Pages

Saturday, January 21, 2012

පනස් වසක් තිස්සේ සසුන් කෙත සරුසාර කරන පිච්චමල් හාමුදුරුවෝ (කොටපොළ අමරකිත්ති හිමි)

බුද්ධ පුත්‍රයාණන් වහන්සේ නමකට පැවිදි දිවියේ පනස් වසක් ගත කරන්නට ලැබීම ඉමහත් සන්තුෂ්ටියකට හේතු කාරක වන්නේ උන් වහන්සේට පමණක් නොවේ. උන් වහන්සේගෙන් ආධ්‍යාත්මික වශයෙන් හා සාමාජීය වශයෙන් හේතු පල ලැබු දායකකාරකාදීහු ද පොදු ජනයා ද උන් වහන්සේ සසුන බබළවමින් හා නොකිළිටි කරමින් වැජඹෙනු දකිමින් ඉමහත් සැදැහැ බවට පත් වෙති.

දෙනියාය කොටපොළ මුගුණුමුල්ලේ ඩී අමරකෝන් උපාසක මහතා හා ඩී. කේ. එස්. ජයවික්‍රම මාතාවට දාව ලැබුණු දරුවන් නව දෙනකුගෙන් පස්වැනි දරුවාට නම තැබුණේ ධර්මසිරි අමරකෝන් යනුවෙනි.

නැගෙනහිර පෙදෙසේ බෞද්ධ ප්‍රබෝධය යළි ස්ථාපනය කළ දඹගස්ආරේ ශ්‍රී සුමේධංකර හිමිපාණෝ කුල දරුවන් සියයක් පැවිදි කරවීමෙහි ආධ්‍යාශයෙන් සිංහල බෞද්ධයා පත්‍රයේ දැන්වීමක් පළ කළහ. අමරකෝන් උපාසක මහතා සිරිතක් වශයෙන් සිංහල බෞද්ධයා පත්‍රය නිවසට ගෙන්වා ගෙන කියවයි.

එය දුටු අමරකෝන් සැදැහැවතා තම දරුවකු මහණ කරන්නට කැමැත්ත දක්වා ලිපියක් යැවීය. එයට හේතු වන්නට ඇත්තේ ධර්මසිරි දරුවා මහණ වන්නට තමන්ට අටපිරිකරක් අවශ්‍ය බව නිතර කියන නිසා වන්නට ඇත. එමෙන්ම එවක සිංහල පවුල්වල අද මෙන් නොව පන්සලට පූජා කරන්නට දරුවෝ සිටියහ.

දිනක් දොඩන්දූවට වැඩම කර සිටි සුමේධංකාර නාහිමියෝ කුමාරකන්දේ කුමාර විහාරයේ අධිපති දොඩන්දූවේ ධර්මාරාම මාහිමියන් හා අලුත්ගම සුමනසාර මාහිමියන් සමඟ මාතරට වැඩම කළහ. වැඩ කටයුතු කලින් අවසන් වූ හෙයින් හදිසියේ ගත් තීරණයක් ලෙසින් දෙනියායේ කොටපොළට පැමිණි උන් වහන්සේලා අමරකෝන් උපාසක මහතාගේ නිවසට ද වැඩම කළහ.

නොදන්වා හදිසියෙන්ම ආ නාහිමිවරුන් දුටු උපාසක මහතාගේ හිසේ මල් පිපුණාක් මෙන් වන්නට ඇත. දරුවකු මහණ කරන්නට ලැබීම මගේ වාසනාවක් යැයි සටහන් කරමින් ධර්මසිරි දරුවාගේ අත ගෙන නාහිමියන්ට බාර කළේය.

1962 ජනවාරි 22 දින අග්ගමහා පණ්ඩිත පොල්වත්තේ ශ්‍රී බුද්ධදත්ත නාහිමියන්ගේ උපාධ්‍යායත්වයෙන් හා දඹගස්ආරේ සුමේධංකර නාහිමියන්ගේ ආචාර්යත්වයෙන් කුල දරුවෝ අට දෙනෙක් සසුනට එක් වූහ. ඒ අතර ධර්මසිරි දරුවා ද සිටියේය. ධර්මසිරි කුල දරුවා මහණ වූයේ අමරකිත්ති යන ප්‍රව්‍යජා නාමයෙනි.

1970 ජූලි මස 8 වැනි දින කොටපොළ අමරකිත්ති හිමියෝ පඤ්ඤාකිත්ති හිමියෝ සමඟ උපසපන් දිවියට පත් වූහ. පිරිවෙන් අධ්‍යාපනය අවසන් කළ අමරකිත්ති හිමිපාණෝ ගල්කිස්සේ ධර්මායතනයේ නැවැතී පේරාදෙණිය සරසවියෙන් බාහිර උපාධියක් ලබා ගෙන සේරුවාවිල කාවන්තිස්ස විදුහලේ ගුරු පත්වීමක් ලදහ.

කොළඹට නැවැතත් එන්නට සිදුවූයේ තම ගුරු හිමිපාණන්ගේ ඉල්ලීම අනුව බෞද්ධාලෝක මාවතේ රජයෙන් ලැබුණු ඉඩමෙහි සේරුවාවිල බෞද්ධ මධ්‍යස්ථානය පිහිටුවා ගැනීමෙහි අභිලාෂයෙනි. එවකට ගල්කිස්ස විද්‍යා විද්‍යාලයේ සේවය කොට ඉනික්බිතිව කොළඹ සුසමයවර්ධන මහා විද්‍යාලයට මාරුවීමක් ලැබූහ.

දොඩන්දූව කුමාර විහාරයේ වැඩ වසන කාලයේදී පවා උන් වහන්සේ විසින් පෙදෙස් වාසීන්ට කළ සේවාව ඉමහත්ය. විදුදය පිරිවෙණේ උගන්නා කාලයේදී පවා සාන්ත දාන්තව වැඩ වසමින් අසාධාරණයට එරෙහිව පෙරමුණ ගෙන ජය ගත්හ.

මේ වග උන් වහන්සේ ඇසුරු කළ ගිහි පැවිදි දෙකොටසම සාක්ෂ්‍ය වෙති. උන් වහන්සේගේ දහම් දේශනාවල අපූර්වත්වයක් ගැබ්ව තිබේ. සරල සුගම ශෛලියක් අඩංගු වුවද සංයමයෙන් පවසන ගැඹුරු කරුණු කාරණා නිසා බුදුනු ජනතාවට වැදගත් බවක් දැනේ. ලාලිත්‍යයක් නැතිව ද ආවේගශීලී නොවී ද පැරැණි දහම් රූඩින් රැක ගෙන එම දෙසුම් පවත්වති.

ගුවන් විදුලියෙන් ඉදිරිපත් කළ ධම්ම චින්තා වැඩ සටහනේ දී කළ නවමු ඉදිරිපත් කිරීම බෙහෙවින් ජනපි‍්‍රය වූයේය. භාවනාව බුදුනු සිතට ඇතුළු කරන්නට උන් වහන්සේ නිහඬව වැදගත් සේවාවක් කළහ. දැනුදු කරති. මේවා එක් පළාතකට හෝ එක් කණ්ඩායමකට සීමා නොවීම මෙහි ඇති විශේෂත්වයකි.

උන් වහන්සේ සේරුවාවිල පන්සලේ වැඩ සිටියදී කාවන්තිස්ස පාසලේ හා පන්සලේ දහම් පාසලේ දරුවන්ගේ සිත් සතන් දහමින් සදා හොඳ පුරවැසියන් කැළක් බිහි කරන්නට කළ සේවාව අදත් සේරුවාවිල ජනතාව බොහෝ බැතියෙන් මතක් කරති. ගල්කිස්සේ ධර්මායතනය මූලික කොට ගල්කිස්සේ විද්‍යා විද්‍යාලය ඇසුරු කොට ළමයා යහපත් ළමයකු ලෙස හැදීමේ කර්තව්‍යයට උර දුන්හ.

පසුව කොළඹ හතේ සේරුවිල බෞද්ධ මධ්‍යස්ථානයේ වැඩ වසමින් සසුන පොහොසත් කරන්නට සාරවත් කරන්නට නිස්සරණාධ්‍යාශයෙන් කළ සේවාව අතිමහත්ය. උන් වහන්සේ මේවා කළේ විවිධ මාධ්‍යයන් ඔස්සේය. උන් වහන්සේට හොඳින් ලියන්නටත් කවි ලියන්නටත් පිළිවන. ඒවා හොඳින් ගායනා කරන්නටත් හැකිය. බොහෝ ගීත ද ලියා තිබේ. අමරකිත්ති හිමියන් ඉටු කරන බෞද්ධ වන්දනාව කාගේත් සිත් ඇඳ බැඳ තබයි.

උන් වහන්සේගේ සසුන් දිවියේ පරහිතකාමී සේවාවේ කූටප්‍රාප්තිය ශාන්ති පදනමය. 1979 දී පිහිටැවූ මෙමඟින් විවිධ ව්‍යාපෘතීන් රටට හඳුන්වා දෙනු ලැබිණි. ඒවා සෑම එකකගෙන්ම ජනතාවට ශාන්තිය ලැබුණු බැවින් ඒවා වැදගත් වන ආකාරයට සටහන් කිරීම අසීරුය.

එහෙත් අනුරාධපුරයේ ජයසිරි මහ බෝ සමිඳුන් අබියස පැවැත්වෙන වාර්ෂික සමන් පිච්ච මල් පූජාව ඉන් ප්‍රමුඛ ස්ථානයක සටහන් කළ හැකියි. එය මුළු සැදැහැති දනන් එක් තැනකට මුළුගැන්වූ අසෘදෘශ කටයුත්තක් වූයේය.

ශාන්ති ගුවන් විදුලි වැඩ සටහන, මවුපිය උපහාර වැඩ සටහන, ශාන්ති සේනාව, ශාන්ති ළමා පුවත් පත, සුවඳ මංගල්ලය, ශ්‍රී සුමේධංකර දහම් පාසල, අසරණ දරුවන්ට ශිෂ්‍යත්ව ලබා දීම, පින්තාලිය, සිරිපොද වැස්ස, පිණ්ඩපාත චාරිකාව, සාමනේර හිමිවරුන් පුහුණු කිරීම, වෙසක් මිහිර චාරිකාව, සැවැත් නුවර රෝස මල් පූජාව, රෝහල් සේවාව, රතන සූත්‍ර සජ්ජායනය, ධවල විප්ලවය, ගජමුතු සේනා, නියං සහනාධාර, සුනාමි විපතේදී කළ සේවාව, සතුන්ට අභය දානය දීම අපගේ මතකයට එන ඉන් සමහරකි.

පිච්චමල් හාමුදුරුවන් හෙවත් කොටපොළ නායක හිමියන්ගේ ප්‍රවෘජ්‍යා ස්වර්ණ ජයන්තිය (පැවිද්දෙන් වසර පනහක් පිරීම) නිමිති කොට ගෙන වැඩ සටහන් කිහිපයක් හා පින්කම් මාලාවක් 14 වැනිදා සිට ඇරැඹුණු අතර ජනවාරි 20 වැනිදා සිකුරාදා රන්වන් බෝපත්වලින් ස්ථුපය සැරැසීම ජනවාරි 21 දා සෙනසුරාදා සේරුවාවිල දී සීල භාවනා වැඩ සටහනක් ද ජනවාරි 22 දා ඉරිදා දවල් මහ සඟරුවනට දන් පූජා කිරීම ද සිදු කෙරේ. ජනවාරි 29 වැනිදා අනුරපුර ජය සිරි මහ බෝ සමිඳුන් අබියස උදේ 6.00 ට කිරිපිඬු බුද්ධ පූජාව ද දහවල දානය රුවන්මැලි දාගැබ ආරාමයේදී ද ඉන් පසුව පෙබරවාරි 05 දින කොටපොළ ගැටබරු රාජමහා විහාරයේදී දහවල් දානය ද පිළි ගැන්වෙයි.

අමරකිත්ති හිමියන්ට දිගාසිරි වේවා! තවත් චිරාත් කාලයක් රටට දැයට සේවා කරන්නට ශක්තිය ධෛර්යය තුනුරුවනේ බලයෙන් දෙව් රැකවරණින් ලැබේවා!

අසෝක මාලිමගේ - Silumina