Pages

Saturday, January 21, 2012

මල්තුහින වැස්‌සට තෙමුණ අපේ පුංචි එංගලන්තය

බැලූ බැල්මට ඇසට ප්‍රිය දසුනක්‌ වුවත් නුවරඑළියේ ගොවි සිත් හැඬ වූ "මල්තුහින" පසුගිය දිනවල කතාබහට තුඩු දුන් ස්‌වාභාවික සන්සිද්ධියකි.

පසුගිය 16 වැනිදා හිමිදිරියේ නුවරඑළියේ උෂ්ණත්වය සෙල්සියස්‌ අංශක 2.6 දක්‌වා පහත වැටිණි. නුවරඑළියේ උෂ්ණත්වය 1929 ජනවාරි 14 වැනිදා එනම් මීට වසර 83 කට පෙර සෙල්සියස්‌ අංශක සෘණ 2.6 ක්‌ දක්‌වා පහත වැටී තිබිණි. එදා මුළුÊනුවරඑළියටම අයිස්‌ වැටෙන්නට ඇත. පසුගිය 16 වැනිදා ද නුවරඑළියේ ස්‌ථාන රැසකට සුදු පැහැති පුළුන් මෙන් මල්තුහින නැතහොත් බිම් තුහින (හිම මෙන්) පතිත වී තිබිණි. එළවලු හා මල් වගාවට මල්තුහින පතිත වීම ඒවායෙහි විනාශයට හේතුවකි. විශේෂයෙන්ම ගෝවා මල් මත මෙම මල්තුහින පතිතවීමෙන් එම වගාව කුණුවී විනාශ වනු ඇත. වසරේ වැඩි කාලයක්‌ සීතලෙන් පීඩාවිඳින නුවරඑළිය ගොවි පවුල් මල්තුහින පතිත වන කාලයේදී කබලෙන් ළිපට වැටෙනු ඇත.

එහෙත් සංචාරක කර්මාන්තයට නම් මේ කාලය ආශීර්වාදයකි. මේ දිනවල නුවරඑළියේ ගොල්ෆ් ක්‍රීඩා පිටිය, ග්‍රෙගරි වැව අවට දෙස්‌ විදෙස්‌ සංචාරකයින් පිරිගොස්‌ ඇත. ඒ හිමිදිරියේ බිම්මත පතිත වන මල්තුහින දැක බලා ගැනීමටය. එය එතරම් ඇසට ප්‍රිය දසුනකි.

මේ දිනවල පවතින දැඩි සීතලට හේතුව කුමක්‌ දැයි අපි කාලගුණ විද්‍යාඥ අනුෂා වර්ණසූරිය මහත්මිය ගෙන් විමසුවෙමු.

ශ්‍රී ලංකාවට මේ දිනවල සුළං හමා එන්නේ ඉන්දියාව හරහායි. ඉන්දියාවේ අධික සීතල කාලගුණික තත්ත්වයක්‌ පවතිනවා. ඒ නිසා ශ්‍රී ලංකාවට දැනෙන සීතල වැඩියි. තවත් හේතුවක්‌ තියෙනවා. අපේ රටේ ප්‍රදේශ ගණනාවක රාත්‍රී කාලයේ අහස වළාකුළුවලින් තොරයි. මේ නිසා මහ පොළව වඩාත් සීතල වෙනවා. තව ටික දවසක්‌ මේ සීතල පවතීවි. අහසේ වැහි වළාකුළු එක්‌ රැස්‌ වෙද්දී අධික සීතල අඩුවේවි. රාත්‍රී කාලය විශේෂයෙන්ම අලුයම සීතල වුවත් දිවා කාලයේ අහස වළාකුළු රහිත නිසා හිරු රැස්‌ කෙළින්ම මහපොළවට පතිත වෙනවා. මේ නිසා දහවල දැඩි උණුසුම් බවක්‌ පවතිනවා. හිරු රැස්‌ සෘජුවම පතිත වන නිසා දිවා කාලයේ ගමන් බිමන් යැමේදී හිරු ආවරණයක්‌ (කුඩයක්‌ වැනි දැ) භාවිතය හිතකරයි. ඇය කීවාය.

වසර 91 කට පසු කොළඹ දිස්‌ත්‍රික්‌කයට ද පසුගිය මාසයේ දිනක වැඩිම සීතලක්‌ දැනුණි. සාමාන්‍යයෙන් සෙල්සියස්‌ අංශක 32 ක්‌ පමණ වන කොළඹ උෂ්ණත්වය පසුගිය මස 28 වැනිදා සෙල්සියස්‌ අංශක 18.2 ක්‌ දක්‌වා පහත වැටිණි.

ශ්‍රී ලංකාවට පමණක්‌ නොව ලෝකයේ රටවල් රැසක්‌ දැඩි සීතල හේතුවෙන් මේ කාලයේ විවිධ දුෂ්කරතාවලට මුහුණ දෙමින් සිටී.විශේෂයෙන්ම මහා මාර්ග මතහිම පතිත වීම නිසා දෛනික කටයුතු අඩාලව ඇත. දුම්රිය ගමන්, ගුවන් ගමන් නවතා දැමීමට තරම් අධික සීතල සමග එන හිම පතනයට හැකිවී තිබේ. පුංචි දරුවන්ට පෙම්වතුන්ට නම් හිම හා සීතල විනෝදාස්‌වාදයකි. මෙම අධික සීතල දරු පිළිසිඳගැනිම් බහුල කරවීමට ද හේතුවන බව වෛද්‍යවරු පවසති.

එහෙත් දැඩි සීතල වයසක උදවියට නම් හිතකර නොවේ. ඔවුන්ගේ වාත, සෙම් රෝග, උත්සන්න කරවීමට මේ සීතල හේතුවකි. ළමා, තරුණ, වැඩිහිටි පිරිසකගේද සෙම් රෝග බහුල කරවීමට සීතල සමත් වේ. විටෙත ඇසට ප්‍රිය දසුනක්‌ද තවත් විටෙක හිම මත ක්‍රීඩා කරන පිරිසට හා ඒවා නරඹන පිරිසට විනෝදාස්‌වාදයක්‌ ද ගෙන දෙන අධික සීතල පෙම්වතුන්ට ආශීර්වාදයකි. ඉන්දියාව වැනි රටවල යාචක දුගී මගීSන්ට මරු කැඳවන මෙම සීතල කාලගුණික තත්ත්වය එක්‌ අතකින් ස්‌වභාවික ආපදාවකි. සීතලෙන් පීඩා විඳින පිරිස එම ආපදාවෙන් විපතට පත්වනු ඇත.

තුෂාරී කළුබෝවිල - Sunday Divaina