Pages

Wednesday, January 12, 2011

වීනස් දෙව්දුව ඔබ හා සිනාසීමට බලා සිටී...

ඔබ ජීවිතයේ ගෙවූ කාලය ඇතුළත අහස කොතරම් වාරයක් ඔබ ව චමත්කාරයට පත්කර තිබේ ද? අහස පුරා තරු පිරි රැයක් ඔබ ව කෙතරම් ප්‍රහර්ෂයට පත් කර තිබේද? රාත්‍රි අහස දෙස නිසල ව බලා සිට නිරාමිස පී‍්‍රතියක් අත්විඳි අවස්ථා ඔබට තිබේද? රත්න ශි‍්‍ර විජේසිංහයන් සඳ තරු මතු නොව සඳ එළිය වැටී දිලිහෙන වැව් තලයේ අසිරියද, මල් පිපීමේ ආශ්චර්යය ද විඳිනට තම දියණියට ඇරැයුම් කරනා මේ ගීතය සොබාදහමේ සජීවි භාවය අනාගත පරපුරට දායාද කරන්නකි.
මගෙ දුවේ ඔබ අවදියෙන් නම්
මේ රැයේ මිහිරි ම වෙලාවයි
දොර ඇරන් එළියට ආවොතින්
මේ මිහිරි දේවල් ඔබටමයි



සේපාලිකා මල් බිමට බැහැලා
ඇවිදින්න යන වෙලාවයි
නිල් තාරකා බිම බලාගෙන
වැව් දියට පෙම් බැඳී වෙලාවයි
මේ පොළව කොයිතරම් සුන්දර ද
මගෙ දූ තනියම හිනාවෙයි...



පියකුට තම දියණියට දිය හැකි උසස් ම සම්පත මේ පියා තම දියණියට දී තිබේ. ඒ අපරිමිත වූ සොබාදම් සෞන්දර්යය විඳිනට උගැන්වීමයි. මේ සීතල දුරුත්තේ හිමිදිරි උදෑසනින් නැඟිට අහස දෙස බලන්නට ඔබට හැකි වූවාද? දසතින් හමා එන සීත සුළං රැළිවල සුවය විඳිමින් ම මොහොතකට අහස දෙස බලන්න. අහසේ සිටිනා සුරූපී දෙවඟනක් සිය දීප්තිය අඩු වැඩි කරමින් ඔබ දෙස බලමින් සුන්දර ව හිනැහෙන අයුරු ඔබට දැකගත හැකි ය. රත්න ශි‍්‍ර නම් කවියා කීවේ ‘නිල් තාරකා බිම බලාගෙන වැව්දියට පෙම් බඳිනා’ බවයි.
තාරකා වැව්දියට පෙම් බඳින්නේ තාරකාවන්හි සුන්දරත්වය රැය පුරා විඳින්නේත්, එහි චමත්කාරය වැව් දියට උරා ගන්නේත් වැව් දිය බැවිනි. වැවට පමණක් ඒ අසිරිය විඳිනට ඉඩ දෙන්නේ කුමකට ද? ඒ රසඳුන විඳිනට ඔබේ දෙනෙතට ද මොහොතකට ඉඩ දෙන්න. අහසේ සිට උදෑසන ඔබේ සිත මන්මත් කරනා ඒ සුරූපි දෙවඟන කවරෙක්ද? ඇය පහන් තරුව හෙවත් උදා තරුවයි. දහවල තරු දැකීම භයානක වුවත් ඉර උදාවීමෙන් අනතුරුවද සුළු වේලාවක් දීප්තිමත් ව දිස්වෙන මේ තරුව දැකීම නම් භයානක නැත.
සුන්දර තරුවක ආරම්භය සනිටුහන් කරමින් පායා එන උදා තරුව දවසේ නිමාව ද සුන්දර ව අවසන් කෙරුමට ඉරබටතරුව නමින් අහසේ දිස්වෙන අවස්ථා ඔබ දැක ඇතිවාට සැක නැත. වීනස් නම් සුරූපි දෙවඟන නමින් හඳුන්වන පහන්තරුව හෙවත් ඉරබටු තරුව නමින් අප හදවත්හි ලැගුම්ගෙන සිටින මේ තාරකාව සිකුරු ග්‍රහයායි. දුර දක්නයකින් බැලුවහොත් ඉතා සුන්දර අඩ සඳක් සේ දිස්වෙන සිකුරු හෙවත් පහන්තරුව මේ දිනවල ඔබේ සිත දැහැන්ගත කරවනු නොඅනුමාන ය.
ඉතා දීප්තිමත් තරුවක් මෙන් හිරු බැස යන සැඳෑවේත් හිරු නැඟ එන හිමිදිරියේත් අපට දිස්වෙන සිකුරුට තමා සතු අලෝකයක් නොමැත. එය අඳුරු ග්‍රහලෝකයකි. හිරු එළිය ඒ මත වැටී පරාවර්තනය වීම නිසා සිකුරු බැබළේ. සිකුරු තරුව සාහිත්‍ය ක්‍ෂෙත්‍රයේදී ඕෂධී තාරකාව ලෙස හැඳින්වෙයි. අපට දිස්වෙන දහසකුත් තාරකා අතරින් සුරූපී ම තාරකාව පහන් තරුව හෙවත් ඉරබටු තරුවයි.
වෝල්ටි විට්මන් නම් ඇමැරිකානු කවියාගේ ’Adventures in Poetry’ කෘතියේ තාරකා විද්‍යාව හදාරන සිසුවකු ගුරුවරයාගේ දේශනයෙන් හෙම්බත් ව දේශන ශාලාවෙන් පිටතට පැමිණ නිදහස් අහස්කුස දෙස බැලීමෙන් ලද ආස්වාදය පිළිබඳ මෙසේ සටහන් කරයි.


උගත් විදු තරු ඇදුරු දෙසුමට
මගේ දෙසවන යොමු කෙරෙද්දී
ඉලක්කම් හා අකුරු පොත් පිටු
මා ඉදිරියේ දිග හැරෙද්දී
දෙසුම හරබර අසා ඉද්දී
නිමේෂයකින් සිත ගිලන් වී
වෙහෙස වීය මා නොසිතූ පරිදි
නැඟිට අසුනෙන් පිය නඟා මම
හෙමින් පිටතට ගොස් ඇවිද්දෙමි
අබිරහස් තෙත බරිත වූ රෑ
සුළං රොඳ විඳ විඳ විටින් විට
තාරකා දෙස බලා සිටියෙමි
අවට පිරිපුන් නිසල බව මැද...



කවියා දේශනයට සවන් දීමෙන් හෙම්බත් ව තාරකාවන්හි සුන්දරත්වය නිසල ව විඳිනට ශාලාවෙන් පිටතට එයි. අහස ගුප්ත ය, සොඳුරු ය. පියවි ඇසින් දකිනා තාරකා කෙතරම් චමත්කාරජනකද? වෝල්ට් විට්මන් මෙන් ම තරුවල ඇති අසීමිත සෞන්දර්යය විඳි රත්න ශ්‍රීත් තම දියණියට අමතමින් ලොව සියලු දරුවන්ට සොබාදහමේ චමත්කාරයෙන් දැහැන්ගත වීමේ අපූර්වත්වය කියා දෙයි.
මනරම් අහසේ සොඳුරු නිමැවුම විටෙක නොදැනුවත්ව ම සිත පාළුවෙන්, කාන්සියෙන් පුරවා දමයි. පහන් තරුව හිමිදිරි උදෑසන ජීවයෙන් පිරී ප්‍රබෝධවත් ව, කාන්තිමත් ව දිලිසෙද්දී එය ම සැදෑ සමයේ ඉරබටුතරුව වී පාළුව කාන්සිය සිතට දනවයි. එය ප්‍රණීත් අබේසුන්දරයන්ගේ පද රචනයක් ලෙසින් අසංක පි‍්‍රයමන්ත පීරිස් ගේ් හඬින් හුදෙකලාවේ රසය දනවමින් හදවතේ නින්නාද වේ.


ඈත වන පෙතේ
දුර සීත කඳු මතින්
ඉරබටු තරුවේ සිනා
දුක හිතෙනා සැන්දෑවක
කවුරුද මට සිහිවෙන්නේ...



මේ දුරුත්තේ සීත සුළං රැළි පහස ලබමින් අහසේ දිස්වෙන පහන් තරුවේ චමත්කාරය ඔබ තවමත් නොවින්ඳේ නම් පමා නොවී ඒ මනරම් දසුනෙන් නෙත සිත පහන් කරගන්න. හිමිදිරි අහස් ගැබ වීනස් දෙවඟනගේ මනරම් දසුන ද රැගෙන ඔබ ඇය හා සුන්දර ව සිනාසෙන තෙක් මඟ බලා සිටී.