් නුඹ සමඟ මොනතරම් හිනැහුණත්, මගේ දෙතොලට සැබෑ සිනහවක් දෙන්න නුඹටත් බැරිවුණා.

හැම මොහොතක්ම නුඹ වෙනුවෙන් ජීවත්වුණු මගේ සෙනෙහස නුඹට කරදරයක්ම බව වැටහුණු වේලාවෙ, ඇත්තටම මම හරියට අසරණ වුණා. රත්වුණු ඊයම් බරු හදවත පතුල කිඳා බැස්සා වගේ නුඹේ රිදවන වදන්වලින් මගේ හදවත ටිකෙන් ටික මියැදුණා.

මුළු ලෝකයම සමඟ සතුට බෙදාගෙන හිටිය නුඹට මගේ දුක පෙනුණේ නෑ. ඒත් තවත් උහුලගෙන ඉන්න මටත් බෑ. නුඹේ ළ'බැඳි සිත් වටකර ගෙන නුඹ සතුටින්. ඒ නුඹ ආදරය කරන්නන් ඒත් නුඹට විතරක්ම ආදරය කරන මම අදටත් ඉන්නෙ හරිම ඈතින්...

මම නුඹට මොන තරම් ආදරය කළත්, නුඹේ වදනින්ම පැවසුව විදිහට “නුඹට කරදරයක්” වෙන්න මට බැහැ. මම යන්න අවසර ඉල්ලන්නේ ඒ නිසා. තුන් හිතකින්වත්, වෙනත් ආලෝකයක් සොයාගෙන නෙමේ.

ආලෝකය බිංදුවක් වත් නැති ගන අඳුරකට ගුලි වෙන්න, යළි කවදාවත්ම අවදි නොවන නින්දට යන්න මට කාලය ඇවිත්. මෙතුවක් කාලයක් මාව මරණයෙන් වෙන් කරලා ජීවිතයට බැඳ තිබු එකම බලාපොරොත්තුව නුඹ. ඒත්... නුඹ මට අහිමියි. ඒ සත්‍යය මම ස්ථිරවම තේරුම් අරගෙන ඉවරයි.

ඉතින් මම වෙන් වී යා යුතුමයි. මම නිදන සොහොන් බිමටවත්, එකම එක ආදරයේ, සඳ කිරණක් නුඹ එවනවනම් නුඹට පින්...

මතක තියාගන්න, සමහරු අනෙක් අයගේ ජීවිතවලට ළංවෙන්නේ ඒ අයට තියෙන ආදරේටම නෙමේ. ඒ වගේම තවත් කෙනෙක් අනෙක් අයගේ ජීවිතවලින් ඈත්වෙන්නෙ ඒ අයත් එක්ක තියෙන අනාදරයටත් නෙමේ. මට ආදරේ නොකළට මං තරහ නෑ...