Pages

Monday, January 31, 2011

ඇයිදෝ වෙනස්‌ වුණේ - මහදේ වේදනා මවා

මාගේ අතීත දිවියේ
සැමරුම් මැකී මැකී
කුමරී ඔබේ සිනාවේ
කොහේදෝ මුළාවී

මාගේ කුමාර කාලේ
සෙනෙහේ අතීතයේ
පෑයූ සුපුන් සඳක්‌ වාගේ
අප්සරාවියේ
ඇයිදෝ වෙනස්‌ වුනේ මහදේ
වේදනා මවා

අපගේ පැතුම් විමානේ
වෙන්වීලා එක්‌වුණේ
භවයෙන් භවේ පැතූ අපගේ
ආදරේ නිසා
කාලය ළඟා වුණේ ආයේ
වේදනා නිවා

පද රචනය - සනත් ගුණතිලක
ගායනය - මිල්ටන් මල්ලවආරච්චි
තනු නිර්මාණය - ගේ්‍රෂන් ආනන්ද

ආදරය කරන අයට වගේම ආදරයෙන් පැරදුණු අයටත් ඒ ආදරයේ අතීත සිහිවටන බොහෝ සේ වටිනවා. සමහරු ප්‍රේමනීය සැමරුම් ආවර්ජනය කරමින් සතුටු වෙනවා. ඒ පෙම්වතුන්.. ඒත් සමහරු ගෙවී ගිය අතීතය මෙනෙහි කරමින් හදවතින් හඬා වැටෙනවා...... ඒ විරහවේ වේදනා විඳිමිනි.

විරහව ගැන, වියෝව ගැන අනන්තවත් ගීත අපි රසවිඳිනවා. ඒත්....... විරහ වූවන් යළිත් එකට එක්‌වන අවස්‌ථාවත් තියෙනවා. ඒ ගැනත් ගී ලියෑවෙනවා නම්.......

මාගේ අතීත දිවියේ
සැමරුම් මැකී මැකී
කුමරී ඔබේ සිනාවේ
කොහේදො මුළාවී...

මේ පෙම්වතාගේ අතීත සිහිවටන මැකී ගිහින්...... ඇයගේ සිනාවට ඔහු මුලාවෙලා......

සනත් ගුණතිලක.. ප්‍රවීණ රංගන ශිල්පියා, පරාජිත පෙම්වතා.... ලියූ පළමු ගීය..... හදවතින්ම ගොනු වූ පද පෙළක්‌...... ගැයුවේත් යොවුන් වියේ පසුවන්නන්ගේ ආදරය දිනාගත් මිල්ටන් මල්ලවආරච්චි.

මිල්ටන්ගේ ගීතවලට මම තදබල ලෙස ඇලුම් කළා..... "අවසර නැත මට" සිහිනෙන් ඔබ මට... වැනි විරහව ගැන ගැයෙන ගීතවලට අමතරව දෙදෙනකු විරසක වී යළි එක්‌වන කතාවක්‌ ගයන්න..... කියලා මම දවසක්‌ මිල්ටන්ගෙන් ඉල්ලීමක්‌ කළා. ඒ ආනන්ද ගනේගොඩගේ නිවසේ පිරිතකදී...... "එහෙම නම් මල්ලි ඔයාම සිsංදුවක්‌ ලියන්න" කිව්වා. "මම කොහොමද සිංදු ලියන්නේ.." කියා මම ප්‍රතික්‍ෂේප කළා. දින ගණනකට පස්‌සේ මිල්ටන්ගේ අලුත් කැසට්‌පටය කරද්දී මට ගෙදර එන්න කියලා පණිවුඩයක්‌ එව්වා. මම යද්දී කුලරත්න ආරියවංශත් හිටියා. ග්‍රේෂන් හදපු මියුසික්‌ එක දාලා ඒකට පදමාලාවක්‌ ලියන්න කියලා මට කිව්වා. මට හරිම ගැටලුවක්‌.. කුලරත්න ගිහින් ඒ ගැන මහාචාර්ය සුනිල් ආරියරත්නට කියලා.... ආ..... කවද ඉඳලද සිංදු ලියන්නේ කියලා ඒ වෙලාවේම ආරියරත්න මහත්තය මට දුරකථනයෙන් කතා කරලා ඇහුවා. මම සිංදුව ලියන්න බැහැම කිව්වා. මිල්ටන් මාව ඇදගෙන ගිහිං කාමරයකට දාලා වහලා යතුර ගත්තා. උඹ සිංදුව ලියලා එළියට වරෙං කිව්වා."

කොහොමහරි ඉතිං සිංදුව ලියෑවුණා.

මාගේ කුමාර කාලේ
සෙනෙහේ අතීතයේ
පෑයූ සුපුන් සඳක්‌ වාගේ
අප්සරාවියේ
ඇයිදෝ වෙනස්‌ වුණේ මහදේ
වේදනා මවා..."

ඔහුගේ නාඹර තරුණ අවධිය..... ආදරයෙන් බැදුණු කාලය.... ඇයව දුටුවේ පෑයූ පූර්ණ චන්ද්‍රයා වාගේ..... ඒත් හදවතට වේදනා එක්‌කරමින් වෙනස්‌ වුණේ ඇයි..........

ආදරයෙන් හැබෑවටම පැරදුණු පෙම්වතෙකුට ඉතා අපූරුවට මෙවැනි පදවැල් ගොතන්න පුළුවන්.. මේ සනත් ගුණතිලකගේ මෑත කාලීන ප්‍රේමය බිඳවැටීමේ අත්දැකීමක්‌ නොවේ. අනූව දශකයට පෙර සිදුවූ සිද්ධියක්‌ ගැන ලියවූවක්‌....... ඒ කියන්නේ විරාගයට පෙර........

ඇත්ත ... මේ වචන මගේ ජීවිතයේ සත්‍යතාවයට බොහෝම සමීපයි. උපකල්පනය කරලා ලියන ගීයකට වඩා අත්දුටු විරහවක්‌ ගැන ලියද්දී හදවතින්ම වදන් පෙළ ගැස්‌වෙනවා.... මේක මගේ පුද්ගලික අත්දැකීමක්‌.......

අපගේ පැතුම් විමානේ
වෙන්වීලා එක්‌වුණේ...
භවයෙන් භවේ පැතූ අපගේ
ආදරේ නිසා
කාලය ළඟා වුණේ ආයේ
වේදනා නිවා...

මේ පෙම්වතා වැඩි කාලයක්‌ විරහ වේදනා විඳින්නේ නැහැ. දෙදෙනා යළි එක්‌වෙනවා. ඒක සංසාරයෙන් සංසාරෙට එන බැඳීමක්‌ වෙන්න ඇති....... මේ දෙදෙනාගේ ආදරය භවයෙන් භවයට පැතූ ආදරයක්‌.. දැන් ඔහුට වේදනාවක්‌ නැහැ. ඇය යළි ආදර ලෝකයට ආවා.. හදවතේ ඇවිලුනු විරහ ගින්න නිවී ගියා.

ප්‍රේමය බිඳී ගියාම සමහර පෙම්වතුන්, පෙම්වතියන් ජීවිතයෙන් පළා යන්න උත්සාහ කරනවා...... ඒත් බිඳී ගිය ප්‍රේමයක්‌ යළි පෑහෙන්නත් ඉඩකඩ තියෙනවා.

ගීතයේ රචකයාට නම් ඒ අත්දැකීම ලැබී ඇත්දැයි යන්න සැකයක්‌. ඒ ඇයගේ ලෙන්ගතුකමේ සුවඳ විඳිමින් ඔහු තවමත් තනිකඩව සිටින නිසා.


Sunday Divaina - අජිත් අලහකෝන්