Pages

Saturday, January 21, 2012

බඩගිනි ගම්මානය සහ මඤ්ඤොක්‌කා හන්දිය

බඩගින්න අපූරු අත්දැකීමකි. මෙලොව වෙසෙන සියලුම ජීවීහු එහි ආදීනව හඳුනති. බඩගින්න රිය සක මෙන් ජීවියා හඹා යයි. එය සෙවනැල්ලක්‌ වැනිය. බඩගින්න නිසාම ඇත්තෝ කති බොති. නැත්තෝ උලා කති. එහෙත්, මේ කියෑවෙන බඩගින්න වෙනත් අරුතක්‌ දෙන්නකි, හෙවත් සුවිශේෂ හැඳින්වීමකි.

වසර 1860 සමයේ ඔස්‌ට්‍රේලියාවේ වික්‌ටෝරියා ප්‍රාන්තබද ඇල්බරි - වොඩොන්ගා දුම්රිය මාර්ගය තැනීම සඳහා කම්කරුවන් ගෙන්නා ගන්නා ලද්දේ එවකට සිලෝන් හෙවත් වත්මන් ශ්‍රී ලංකාවෙන් බව අදාළ ඉතිහාසයේ සඳහන් වෙයි.. ඇල්බරි වොඩොන්ගා දුම්රිය මාර්ගය බෙනාලා ගම්මානය දක්‌වා සංවර්ධනය කිරීමට උරදීම අදාළ කම්කරුවන්ගේ කාර්යභාරය වී ඇත.

කැණීම් - තැනීම් මාර්ගය අසබඩ කඳවුරු බැඳ සිටි කම්කරු පිරිසට ආහාරපාන සැපයීම බලධාරීන්ගේ රාජකාරිය වුවද එම සැපයීම් බොහෝ විට නියමිත කාල පරාසයට පසුපසින් වීම කම්කරුවන්ගේ නොසතුටට හේතු වී ඇත. එබැවින් ඔවුහු සිය ආහාර වේල ප්‍රමාද වන සෑම අවස්‌ථාවකම "බඩගිනි" "බඩගිනි" යි කියමින් අරගල කර ඇත. කාලයාගේ ඇවෑමෙන් "බඩගිනි" වචනය ස්‌ථාපිත වී අදාළ කඳවුර ප්‍රදේශය "බඩගිනි" නමින් හැඳින්වීමට හුරුපුරුදු වී ඇත.

මේ අනුව, වත්මන් ඔස්‌ට්‍රේලියානු සිතියමෙහි "බඩගිනි" නමින් ගම්මානයක්‌ සලකුණු කර ඇති අතර එය එරට ගම්මානයක්‌ වශයෙන් පිළිගෙනද ඇත.

"බඩගිනි" යනු ඔස්‌ට්‍රේලියානු ආදිවාසීන්ගේ වහරෙහි වචනයක්‌ යෑයි කලෙක විශ්වාස කෙරිණ. එහෙත් එය සිංහල භාෂාවේම ස්‌ථිර සහ තේරුමක්‌ ඇති වචනයක්‌ යෑයි දැන් පිළිගෙන ඇත.

"බඩගිනි" යනු එකල ලංකාවේ සේවය කරමින් සිටියදී ඇල්බරි - වොඩොන්ගා දුම්රිය මාර්ග ව්‍යාපෘතියට අනුයුක්‌ත කළ මිනින්දොaරුවකුගේ නිර්මාණයක්‌ යෑයි ද කියවේ. එහෙත්, ඔහුට ද "බඩගිනි" යි භාවිත කිරීමට හේතුපාදක වී ඇත්තේ පෙර කී සිද්ධියම ය.

වසර 2006 ඔස්‌ට්‍රේලියානු සංඛ්‍යා ලේඛන සහ දත්ත අනුව බඩගිනි හි ජනගහනය 460 කි. පිරිමි සංඛ්‍යාව 242 ක්‌ වන අතර එම කාන්තා සංඛ්‍යාව 218 කි. පවුල් සංස්‌ථාව 138 ක්‌ යෑයි සඳහන් වන අතර ඔවුනගෙන් 114 දෙනෙක්‌ ඇන්ග්ලිකානු ආගම අදහන අතර සෙස්‌සෝ කිසිදු ආගමක්‌ කෙරෙහි විශ්වාස නොකරන්නෝ වෙති.

බඩගිනි හි ප්‍රධාන ආදායම් මාර්ගය මස්‌ පිණිස බැටළුවන් සහ ගවයන් ඇතිකිරීම වේ. රැකියා වශයෙන් අදාළ ජනගහනයෙන් 47 දෙනෙක්‌ මස්‌ කර්මාන්තය සම්බන්ධව කළමනාකරුවන් වන අතර සෙස්‌සෝ බහුතරය එම කර්මාන්ත ආශ්‍රිත අත්උදව්කරුවෝ වෙති.

තමන් වැටී සිටින වළෙන් ගොඩ ඒමට මෙන්ම වර්තමාන සමාජයීය අභියෝගවලට මුහුණදීම සඳහා පාසල් අධ්‍යාපනය කෙරෙහි දැන් විශේෂ අවධානයක්‌ යොමුකරමින් සිටිති. ඒ සඳහා මේ වන විට ද පෙර පාසලක්‌, හෝඩි පාසලක්‌, මධ්‍යම පාසලක්‌ සහ උසස්‌ පාසලක්‌ ස්‌ථාපිත කර ඇත.

බඩගිනි ගම්මානයට මෙතෙක්‌ කිසිදු විදේශිකයකු පා තබා නොතිබීම (සංචාරක මට්‌ටමින්) විශේෂ සිද්ධියකි. එහෙත්, එහි නිෂ්පාදිත "බඩගිනි රන් වයින්" සඳහා විශේෂ ඉල්ලුමක්‌ ඇතැයි පැවැසේ.

"බඩගිනි රන් වයින්" සොයුරියන් සත්දෙනකු සතු ව්‍යාපාරයකි. සිය වයින් වගා බිම්වල බැටළුවන් ඔබ මොබ දුවන බැවින් "බඩගිනි වයින්" හැඳින්වීමට "රන්" වචනය ආදේශ කළ බව බඩගිනි රන් වයින් සමාගමේ වාර්තාවක සඳහන් වේ.

බඩගිනි ගම්මාන නාමයෙන් එතෙර නම රැන්දූ එකම පුද්ගලයා ජෝඡ් - ජෝ ඉයුජින් පාමර් හෙවත් ජෝඡ් පාමර් යෑයි සඳහන් වේ. වසර 1859 පෙබරවාරි 22 දා "කොරෝවා" නම් වූ ඈත ගම්මානයක ඉපිද පසුකාලීනව බඩගිනි හි පදිංචි වූ පාමර් වසර 1910 ඔක්‌තෝබර් 22 දා බඩගිනි හි දීම මියගොස්‌ ඇත.

ජෝඡ් පාමර් ඔස්‌ට්‍රේලියාවෙන් හෙවත් බඩගිනි ගම්මානයෙන් බිහි වූ අති දක්‍ෂ තුන් ඉරියව් ක්‍රිකට්‌ ක්‍රීඩකයෙකි. වසර 1880-1886 සමයේ ක්‍රිකට්‌ පිටියේ පෙළහර පෑ ජෝඡ් ඔස්‌ට්‍රේලියාව වෙනුවෙන් ටෙස්‌ට්‌ ක්‍රිකට්‌ තරග 17 කට සහභාගි වී ඇත. දඟ පන්දු යවන්නකු වශයෙන් හෙතෙම හයවතාවක්‌ එකම ඉනිමේදී කඩුලු පහ බැගින් ද දෙවතාවක්‌ එකම තරගයේදී කඩුලු 10 බැගින් ද දවාගෙන ඇත.

දණහිසෙහි ආබාධයක්‌ හේතුවෙන් 1886 දී ක්‍රිකට්‌ පිටියෙන් සමුගත් ජෝඡ් පාමර්, ඒ වන විට සිව්වතාවක්‌ එංගලන්තයේ තරග සංචාරවල නියෑළී තිබිණ. බඩගිනි ගම්මානයෙන් නැව් නැගි එකම ක්‍රීඩකයා ජෝඡ් පාමර් යෑයි සඳහන් වේ.

වික්‌ටෝරියා ප්‍රාන්තයේ ස්‌ප්‍රිංග්වේල් මං සන්ධිය ද මෙවැනි අපූරු කතාවකට පසුබිම් වූ ස්‌ථානයකි.

මෙල්බර්න් - සිඩ්නි මහාමාර්ගයේ මල්ග්‍රේව් සහ ස්‌ප්‍රිංග්වේල් යන නගර සීමා කරගනිමින් පිහිටා ඇති මෙම මංසන්ධිය හරහා ප්‍රධාන මාර්ග හයක්‌ වැටී ඇත. අදාළ සියලුම මාර්ග දෙපසට දිවෙන මංතීරු හයක්‌ සහිතය. ඉහළ සිට බලන්නෙකුට ස්‌ප්‍රිංග්ලේ මංසන්ධිය මහා කළබැගෑනියක්‌ යෑයි සිතේ. තොරතෝංචියක්‌ නොමැතිව අවම වශයෙන් පැයට කිලෝමීටර් 80 වේගයෙන් රතු එළි දෙසට අවතීර්ණ වන යාන වාහන කිනම් මොහොතක හෝ එකිනෙක ගැටෙනු ඇතැයි සිතේ. මෙම පොදු චින්තනය හේතුවෙන්ම මෙම ස්‌ථානය හෙවත් ස්‌ප්‍රිංග්වේල් මංසන්ධිය ඔස්‌ට්‍රේලියානු මහාමාර්ග පද්ධතියේ කළු පැල්ලම වශයෙන් හඳුන්වනු ලබයි.

ස්‌පැගට්‌ (නූඩ්ල්ස්‌ වැනි) හන්දිය එහි අන්වර්ථ නාමය වේ. එහෙත් එහි වත්මන් ප්‍රසිද්ධ නාමය මඤ්ඤොක්‌කා හන්දිය වේ.

අසෝක ගුණතිලක - Sunday Divaina