Pages

Thursday, May 26, 2016

හඳගමගේ 'ඇගේ ඇස අග' (LET HER CRY) : තහනම වෙනුවට වසඟය

සිනමා කරුවකුට නමෝ විත්තියෙන් ම විසඳා ගැනීමට සිදුවන ගැටලුව නම් තම වියමනෙහි ආකෘතිය සහ ව්‍යුහය කෙබඳු විය යුතුද යන්නයි.

විශේෂයෙන් ම සමකාලීන දේශපාලනය අදාළ සිනමා වියමන තුළ අනුශීලනය වන්නේ සිනමාකරුවා තම සිනමා පරිකල්පනය සමග කරන අරගලයේ ප්‍රමාණයට ය.

අශෝක හඳගම නිර්මාණය කරන 'ඇගේ ඇස අග' අධිපති දෘෂ්ටිවාදය ආගමික සන්දර්භයක් තුල බලගැන්වීමේ දේශපාලනය පිලිබඳ තියුණු කියවීමක් ලෙස අපට ගත හැකි වන්නේ ඒ අනුවය.

චිත්‍රපටය ඇරඹෙන්නේ (නාමාවලිය සමග) විහාරස්ථානයක වූ සිදුවීමකින් පසු මහා වැස්සේම ආපසු එමින් සිටින පවුලක සාමාජිකයන් අතර ඇතිවන කතා බහකින් ය.

සාමාන්‍ය ලෙස විහාරස්ථානය යනු විනෝදය තහනම් කරන තැනකි. එ මගින් ආත්මයට නැතහොත් විෂයට (subject) පවසන්නේ හැකිතාක් විනෝද වීම අඩු කරන ලෙස ය.

ඔහු හෝ අය තම විනෝදය විෂයෙහි පනවා ඇති තහනම කැඩීමෙන් තම විනෝදය තීව්‍ර කර ගනී. එහෙත් එහි ප්‍රතිඵලය වන්නේ වඩාත් සතුටක් ලැබීම වෙනුවට වේදනාවක් ලැබීම ය.

එය වේදනාත්මක සතුටක් (painful pleasure) ලෙස නම් කළ හැක.

මෝටර් රථය තුළ සිටින්නන් අතර හුවමාරු වන දෙබස් මගින් යළි යළිත් වර නැගෙන්නේ චිත්‍රපටය දෘෂ්ටාන්තමය වූ දේශපාලනික කියවීමක් බව පසු ආවර්තනය වෙමිනි.

බැලු බැල්මට මෙම චිත්‍රපටය දිගහැරෙන්නේ මැදිවිය ද පසු කළ විශ්වවිද්‍යාල මහාචාර්යවරයකුට පෙම් බඳින සරසවි සිසුවියක පිලිබඳ කතාවක් ලෙස ය.

ඇය නිරන්තර ව ඔහු තමා වෙත ආකර්ෂණය කරගනු පිණිස පොළඹවයි. ඇගේ හිස්ටරික ක්‍රියාකලාපය ඔහුට බලවත් කරදරයක් ලෙස පෙනී යයි. ඔහු නිතර තමා හමුවීමට එන බව ඔහුගේ බිරිඳට වාර්තා කිරීමෙන් නොනවතින ඇය මහාචාර්යවරයාගේ බිරිඳ සමග පවසන්නේ ඔහු තමාගේ සිරුරට ආසක්තව මෙසේ තමා ලුහු බඳින බව ය.

ඇය වරෙක මහාචාර්යවරයාගේ බිරිඳ (ස්වර්ණා) සමග මෙසේ පවසයි.

''මම හිතන්නේ සර් මගේ ඇ`ගට ආසයි''

අනතුරුව තමා ඇද සිටින තුවාය ගලවා තමා සිරුර ස්වර්ණා වෙත පා පාරට්ටු කර ගනී. ඇගේ මේ හිස්ටරික ෆැන්ටසිය දිගේලි වන්නේ ආත්මරාගී (narcissistic) උත්කර්ෂය තුළ ය. එහි දේශපාලනික කියවීම නම් අපේ රට පිලිබඳ විදේශිකයින් ආසක්ත වීම පිළිබඳ සිංහල බෞද්ධ දෘෂ්ටිවාදයේ ෆැන්ටසි මානයයි.

මෙම සිනමා පටය ස්ත්‍රීන් දෙදෙනෙකු කේන්ද්‍රීය ව නිර්මාණය වෙමින් ස්ත්‍රියගේ ආශාව ප්‍රශ්නකාරී ප්‍රස්තුතයක් ලෙස තොරොම්බල් වේ.

එය මට සිහි ගැන්වුයේ ලුවී බුනියල්ගේ දැට් ඔබ්ස්කියු ඔබ්ජෙක්ට් ඔෆ් ඩිසයර් නම් සිනමා පටය පිලිබඳ ජිජැකියානු විවරණයකි.

එම සිනමා පටයේ එන වියපත් ප්‍රේමවන්තයා ක්‍රියා කරන්නේ තමාගේ ප්‍රේමවන්තිය ස්ත්‍රීන් දෙදෙනෙකුගෙන් (එකම චරිතය මෙහි නිලියන් දෙදෙනෙකු ර`ගපායි.) සැදුන බව වටහා නො ගනිමිනි.

බාග විට ස්ත්‍රීන් දෙදෙනෙකු සිටින බව දන දැන ම ඔහු එහි සිටින්නේ එක ස්ත්‍රියකැයි ගෙන හැසිරෙනවා විය හැක. මන්ද යත් ඔහුගේ හැසිරීම තීරණය කරනු ලබන්නේ ස්වකීය සවිඥානක දැනුම නොව ෆැන්ටසිය විසින් වන බැවිනි.

එසේ නැත්නම් සිදු විය හැක්කේ එහි සිටින්නේ එකම ස්ත්‍රියක වන අතර ඔහු ඒ එකම ස්ත්‍රීයක ඕනෑ ම දෙයකට ඔට්ටු වෙසගණක බඳු ස්ත්‍රීයක ලෙස සහ පුරුෂවාදී ලෙස ප්‍රාර්ථනා කරන අචපල මාතෘක බිරියක වසයෙන් දෙකට ඛෙදනවා විය හැක.

බුනියෙල්ගේ සිනමා පටය තුල ප්‍රකාශමාන වන එක ම ස්ත්‍රීය දෙදෙනකු ලෙස (නො) ගැනීමේ දෘෂ්ටිවාදයේ ෆැන්ටසි රාමුව හඳගමගේ සිනමා පටයටද අදාළ ය.

මෙහි ප්‍රශ්නකාරී වන්නේ මහාචාර්යවරයාත්, බිරිඳත්, තරුණියත් යන තිදෙනා ම එකිනෙකාගේ ආශාව ලුහු බැඳීම තුළ නිර්මාණය වන ආතතියයි.

තමා සහ මහාචාර්යවරයා අතර ඇති සබඳතාව තරුණිය හිස්ටරික ලෙස ඔහුගේ බිරිඳට වාර්තා කලවිට ඇය මානසිකව කැළඹේ.

මේ නිසා ඇය සොයා ඇගේ බෝඩිම වෙත යන ඔහු ඇයගේ ආශාවේ සිරකරුවෙකු බවට පත්වේ. (දොරගුළු දමා ඔහු නිවස තුල කොටු කර ඇය රහසේ ම අහර පිසීම සඳහා බඩු රැගෙන ඒමට පිටත්ව යයි).

ඔහු අර්චනකාමී ලෙස ඇගේ ඇඳුම් (යට ඇඳුම් පවා ) පිළිවෙලකට නවා තබයි.

මේ අතරතුර ඔහුගේ බිරිඳගෙන් තරුණියගේ දුරකථනය වෙත ඇමතුමක් ලැඛෙතත් එයට පිළිතුරු දීම සඳහා ඇය නිවසේ නැත.

ආපසු නිවස වෙත එන තරුණියට දක්නට ලැඛෙන්නේ කමිසය ද ගලවා දමා උඩුකය නිරුවත්ව තම ඇඳ මත නිදා සිටින මහාචාර්යවරයා ය. ඇය වහාම තම දුරකථනය මගින් ඔහු නිදා සිටින ඉරියව් ඡායාරුපයට නගයි.

මහාචාර්යවරයා නිවසට ගිය පසු නිර්මාණය වන්නේ හාස්‍යජනක තත්වයකි. ඔහු තම නිවසේ ඇඳ මත සිටින බව ඇය ස්වර්ණාට දන්වන මුත් ඒ වනවිට ඔහු ඇයට හොරෙන් නිවසට පැමිණ තිබිණ.

මින් මහාචාර්ය බිරිඳ සතුටට පත් වෙතත් ඊට සුළු මොහොතකට පසු තරුණිය ඔහු තම කාමරයේ ඇඳ මත නිදා සිටින ආකාරය දැක්වෙන ඡායාරුප ඇය වෙත එවයි. මින් කැළඹීමට පත්වන ඇය වහා ම නිවසින් පිටව ගොස් තරුණිය තම නිවසටම කැඳවාගෙන එයි.

මෙම සිදුවීම් මාලාව ඉවසිල්ලෙන් යළි කියවන කෙනෙකුට පෙනී යන්නේ (ලැකානියානු අර්ථයකින් ) සරසවි සිසුවිය උත්කර්ෂවත් වස්තුවක් (sublime object) බවට තමා ම පත්වීමේ උත්සාහයක යෙදී සිටින බව ය.

ඇය සාමාන්‍ය ගමකින් සරසවියට පැමිණි තැනැත්තියකි. තමාගේ ශරීරය ගැන ඇය ම පවසන පාරට්ටුකිරීම් කුමක් වුවත් ඇය කියන තරම් රූමතියකද නොවේ.

ලැකානියානු වස්තුව නැතහොත් ලැකන් විස්තර කරන වස්තුව (object) හුදු හිස් බව ආත්මීයව ගත් කිසිවකි.

මෙම වස්තුන් විසින් සගවන්නේ ඒවාහි හිස් බවයි. එ බඳු හිස් වස්තුවක් උත්කර්ෂවත් වස්තුවක් බවට පත් වන්නේ කෙසේද යන්න පිලිබඳ ස්ලවෝජ් ජිජැක් කර ඇති පැහැදිලි කිරීම දළ සිංහලට නගන්නේ නම් මෙසේ ය.

උත්කර්ෂවත් වස්තුවක් තුල නිසගවම පිහිටන උත්කර්ෂවත් වූ කිසිවක් නැති බව අප මතක තබා ගත යුතු ය. ලැකාන්ට අනුව උත්කර්ෂවත් වස්තුව යනු එදිනෙදා දකින සාමාන්‍ය වස්තුවක් වන අතර අහම්ඛෙන් තමා (ලැකන් සංකල්ප ගත කරන ) das Ding නැතහොත් දෙය (thing) එනම් ආශාවේ විය නොහැකි සැබෑ වස්තුව (impossible real object of desire) බවට පත් වී ඇති බව දැන ගනී.

- Sublime Object by Slavoj Zizek

අප මෙහි දී නැගිය යුතු ප්‍රශ්නය නම් තරුණිය උත්කර්ෂවත් වස්තුවක් බවට පත් වන්නේ කවරකු වෙනුවෙන්ද යන්නයි. සැබවින් ම ඇගේ අනෙකා මහාචාර්යවරයා නොව ඔහුගේ බිරිඳ ය.

බුනියෙල්ගේ දැට් ඔබ්ස්කියු ඔබ්ජෙක්ට් ඔෆ් ඩිසයර් චිත්‍රපටයේ අපට හමුවන ස්ත්‍රීයගේ විරුද්දාභාසය අපට හඳගමගේ ඇගේ ඇස අග තුළ දී හමුවේ.

බුනියල්ගේ ස්ත්‍රිය ඇගේ මහලු පෙම්වතා සමග ශාරීරික ව එකතු වීම විවිධ ප්‍රයෝග මගින් යළි යළිත් කල් දමයි. අවසානයේ දී ඇගේ පෙම්වතා මිලදී ගෙන දෙන නිවසේ දොර ඔහුට වැසීමෙන් නොසෑහී ඔහුගේ දෑස ඉදිරි පිටදී ම වෙනත් තරුණයකු සමග සංසර්ගයේ යෙදෙයි.

ඇගේ ඇස අග තරුණියගේ හැසිරීම එයට දෙවැනි නැත. ඇය මහාචාර්යවරයා පොළඹවා ගෙන මුහුදු වෙරළට ගොස් තමන් දෙදෙනා බීච් රෙස්ටෝරන්ට් එකකට ගිය බව බිරිඳට වාර්තා කරයි.

මහාචාර්යවරයා ආසක්ත වී ඇත්තේ තමාගේ සිරුරට බව නිරන්තර ව ඇය ඔහුගේ බිරිඳට පවසයි. ඇයම පවසන පරිදි ගමේ පන්සලේ ධර්ම දේශනාවක දී ගැහැනුන් ඇයට ඉදිරියට යාමට නොදෙන්නේ හාමුදුරුවන්ට බණ වරදිතයි බියෙනි.

ඇය වූ කලී පාරේ යන විට ගමේ ස්ත්‍රීන් තම පුරුෂයින් පමණක් නොව සතුන් පවා ගෙට දමා දොර වසා දැමීමට තරම් ආකර්ෂණීය වස්තුවකි.

ඇය ඇත්තට ම අසමින් සිටින්නේ මා ඔබට කවරෙක්ද යන ප්‍රශ්නයයි. ඇය තමාගේ හිස්ටරික ෆැන්ටසියේ මෙහෙයවීමෙන් මෙම ප්‍රශ්නය නගන්නේ මහාචාර්යවරයාගෙන් නොවීම මෙහි විශේෂය යි.

මෙම සිනමා පටයේ ඛෙහෙවින් සංකීර්ණ සංසිද්ධියක් වන්නේ මහාචාර්ය බිරිඳ තරුණිය තම නිවසට ම කැඳවාගෙන ඒම ය.

එක අතෙකින් එය ඇයට තමාගේම තුරුණු විය තමා වෙත කැඳවා ගැනීමකි.

දැන් ඔයා හීනියට හිටියට පස්සේ අල ගෝනියක් වගේ මහත් වෙයි. යනුවෙන් කියන විට ඇය ස්මරණය කරන්නේ තමාගේම තුරුණු ශරීරයයි.

සැබවින් ම එසේ පවසන විට නරඹන්නිය සිතින් දකින්නේ නිළියක ලෙස (සාගර ජලය, හන්තානේ කතාව, සුද්දීලාගේ කතාව වැනි චිත්‍රපටවල) සිහින්ව සිටි අවදියේ ස්වර්ණාගේම තුරුණු රුපයයි.

මහාචාර්යවරයාගේ ඛෙලහීනතාව අවදි කල හැක්කේ එබඳු ශරීරයකට යයි ඇය ෆැන්ටසිකරණය කරයි.

නින්දේ සිටින මහාචාර්යවරයාගේ පුරුෂ ලිගුව ඍජු ව තිඛෙනු දකින ස්වර්ණා ඔහු දකින සිහිනය කුමක්දැයි වැටහීමෙන් කැළඹීමට පත් වන්නේ එබැවිනි.

එක් අතෙකින් තරුණිය නිවසට කැඳවා ගැනීම මහාචාර්යවරයා සහ ඇය අතර සබඳතාවයේ රහසිගත බව තළ වර නැගෙන විනෝදය අහෝසි කර දැමීමකි.

මහාචාර්යවරයා විඳින සතුට ඊට අදාළ වස්තුව ඔහු සමීපයට රැගෙන ඒමෙන් නැතහොත් තහනම ඉවත් කිරීමෙන් අහෝසි කර දැමිය හැකියයි ඇය අවිඤානික ව කල්පනා කරයි.

එහෙත් සැබවින්ම සිදුවන්නේ මහාචාර්යවරයා විෂයෙහි සුපිරි අහමෙහි පාලනය තීව්‍රව මතු වීම ය. ඔහු ඇය ගැන සරාගී සිහින දකී. ඇගේ කාමරයට ගොස් අගේ සුවඳ විලවුන් හලා ගනී. සුපිරි අහම ක්‍රියාත්මක වන්නේ නීතිය අසමත් වූ තැනය.

ජිජැක් අසම්පාතය (parallaxy) යනුවෙන් න්‍යායගත කරන්නේ මෙම තත්වයයි.

එනම් යම් සිදුවීමක් හෝ වස්තුවක් දෙස නරඹමින් සිටින ස්ථානය මාරු කිරීමෙන් යම් වෙනසක් සිදුවීම ය.

සිනමා පටය තුළ (බිරිඳගේ ක්‍රියාවෙන්) සිදු වන්නේ මහාචාර්යවරයාගේ සහ තරුණියගේ දුරස්ථ සබඳතාව වෙනත් පර්යා ලෝකයක් (perspective) වෙත කැඳවීම ය.

එහෙත් ඔවුන්ගේ සබඳතාවයේ වෙනසක් සිදුවන්නේ නැත. ඔවුන් අතර දුරස්ථබව ඒ ආකාරයෙන් ම නඩත්තු කෙරේ.

මහාචාර්ය බිරිඳ අනුගමනය කරන්නේ අද කාලයේ ධනවාදය අනුගමනය කරන ක්‍රමවේදයයි.

එ නම් ධනේශ්වර සමාජය තුල සංකේතික පැවැත්ම (symbolic order) සහ නීතිය විසින් අශ්ලීල සුපිරි අහමෙහි තහනම ස`ගවාලයි.

සරලව කියන්නේ නම් අද ධනේශ්වරය තහනම වෙනුවට විනොදවෙන්න (enjoyi) යනුවෙන් පවසයි.

සමාජ ක්‍රමයේ වෙනසක් අපේක්ෂා කරන්නකු වටහාගත යුතු ධනේශ්වරයේ චලනය එයයි.

විමුක්තිය ලැබීම සඳහා අප කළ යුතු දේ වන්නේ තහනම වෙනුවට විනෝදවන්න යන නියමය ප්‍රතික්ෂේප කිරීමෙන් නව අවස්ථාවන් (new possibilities) මතු කර ගැනීම බව ජිජැක් යෝජනා කරයි..

එහෙත් සිදුවන්නේ විනෝද සාධකයට නතු වීමෙන් සංකේතීය නොහැකියාව (symbolic impossibility) දිගින් දිගට ම නඩත්තු කිරීම ය. සිනමා පටය එ ලෙස අප දවසරින සමාජය පිලිබඳ දෘෂ්ටාන්තයක් ලෙස ක්‍රියා කරමින් එහි සංකල්පීය වපසරිය පුළුල් කෙරෙයි.

මෙම ලිවීම සමග ගැටෙන කියවන්නිය ඇගේ ඇස අග සිනමාත්මක ලෙස තක්සේරු කරන්නේ කෙසේද යන ප්‍රශ්නය නගනු මට ඇසෙයි.

ඒ සඳහා දිය හැකි සරල පිළිතුර වන්නේ මා යට සඳහන් කල සියල්ල සංජානනය වන්නේ අධ්‍යක්ෂවරයාගේ විචක්ෂණශීලී සිනමා බස තියුණු ලෙස කියවීමෙන් බවය.

කෙටියෙන් කිවහොත් යළි යළිත් වර නැගෙන (Repatitive) රූප භාවිතය තුළ එක් අතෙකින් ඔහු මෙම චරිතවල හිස්ටරික බව තියුණු ව කියවයි.

අනෙක් අතින් එය ස්ථානගත වන හිස්ටරික සමාජය අප ඉදිරියේ නිරාවරණය වෙයි.

මේ සියල්ල කැටි කොට ගත් විට ඇගේ ඇස අග යනු තහනම වෙනුවට වස`ගය සමග ආතුර වන අප දෙසම පෙරලා බලා සිටීමට අපට ඉඩ සලසන විදියේ (gaze) සිනමා නිමවුමක් බව කිව යුතුය.

( සමන් වික්‍රමාරච්චි) 
srilankamirror.com