Pages

Saturday, January 21, 2012

දේශීය සිනමාවේ හැටපස්‌ වැනි ජන්ම දිනය නිමිත්තෙන් තිරයට එන කුස පබා

මහාචාර්ය සුනිල් ආරියරත්නයන් අධ්‍යක්‍ෂණය කළ "කුස පබා" චිත්‍රපටය දේශීය සිනමාවේ හැටපස්‌ වැනි ජන්ම දිනය නිමිත්තෙන් මෙම 21 දා (හෙට) පෙරවරු 9.00 ට තිරගත කෙරේ.

ජනාධිපති ආර්යා ශිරන්ති වික්‍රමසිංහ රාජපක්‍ෂ මහත්මියගේ ප්‍රධානත්වයෙන් ජාතික චිත්‍රපට සංස්‌ථාවේ රිද්ම ශාලාවේදී මෙම විශේෂ දර්ශනය පැවැත්වේ. සිනමාවට සම්බන්ධ සියලුම ශිල්පීන් සහ මැති ඇමැතිවරු හෙට 'කුස පබා' නැරඹීමට සහභාගි වෙති. 26 වනදා සිට ප්‍රේක්‍ෂකයන් සඳහා ඊ.ඒ.පී. මණ්‌ඩලයේ සිනමා ශාලාවල තිරගත වන මෙම චිත්‍රපටයේ පිටපත් 51 ක්‌ එකවර ප්‍රදර්ශනය වීම සිංහල සිනමාවේ ඓතිහාසික සිදුවීමකි. මෙහි රංගනයෙන් ජැක්‌සන් ඇන්තනි, පූජා උමාශංකර්, රවීන්ද්‍ර රන්දෙනිය, චාන්දනී සෙනෙවිරත්න ඇතුළු නළු නිළි පිරිසක්‌ දායක වී ඇත. මෙම චිත්‍රපටිය රුපියල් ලක්‌ෂ 850ක්‌ වැයකොට නිමවා ඇත.
"කුස-පබා" චිත්‍රපටයට පාදක වී ඇත්තේ පන්සිය පණස්‌ ජාතක පොතෙහි එන 523 වැනි ජාතක කතාවයි. "ජාතක" යනු මහබෝසතුන්ගේ පෙර ආත්ම භාවයන් පිළිබඳ කතාන්තරය. ඒවා බුදුන් වහන්සේ විසින් දේශිත කතා බව සාම්ප්‍රදායික විශ්වාසයයි. එහෙත් ඇතැම් ජාතක කතාවලට සමාන පුවත් ග්‍රීක සාහිත්‍යයේද, අරාබි සාහිත්‍යයේද, යුරෝපීය සුරංගනා කතා අතරද දක්‌නා ලැබේ. පුරාණ ඉන්දීය ජන සමාජයේ නිර්මාණය වූ ජාතක කතා, ලංකාවට පැමිණියේ මහින්දාගමනයත් සමගය. ඒවා රට තුළ අතිශය ජනප්‍රියත්වයට පත් වූයේය. එයින් බිතු සිතුවම් නිර්මාණය විය. ගද්‍ය පද්‍ය කෘති නිර්මාණය විය.

කුස ජාතකය වනාහි පන්සිය පනස්‌ ගණනක්‌ වූ ජාතක කතා අතුරින් අතිශය ජනප්‍රියත්වයට පත් ජාතක කතා කිහිපයෙන් එකකි. ක්‍රි.ව. 13 වන සියවසේ දී කුස ජාතකය පාදක කරගෙන දෙවැනි පරාක්‍රමබාහු රජු "කව් සිළුමිණ" නම් මහා කාව්‍යයක්‌ රචනා කළේය. ක්‍රි.ව. 17 වැනි සියවසේ දී අලගියවන්න මුකවෙටිතුමා "කුස ජාතක කාව්‍යය" නම් කාව්‍යයක්‌ රචනා කළේය. 1870 දී ජෝන් මර්තීනුස්‌ පවුලස්‌ පීරිස්‌ සමරසිංහ ශ්‍රී වර්ධන නමැති නාට්‍ය රචකයා "කුස නාඩගම" නමැති නාඩගම් කෘතිය රචනා කළේය. 1917 දී නීතිඥ ජෝන් ද සිල්වා "කුස ජාතක දෘශ්‍ය කාව්‍යය" නම්වූ නූර්ති නාටකය රචනා කළේය. 1952 දී මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර "පබාවතී" නම් වූ සංවාද නාටකය රචනා කළේය. 2500 සම්බුද්ධ ජයන්තිය වෙනුවෙන් සීමාසහිත සිනමාස්‌ සමාගමෙහි අධිපති කේ. ගුණරත්නම් මහතා කුස ජාතකය චිත්‍රපටගත කරන්නට මූලික සැලසුම් සකස්‌ කළේය. එහි තිර නාටකය රචනා කිරීමට නියමිතව සිටියේ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ය. අද අප "කුස-පබා" නමින් සිනමාවේ දිග හැරෙන්නේ ඒ සා දීර්ඝ අතීතයක්‌ ඇත්තා වූද යුගයෙන් යුගය විවිධ මාධ්‍යවලින් ප්‍රකාශයට පත්වූවා වූද කුස ජාතකයයි.

මහාචාර්ය සුනිල් ආරියරත්න
"කුස-පබා" ගැන අදහස්‌ දක්‌වමින්. Courtesy - Divaina