Pages

Saturday, January 21, 2012

ඔබ රුව සිහිනෙන් හද ඇඳි රේඛා

දෑල ළමැද රන් ගෝමර රේඛා
ඈත දි පෙන්වන කෝමල රේඛා
මෑතදි බැලුවිට ආදර රේඛා
සිහිනෙන් ඔබ රුව හද ඇඳි රේඛා

හද විල කලඹන පෙම් ජල රේඛා
ඒ විල මැද සීතල සඳ රේඛා
දෑසෙහි තවරා ආදර රේඛා
ඔබ රුව සිහිනෙන් හද ඇඳි රේඛා

වරලස අක්බමරුන් රැඳි රේඛා
දෙනෙතිහි නිලුපුල් මල් පෙති රේඛා
දෙතොලෙහි ආදර හස රැළි රේඛා
ඔබ රුව සිහිනෙන් හද ඇඳි රේඛා

නීල පළිඟු කැට නෙත් මිණි රේඛා
බාල චන්දනී නළලත රේඛා
ආල නුරාවෙන් බැඳ රන් රේඛා
ඔබ රුව සිහිනෙන් හද ඇඳි රේඛා

දෑල ළමැද රන් ගෝමර රේඛා
ඈත දි පෙන්වන කෝමල රේඛා
මෑතදි බැලුවිට ආදර රේඛා
ඔබ රුව සිහිනෙන් හද ඇඳි රේඛා

පද රචනය - ධර්මසිරි ගමගේ
සංගීතය - රෝහිත විජේසූරිය
ගායනය - නන්දා මාලිනී

ආදරය ගැන ලියන කවියන් හා ගීත රචකයන් ඕනෑ තරම් හමුවේ. එහෙත් ආදරය දැනෙන ලෙස ලියන්නෝ අල්ප වෙති.

ධර්මසිරි ගමගේ වූ කලී ආදරය දැනෙන්නට ලියූ රචකයින්ගෙන් එක් අයෙකු බව සිහි කරන්නේ ආදරයෙනි. ආදරයේ සුන්දරත්වය මෙන්ම එහි සැබෑ මනුෂ්‍යත්වය ද ඔහු මනාව ස්පර්ශ කර තිබේ.

”ආල වදන අකුරු පහේ තේරවිල්ල සකී
රෑට නිදන තනි පැදුරේ නැති හීනෙකි සකී
ආලෙ බිඳුණු දා කුමකට කඳුළු හෙළනු සකී
ආලවඩන යන තේරුම බෝසත්කම සකී

(ධර්මසිරි ගමගේ හුලවාලි චිත්‍රපටයට ලියූ ගීත ඛණ්ඩයකි)

එසේම ප්‍රේමය වූ කලී රොමැන්ටික් සිතුවිලි අවදි කරවන්නකි. සුවහසක් මනෝ මන්දිර ඉදිකරන්නකි. යථාර්ථය ඉක්මවා යන සිහිනලෝක මවන්නකි. එය එසේ නොවේ නම් ස්ත්‍රී පුරුෂ ප්‍රේමය මේ තරම් ම කවියන්, ගීත රචකයින් අත කැටයම් නොවේ. “හදවිල කලඹන” නැමැති ගීතය ද සියුම් රේඛා මත මැවෙන සිතුවමකි. රමණීය කැටයමකි.

මේ ගීතය මා මුල්වරට රස විඳින්නේ ගැටවරයකුව සිටිය දී ය. රසවින්දනය පිළිබඳ ශාස්ත්‍රීය අවබෝධයක් කාවැදි නොතිබුණු ඒ යුගයේ පවා මේ ගීයෙන් මා ලද චමත්කාරය අපරිමිතය. මාගේ සිසුවියක සපයා දුන් ගී පදමාලා කීපයක් අතර මේ ගීය දැකීමෙන් අතීතයේ මා ලද ආස්වාදය මම නැවත නැවතත් විඳින්නට පටන් ගනිමි.

”හද විල කලඹන පෙම් ජල රේඛා
ඒ විල මැද සීතල සඳ රේඛා
දෑසෙහි තවරා ආදර රේඛා
ඔබ රුව සිහිනෙන් හද ඇඳි රේඛා

හදවිල කලඹන පෙම් ජල රේඛාවන් අතර රැදෙන්නේ සඳ රේඛාවන්ය. ඒ සඳරේඛාවන් දෑසෙහි අඳින්නේ ආදර රේඛාවන්ය. මේ සියලුම රේඛාවන් ඔහුගේ හදවතේ අඳින්නේ ඇගේ රූපයයි. එය සිහින රේඛාවක් බඳුය. ඒ සිහින රේඛාව ආදරයේ කෝඩුකාර මිහිර ඔහුගේ හදවතෙහි තැන්පත් කරයි. සියුම් මිහිරකින් හදවත පුරවාලයි.

මේ ආදර රේඛාවන් මද ඇගේ අක්බමරු (පොකුටු) කේශකලාපය ඔහුගේ දෑසෙහි සිතුවම් වෙයි. නිල් මහනෙල් පෙති බඳු දෑස, දෙතොල් අග මැවෙන ආදර සිනහව මේ සිහින රේඛා මත මැවී නොපෙනී යයි. හදවත පිරිමදින මටසිළුටු යෙදුම් භාවිතා කරමින් රචකයා මේ ආදර සිහිනය කැටයම් කරයි.

”වරලස අක්බමරුන් රැඳි රේඛා
දෙනෙතිහි නිලුපුල් මල් පෙති රේඛා
දෙතොලෙහි ආදර හස රැළි රේඛා
ඔබ රුව සිහිනෙන් හද ඇඳි රේඛා

චිරන්තන සාහිත්‍යය තුළ මුණගැසෙන ශබ්ද රසයෙන් පිරුණු යෙදුම් රචකයා භාවිත කරන ආකාරය තුළින් සුභාවිත ගීතයට චිරන්තන සාහිත්‍යයෙන් ලද හැකි ආභාසය මොනවට හෙළිපෙහෙළි කරනු ලබයි. එමනිසා ධර්මසිරි ගමගේ ශූරීන්ගේ ගී පද රචනා අංකුර ගීත රචකයින්ට මාහැඟි අත්පොත් බවට පත්වෙයි.

”නීල පළිඟු කැට නෙත් මිණි රේඛා
බාල චන්දනී නළලත රේඛා
ආල නුරාවෙන් බැඳ රන් රේඛා
සිහිනෙන් ඔබ රුව හද ඇඳි රේඛා”

ඔහුගේ සිහින කුමරියගේ දැස්වලින් නික්මෙන කාන්තිය නීල පළිඟුවක කාන්තිය හා සමානය. නළල අඩ සඳ බඳුය. අඩසඳ නළල යට සැඟවුණු නීල පළිඟු දෑස්වලින් විහිදෙන්නේ ආදරයේ කාන්තියයි. නාරි දේහයක සුන්දරත්වය වචනයෙන් වචනය කැටයම් කිරිමට රචකයා සමත් වෙයි. ළැම දෙපස රැඳුණු ගෝමර දුරට මවා පෙන්වන්නේ කෝමල රේඛාවන්ය. ඒ කෝමල රේඛාව ළං වනවිට ආදර රේඛාවක් බවට පත්වෙයි. ඒ ආදර රේඛාව ඔහුගේ ආත්මය පිරිමැද සුවපත් කරනු ලබයි.



කායික ස්පර්ශයට වඩා මානසික ස්පර්ශය ප්‍රබලය. ඒ ප්‍රබලත්වය සිහින රේඛා තුළින් රචකයා මනාව ස්පර්ශ කරයි. වචනවල ඇති ධ්වනි ශක්තීන් රසික හදවත් කිතිකවමින් හදවත නොරිදවා සිදුරු කරයි. ආදරයේ චමත්කාරයෙන් සහ නොනිහි සිසිලසකින් රසිකයා වෙළෙයි. පැටළෙයි.

නිර්මාණය සඳහා මීළඟ සාධාරණය ඉටුවන්නේ සංගීතය හා ගායනයෙනි. නන්දා මාලිනිය ගේ සිංහල ගැමි ස්වරය මුසු ආධ්‍යාත්මික කටහඬ මේ සංගීත කැටයම ඔස්සේ හදවත් දොවාගෙන ගලායයි. එය රසිකයා තුළ ජනිත කරන්නේ අමරණීය වූ මිහිරකි. එහි අන්තර්ගත නික්ලේශී භාවය නිසා ශ්‍රවණය කිරීමෙන් ඇතිවන ආධ්‍යාත්මික සුවය හා මිහිර අපරිමිතය.

මෙබඳු ඉපැරැණි නිර්මාණ අප අගය කරන්නේ සිංහල ගීතය මෙබඳු විය යුතු යැයි පරමාදර්ශ සැපයීමට නොවේ. සිංහල ගීතය මේ සීමාවන් සමතික්‍රමණය කළ යුතුය. සමතික්‍රමණය කිරීම යනු අවරට යාම නොව මීට වඩා ඉදිරියට යාමයි.

අවාසනාවට එබඳු පසුබිමක් තාමත් නිර්මාණය වී නොමැත. මහාචාර්ය සුනිල් ආරියරත්නයන් පවා මෑතදී පුවත්පතකට පවසා තිබුණේ පවතින තත්ත්වය මත තමාට ගීත ලිවීමට උදාසීන බවක් හටගෙන ඇති බවයි. ඒ ගැන එතුමන්ට දොසක් කීමට දිව නොනැමෙන්නේ පමණටත් වඩා සේවාවක් එතුමන් සිංහල ගීතය වෙනුවෙන් කර ඇති බැවිනි. එහෙත්,

”මට මහලු වයසේ
බැරිය වෙණ ගායනා පෙර සේ”

වැනි මානසිකත්වයකට පත් වේ නම් එය එතුමන්ට තරම් නොවන බව සිහිපත් කර සිටිමි.

කුලරත්න ආරියවංශ, කුමාරදාස සපුතන්ත්‍රී, සුනිල් සරත් පෙරේරා, අජන්තා රණසිංහ ආදීහු ද තාමත් ජීවත්ව සිටිති. ජීවිතයේ සැඳෑසමය එළඹෙද්දී ආදර හැඟුම් වියළී ගියාද? නැතිනම් ඔබතුමන්ලා සිටින්නේ කලකිරීමෙන් ද? එහෙත් ඔබලා ගොඩනැඟූ අගනා ගේය පද සාහිත්‍ය ගරා වැටෙනු කඩාවැටෙනු බලා සිටින්නට අපට නම් නොහැකි බව අවසානයේ මම සිහිපත් කරමි. අතින් කා හරක් බලමින් හෝ මේ අගනා සාහිත්‍යය රැකගැනීමට එක්වන ලෙසට සිංහල ගීතයට හිතකාමීන්ට ආයාචනය කරමින් නවතිමි.

ධම්මික බණ්ඩාර - Silumina