Pages

Saturday, January 28, 2012

දරුවා හැදෙන හැටි බලාගෙන ඉන්න

“මගේ පුතා තාම කතා කරන්නෙ නෑ”.

“මගේ දුව තාම ඇවිදින්නෙ නෑ”.

එවැනි මැසිවිලි කුඩා දරුවන් සිටින මව්වරුන් අතර අසන්නට ලැබේ. තම දරුවාගේ එවැනි ගැටලු නිසා මවත් පියාත් සිතින් වේදනාවට පත් වනු ඇත. එය එසේ විය යුතු නැත. නිවැරැදි අවබෝධය සහ නිවැරදි ප්‍රතිකර්ම මඟින් එවැනි ගැටලු පහසුවෙන් විසඳා ගත හැකිය. ඒ සඳහා මවත් පියාත් තම දරුවාගේ ක්‍රියාකාරකම් පිළිබඳව හොඳ අවධානයකින් සිටීම ඉතා වැදගත්ය.
දරුවකු ඒ ඒ වයස් මට්ටම්වලදී පෙන්නුම් කළ යුතු ක්‍රියාකාරකම් හැකියා පෙන්නුම් නොකරයි නම්, ඇතැම් විටෙක වෛද්‍ය උපදෙස් පැතීමට ද සිදුවනු ඇත. එහෙත් පළමුව කළ යුත්තේ දරුවාගේ ක්‍රියාකාරකම් හොඳින් නිරීක්ෂණය කිරීමය.

ළදරුවකු මෙලොවට බිහි වී සති 6 ක් පමණ ගත වූ පසුව යම් ක්‍රියාකාරිත්වයක් දරුවා කෙරෙන් පෙන්නුම් කිරීමට පටන් ගනී. සාමාන්‍යයෙන් ළදරුවකු මුලින්ම සිනාසෙන්නේ ඉපදී සති 6 ක් පමණ ගතවූ විටය. එහිදී දරුවා මව හඳුනාගෙන සිනාසෙයි. සති 6 ක් ගතවූ තැන දරුවකු සිනාසෙන්නේ නැති නම් එය දරුවාගේ කිසියම් අඩුපාඩුවක් නිසා සිදුවූවක් විය හැකිය. කිසියම් ළදරුවකුගේ මොළයේ වර්ධනයේ ගැටලු ඇත්නම්, ශරීරයේ තයිරොක්සින් හෝමෝනයේ අඩුපාඩුවක් ඇත්නම්, ඒ දරුවා ඉපදී සති 6 ක් ගතවූ පසුව සිනාසෙන්නේ නැත.

ඉන් පසුව ළදරුවා තම ක්‍රියාකාරකම් පෙන්වන්නේ දෑත් දෙපා මඟිනි. ළදරුවකුට මාස 3 ක් සම්පූර්ණ වූ විට දරුවාට වෙනත් අයකු යමක් දෙන විට එය අතින් ගැනීමේ හැකියාවක් ඇත. මාස 5 ක් 6 ක් ගත වන විට දරුවා යමක් අතින් අතට මාරු කිරීමට පෙළඹේ.

දරුවාගේ දෑත්වල ඇඟිලිවල හෝ මොළයේ කිසියම් අඩුපාඩුවක් ඇත්නම් මාස 6 ක් ගතවූ විට යමක් අතින් අතට මාරු කරන්නේ නැත. විශේෂයෙන් මොළයේ එක් පැත්තක් හෝ එක් අතක් අඩුවෙන් ක්‍රියාකාරීනම් දරුවාට අතින් අතට යමක් හුවමාරු කිරීමට හැකියාව ලැබෙන්නේ නැත. එසේ වුවහොත් දරුවා මුල පටන්ම භාවිත කරන්නේ එක් අතක් පමණි. එසේම එම වයසේදී දරුවාට සෙල්ලම් බඩු ආදිය දෙන විට දරුවා ඒවා ගන්නේ එක් අතකින් පමණක් නම්, ඒ පිළිබඳව ද සොයා බැලීම ඉතා වැදගත්ය. මේ අයුරින් මුල් මාස කීපය තුළ දරුවා යම් යම් දේ අල්ලන ආකාරය පිළිබඳව සැලකිලිමත් වීම මඟින් එම දරුවාගේ දෑත්වල ඇති මාංශ පේෂිවල හෝ ස්නායුවල හෝ ආබාධයක් ඇත්නම් හඳුනාගත හැකි වනු ඇත. එසේම මොළයේ කිසියම් ගැටලුවක් ඇත්නම් එය ද හඳුනාගත හැකි වනු ඇත.

වයස මාස 8 පමණ වන විට දරුවාට වාඩිවී සිටීමේ හැකියාව ලැබේ. මාස 10 ක් පමණ වන විට සිටගෙන සිටීමට දරුවා උත්සාහ දරනු පෙනේ. දරුවාට වයස අවුරුද්දක් එකහමාරක් වන විට දරුවා ඇවිදීමට පටන් ගනී. ඉපදී මුල් මාස කීපය තුළ නිරෝගී දරුවකු පෙන්නුම් කළ යුතු සහ සාමාන්‍යයෙන් පෙන්නුම් කෙරෙන ක්‍රියාකාරකම් ඒවාය.

සාමාන්‍යයෙන් දරුවකුගේ වයස අවුරුදු එකහමාරක් සම්පූර්ණ වන විට දරුවා “බලිබූත ඇඳීමට” පටන් ගනී. දරුවා තම ඇඟිලි හුරුව ආරම්භ කරන්නේ එලෙසය. පෑනක් පැන්සලක් අඟුරු කැබැල්ලක් හුණු කූරක් වැනි අතට හසුවන ඕනෑම දෙයක් ගෙන බිත්තිවල, නිවසේ බිම හෝ වෙනත් ඕනෑම ස්ථානයක යම් යම් දේ ඇඳීමට දරුවා පටන් ගන්නේ එම වයසේදීය.

“බලිබූත ඇඳීම” දරුවකුගේ මානසික සහ ශාරීරික ක්‍රියාකාරිත්වයට අත්‍යාවශ්‍යම දෙයක් බව පර්යේෂණ මඟින් තහවුරු වී ඇත.

ඇතැම් මවුපියන් නිවස අවලස්සන වේ යැයි සිතා නිවසේ බිත්තිවල හෝ බිම හෝ චිත්‍ර ඇඳීමට ඉඩ ලබා නොදේ. එය ඉතා අනුවණකමකි. එලෙස බලිබූත ඇඳීම මඟින් වර්ධනය වන්නේ දරුවා සතු සියුම් චාලක හැකියාවන්ය. දරුවාගේ බලිබූත ඇඳීම වැළැක්වීමට මවුපියන් කිසි විටෙකත් ක්‍රියා නොකළ යුතුය.

දරුවා අනාගතයේදී පරිගණක ඉංජිනේරුවකු, කලාකරුවකු, චිත්‍ර ශිල්පියකු, වාදකයකු, ලස්සනට ලිවීමට හැකි අයකු වෛද්‍යවරයකු හෝ වන්නේ බලිබූත ඇඳීම වැනි සියුම් චාලක හැකියාවන් නිසි ලෙස වර්ධනය කරගැනීමෙනි. නිවසේ බිත්ති පුරා දරුවාට “බලිබූත” ඇඳීමට ඉඩ ලබා දිය යුතු බව එයින් අදහස් නොවේ.

දරුවාට තම බලිබූත ඇඳීම සඳහා නියමිත බිත්තියක් තෝරා දීමෙන් හෝ චිත්‍ර ඇඳීමට අවශ්‍ය කඩදාසි ලබාදීමෙන් දරුවාට තම හැකියාව වර්ධනය කරගැනීමට උපකාර කළ හැකිය. නැවත නැවතත් සඳහන් කළ යුතු කරුණක් වන්නේ දරුවාගේ නිර්මාණශීලිත්වය වර්ධනය වීමට බලිබූත ඇඳීම ඉතාම වැදගත් බැවින් ඒ සඳහා දරුවාට පහසුකම් සැලසීම ඉතා වැදගත් බවය.

දරුවාට වසර එකහමාරක් දෙකක් ගතවූ පසු ද දරුවා බලිබූත ඇඳීමට නොපෙලඹේනම්, දරුවාගේ ඇස් පෙනීම පිළිබඳව ද දරුවාගේ සියුම් චාලක හැකියාවන් පිළිබඳව ද සොයා බැලීම සුදුසුය. දරුවකුගේ සියුම් චාලක හැකියාවන් වර්ධනය වීමට එම දරුවාගේ ඇස් හොඳින් පෙනීම ඉතා ප්‍රයෝජනවත්ය. ඇස සහ ඇඟිලි ක්‍රියා කරන්නේ එක්වරය. එබැවින් දරුවාගේ පෙනීම පිළිබඳව අවදියෙන් සිටීම වැදගත්ය.

අවුරුදු 2 ක් සම්පූර්ණ වන විට තිරස් අතට ඉරි ඇඳීමට පටන්ගන්නා දරුවා අවුරුදු 2 1/2 ක් පමණ වන විට සිරස් අතට ඉරි ඇඳීමට පෙලඹෙයි. වයස අවුරුදු 3 සම්පූර්ණ වන දරුවා රවුමක් ඇඳීමට පටන් ගනී. වයස අවුරුදු 4 සම්පූර්ණ වන විට කතිරයක් ඇඳීමේ හැකියාව ද, අවුරුදු 5 1/2 ක් සම්පූර්ණ වන විට ත්‍රිකෝණයක් ඇඳීමේ හැකියාව ද දරුවා පෙන්නුම් කිරීමට පටන් ගනී.

දරුවකුගේ අකුරු ලිවීමේ හැකියාව වර්ධනය වන්නේ වයස අවුරුදු 5 ඉක්මවූ පසුවය. වයස 3, 3 1/2 පමණ වන විට මවුපියෝ දරුවා මොන්ටිසෝරියට යවති. එවැනි වයසක පසුවන දරුවකුට මොන්ටිසෝරියකින් බලාපොරොත්තු විය යුත්තේ අකුරු ලිවීම නොව, කණ්ඩායමක් ලෙස එකට සිටීම, එකිනෙකා සමඟ අදහස් හුවමාරුව සෙල්ලම් කිරීම වැනි කරුණුය. එම වයසේදී දරුවාට තම හැකියාවන් නිදහසේ වර්ධනය කරගැනීමේ අවස්ථාව සලසා දීම ඉතා වැදගත්ය.

ඇවිදින වයසේ දරුවන් සිටින බොහෝ නිවෙස්වල උළුවස්ස හරහා වැටවල් බැඳ ඇත; ගේට්ටු දමා දරුවා කොටුකර ඇත. මවුපියන් එසේ කරන්නේ දරුවාගේ ආරක්ෂාවටය. එහෙත් එය දරුවාගේ වර්ධනය බාධාවකි. ඒ කෙසේ වුවද අවුරුදු 3 ක් 4 ක් පමණ වන තෙක් දරුවා ඉතාම පරිස්සමින් රැක බලාගත යුතුය. කවුරුන් හෝ සෑම මොහොතකම දරුවා කෙරෙහිම ඇස් යොමා සිටීම අත්‍යාවශ්‍යය. ඒ, වයස අවුරුදු 3 ට අඩු දරුවන් නිවස තුළ වැටීම පෙරළීම වැනි අනතුරුවලට ගොදුරු වීමේ හැකියාව වැඩි නිසාය.

දරුවාට නිදහස ලබාදිය යුතු යැයි කියා උස් ස්ථානවලට නැගීමට ඉඩ නොදීමටත්, අතට හසුවන දේවල් කටේ දමා ගැනීමටත් දරුවාට අවස්ථාව නොදීමට වග බලා ගැනීම මවුපියන්ගේ වගකීමකි. කෑලි ගැලවෙන රෝද ගැලවෙන සෙල්ලම් බඩු වයස අවුරුදු 3 ට අඩු දරුවනට හොඳ නැත.

අතට හසුවන ඕනෑම දෙයක් කටට දමා ගැනීම අවුරුදු 3 ට අඩු දරුවන්ගේ පුරුද්දක් නිසා එසේ කටේ දමා ගත හැකි බෝතල් මූඩි, බොත්තම්, ඉදිකටු, කාසි, ඖෂධ වර්ග සැම විටම දරුවන්ගෙන් දුරස්ව තැබිය යුතුය. දරුවාට නිදහස ලබා දෙන තරමටම දරුවා පසුපස සිටිමින් දරුවාට ආරක්ෂාව සැලසීම ද ඉතා වැදගත්ය. දරුවා එළිමහනට ගෙන ගොස් ගහකොළ කුරුල්ලන් සමනලයින් පෙන්වීම ඒ පිළිබඳව දරුවාට විස්තර කර දීම දරුවාගේ මානසික වර්ධනයට බෙහෙවින් උපකාරී වේ. දරුවකුට ආහාර කැවීම පිළිබඳ නිවැරැදි ක්‍රම අනුගමනය කිරීමෙන් නිර්මාණශීලී දරුවකු බිහි කරගත හැකි වනු ඇත.

වයස අවුරුදු 18 ක් ඉක්මවුණද මව විසින් තවමත් ආහාර කවන දරුවන් ඉඳහිට හෝ හමුවෙයි. එවා ඉතා වැරැදිසහගත පුරුදුය. දරුවකුට මාස හයක් හතක් ගත වන විට මුඛයේ දත් එන්නේ දරුවාට ආහාර විකා කෑමටය.එහෙත් ඇතැම් මවුවරු තම දරුවාට දත් තිබුණ ද දෙන ආහාරය තලපයක් සේ සාදා හෝ බ්ලෙන්ඩරයේ දමා හෝ දීමට පෙලඹේ.

දත් නැති මුල් සමයේ මේ ක්‍රමය නිවැරැදි වුවද දරුවාට සපා කෑමට හැකියාව ඇති විට එසේ ආහාර දීම වැරැදිය. වඩාත් වැදගත් වන්නේ දරුවාට අතින් අල්ලා කෑමට අවස්ථාව සලසා දීමය.දරුවාට බිස්කට් දෙන්නේ නම්, උගුරේ සිර නොවන ප්‍රමාණයට කැබලි කඩා දරුවාගේ අතට දීම සුදුසුය. එවිට අතට දුන් ආහාරය කටට දමා ගැනීමට දරුවා පෙලඹෙයි. කටට දමාගත් ආහාරය දත්වලින් විකා කෑමට දරුවාට ආශාව ඇති වේ.

අතින් යමක් කටට දමා ගැනීම ද දරුවකුගේ වර්ධනය විය යුතු හැකියාවකි. අත කට දෙසට ගෙන යාම දරුවකුගේ මොළයේ වර්ධනයත් සමඟම වර්ධනය වන සියුම් චාලක හැකියාවකි. එසේ වුවද බිම තිබෙන ඕනෑම දෙයක් කටේ දමා ගැනීමට දරුවාට අවස්ථාව ලබා නොදිය යුතුය.

දරුවාට මාස 9 ක් පමණ වන විට දරුවා තුළ විශේෂ හැකියාවන් වර්ධනය වේ. එය හඳුන්වන්නේSpincer grasp ලෙසය. එහිදී දරුවා මහපට ඇඟිල්ල සහ දබර ඇඟිල්ල උපයෝගී කරගෙන යම් යම් දේ අහුලා ගැනීමට පෙලඹෙයි. එය ද වර්ධනය කළ යුතු සියුම් චාලක හැකියාවකි. කුඩා කඩදාසි කැබලි බිම දමා දරුවාට ඇහිඳීමට ඉඩ සැලසීමෙන් දරුවාගේ එම සියුම් චාලක හැකියාව නිරීක්ෂණය කළ හැකිය.

සියුම් චාලක හැකියාවන්හි වර්ධනය සෘජුවම මොළයට බලපායි. දරුවා ඇඟිලි තුඩුවලින් බිම තිබෙන කිසිවක් අහුලා ගැනීම වැනි ක්‍රියාවන්හි යෙදෙන විට මොළයේ ඊට අදාළ සියුම් චාලක හැකියා සෛල විකසිත වේ. එලෙස දරුවාට ක්‍රියාකාරී වීමට ඉඩ ලබා නොදුනහොත් එය මොළයේ වර්ධනයට සෘජුවම බලපානු ලැබේ.

දරුවකුගේ කථන හැකියාව වර්ධනය ද ඉතාම සියුම් ලෙස නිරීක්ෂණය කළ යුතුය. සාමාන්‍යයෙන් මාස 8 ක් 10 ක් සම්පූර්ණ වන විට දරුවකු වචන මිමිනීමට පටන් ගනී. බබා මමා තතා වැනි වචන මිමිනීමට දරුවා උත්සාහ ගනී. දරුවාට අවුරුද්දක් සම්පූර්ණ වන විට වචන කීපයක් කතා කිරීමට හැකියාව ලැබේ. දරුවකුට වයස අවුරුදු 2 ක් වන විට වචන දෙකක වාක්‍යයක් කීමට දරුවකුට හැකියාව ලැබේ. අවුරුදු 3 සම්පූර්ණ වූ විට වචන තුනක වාක්‍යයක් ද කීමට දරුවකුට හැකියාව ලැබේ. ඉන් පසුව දරුවාගේ කථන හැකියාව ශීඝ්‍රයෙන් වර්ධනය වේ.

මෙහිදී සඳහන් කළ කාලසීමාවන් මාසයක් දෙකක් පමාවීම සාමාන්‍ය දෙයක් වුවද, මාස පහක් හයක් පමාවීම සුදුසු නැත. එහිදී දරුවාගේ කන් ඇසීම පිළිබඳව අවධානය යොමු කළ යුතුව ඇත. දරුවාට වචන ඇසෙන්නේ නැතිනම්, එම දරුවාගේ කතා කිරීමේ හැකියාව වර්ධනය නොවේ. දරුවාගේ කන් ඇසීමේ අඩුවක් ඇතැයි හඳුනාගතහොත් ඒ සඳහා ප්‍රතිකාර කිරීමෙන් දරුවාගේ කථන හැකියාව වර්ධනය කරගත හැකිය. බොහෝ විට කන් ඇසීම සහ කතා කිරීම එකට යන අතර පෙනීම සහ ඉහතින් දැක්වූ සියුම් චාලක හැකියාව ද එකට ගමන් කරයි.

දරුවකුගේ කථනය ඉතා වැදගත්ය. බොහෝ දෙනෙකු සිතන්නේ කුඩා අවධියේදී දරුවකු එක් භාෂාවක් පමණක් භාවිත කළ යුතු බවය. එය වැරැදි සහගත මතයකි. කුඩා දරුවනට යමක් පහසුවෙන් ඉගෙනීමේ හැකියාව ඇත. ඒ නිසා එකවර භාෂා දෙක තුනක් කතා කිරීමට ඉගෙන ගැනීමේ හැකියාව දරුවකු සතුය. දරුවකු එක් භාෂාවක් කතා කිරීමට පුරුදු වූයේ යැයි කියා තවත් භාෂාවක් කතා නොකර ඉන්නේ නැත. එබැවින් දරුවකු වෙහෙසට පත් නොවන අයුරින් භාෂාවන් දෙක තුනක් කතා කිරීමේ හැකියාව පුහුණු කළ හැකිය.

දරුවකු සමඟ මව කතා කළ යුත්තේ දරුවාගේ මුහුණ දෙස බලාගෙනය. නිතර එලෙස කතා කිරීම මඟින් දරුවාගේ කථන හැකියාව දියුණු කරගත හැකි වනු ඇත. එසේම දරුවකු සෙල්ලම් බඩු සමඟ සිටින විට දරුවාට එම සෙල්ලම් බඩුවල වර්ණය පෙන්වා දී “පුතේ මේ නිල්පාට කාර් එක” යැයි කීමෙන් දරුවාගේ වචන හැකියාව වර්ධනය කළ හැකි වනු ඇත. එසේම දරුවකුට කෑම කවන විට “එකායි” කියා බත් කටක් කවා දෙවැනි බත් කට “දෙකායි” කියා කැවීම මඟින් දරුවාගේ ගණිතමය හැකියාව දියුණු වේ.

පිරිමි දරුවන් ඉක්මනින් ඇවිදීමට පෙලඹෙන බවත් ගැහැනු දරුවන්ගේ ඇවිදීම ප්‍රමාද වන බවත් ඇතැමුන් දරන මතයකි. එසේම ඉක්මනින් ඇවිද්දේ නම් කතාව ප්‍රමාද වන බවට ද මතයක් ඇත. ඒවා විද්‍යාත්මකව ඔප්පු වී ඇති මතයන් නොවේ. වෛද්‍ය විද්‍යාවේ “ගව්සියන් චක්‍රය” ලෙස හැඳින්වෙන සටහනක් ගැන සඳහන් වේ. එයට අනුව වැඩි දරුවන් සංඛ්‍යාවක් මධ්‍යස්ථ හැකියාවන් පෙන්වයි. ස්වල්ප දෙනෙක් සුවිශේෂී හැකියාවන් පෙන්වමින් වැඩ කරති. තවත් ස්වල්ප දෙනෙක් අඩු හැකියාවන් පෙන්වමින් වැඩ කරති. ඒ සඳහා ගැහැනු පිරිමි භේදයක් නැත.

දරුවන් සමඟ වැඩිහිටියන් කතා කරන විට නිවැරැදි වචන කතා කිරීම ඉතාම වැදගත්ය. දරුවා සමඟ කතා කරන විට බල්ලාට බව්වා යනුවෙනුත් කාර් එකට බූම් එක යනුවෙනුත්, කීම වැරැදිය. දරුවාට කතා කළ යුත්තේ නිවැරැදි වචනයයි. එවිට දරුවා නිවැරැදි වචනයටම හුරු වේ. වැඩිහිටියකු ආකාරයෙන්ම දරුවකු වචන උච්චාරණය නොකළ ද, ඒ පිළිබඳව නොසලකා දරුවා සමඟ නිවැරැදි වචනම කතා කිරීම ඉතා වැදගත්ය. එය දරුවාගේ වචන හැකියාව වර්ධනයට උපකාරී වේ.

ගාමිණී සුසන්ත - Silumina