Pages

Sunday, January 23, 2011

පුංචි පුතුනි බලා ගන්න මගේ නෙළුම් මල


ඈ මගේ නෙළුම් මල
රොන් සුවඳ බෙදා දෙන
වන්නි ගම් දොරක පීදෙන
පුංචි පැටව්නට

හේනට එන ගිරවුන්ගෙන්
අකුරු ඉගෙන ගෙන
අහසේ තරු ගණන් කරන
ගල්කැට ඇහිඳින
පුංචි පුතුනි බලාගන්න මගේ නෙළුම් මල

ඉල්මාසේ වැහි එනතුරු
නියගෙට වේලෙන
නෙළුම්මලට මල්යායට සීතල අරගෙන
වැවක් වෙන්න ඉඩ දෙනවද හීනෙන්වත් මට


ගී පද – රත්න ශ්‍රී විජේසිංහ
තනුව - එච්. එම්. ජයවර්ධන
ගායනය – ගුණදාස කපුගේ
සෑම කවියක් ම ගීයක් නොවේ. එහෙත් සාර්ථක ගීයක් තුළ සාර්ථක කවියක් පවතී. කාව්‍යක්කාරයන්ගේ ගේය පද රචනාවෙහි මේ කවිතා ගුණය, බහුල ව දැකිය හැකි ය. රත්න ශ්‍රී විජේසිංහයන් කාව්‍යකාරයකු බැවින් ඔහුගේ ගේය පද තුළ මේ කවිතා ගුණ බාහුල්‍යය ප්‍රදර්ශනය වන අවස්ථා එමට ය. ගුණදාස කපුගේ ගයන මේ ගීතය ඒ සඳහා මනා නිදර්ශනයක් ම ය.
මට ඈත වන්නියේ කුඩා පාසලක් සිහිවේ. ඒ පාසලේ කොට්ටම්බා ගසක් යට පුංචි දරුවන් වටකරගෙන උගන්වන ඔසරියකින් සැරසුණු තරුණ ගුරුවරියක් මා ඉදිරියේ සිටියි.
සැබැවින් ම ඇය මගේ නොවුණත් නෙළුම් මලකි. මඩ කලල මත බොහෝකල් දුක්විඳ ගුරු සේවයට පිවිසි සුවඳ විහිඳුවන නෙළුම් මලකි. මේ නෙළුමට පෙම්බැඳි හංසයකු කොහේ හෝ සිටිය හැකි ය. ඇතැම්විට ඔහු ළඟ පාතක නොව දුර ඈතක සිටිනවා විය යුතුය. රත්න ශ්‍රී සමීප වන්නේ ඒ දුර ඈත සිටින නෙළුම්මලට පෙම්බැඳි සිතක මනෝභාවයන් වෙත ය. සමාජ ආර්ථික දේශපාලන පසුබිම මත දෙපයෙන් සිටගෙන රත්න ශ්‍රී විජේසිංහයෝ ඒ මනෝභාවයන් ස්පර්ශ කරති.


”ඈ මගේ නෙළුම් මල

රොන් සුවඳ බෙදා දෙන
වන්නි ගම් දොරක පී දෙන
පුංචි පැටව්නට”


ඇය ඔහුට නෙළුම්මලක් වන්නේ රූප ශෝභාව නිසා පමණක් නොවේ. ඇය ජීවිතයේ බොහෝ දුක් වළඳා එහි ඵලයක් ලෙස ගුරුවෘත්තියට පිවිසි බැවිනි. ඇය දුප්පත් දරුවන්ට සතුටින් ශිල්පදානය දෙන බැවිනි. ඇගේ සුවඳින් දහසක් දිළිඳු දරුවන් සුවඳවත් වන බැවිනි.
කෙනකු තම රැකියාව උදෙසා පය නොතබන ශුෂ්ක, කටුක වන්නියට පය තබා ඇති බැවිනි. ඇගේ ප්‍රේමවන්තයා මේ ශුෂ්ක වන්නියෙන් ඈ මුදාගෙන තම ළඟට කැන්දා ගැනීමේ මානසිකත්වයක නොමැති ය.
තම ආදරණීය නෙළුම්මල වන්නිගම්දොර සුවඳවත් කරන ආකාරය දකිමින් ඔහු උද්දාමයට පත්වෙයි. “ඈ මගේ නෙළුම්මල” යනුවෙන් ඔහු පවසන්නේ වන්නිගම් දොර පුංචි දරුවන් වෙනුවෙන් ඈ කරන අපරිමිත මෙහෙවර වෙනුවෙන් ඇතිවූ උද්දාමය මුසු ආඩම්බරයකිනි.
”හේනට එන ගිරවුන්ගෙන්

අකුරු ඉගෙනගෙන
එච්. එම්. ජයවර්ධන
අහසේ තරු ගණන් කරන
ගල්කැට ඇහිඳින
පුංචි පුතුනි බලාගන්න මගේ නෙළුම් මල”



නෙළුම්මලට කරන නමස්කාරයට යටින් වර්තමාන අධ්‍යාපනයේ විෂමතාවයද රචකයා විසින් මතුකරනු ලබයි. බහුතරයක් වන්නි දරුවන්ට අධ්‍යාපනය ලබන්නට සිදුවන්නේ ස්වභාවධර්මයෙනි. ඔවුන් ගේ ගුරුවරු හේනට එන ගිරවු ය.
ගණිතය හැදෑරිය යුත්තේ තරු ගණන් කිරීමෙන් හෝ ගල්කැට අහුලමිනි. අධ්‍යාපනයේ යටිතල පහසුකම් බෙදීගොස් ඇත්තේ එලෙසිනි. මේ නෙළුම්මල පිපී ඇත්තේ එබඳු මරුකතරකයි. අව් වැසි සුළං ගොරතර වන සපුන්ගෙන් මෙන්ම ඒ හා සමාන විවිධාකාර සමාජ ගැටලුවලින් අවට පරිසරය පිරීපවතී. එබඳු පරිසරයක මේ නෙළුම් මල රැක ගැනීමේ වගකීම පුංචි පැටවුන්ට බාර දීම කොතරම් අපූරු කාව්‍යොක්තියක් ද?

”පුංචි පුතුනි බලාගන්න මගේ නෙළුම් මල”

ගුණදාස කපුගේ
තම ආදරවන්තිය කෙරෙහි පමණක් නොව මේ අහිංසක දරුවන් කෙරෙහිද රචකයා මවන, පෙම්වතා තුළ පවතින්නාවූ ළෙන්ගතුකම මෙයින් ප්‍රකටවේ. සැබැවින් ම මේ පෙම්වතා තුළ තම මානව දයාව ජීවත් කරවීමට රත්න ශි‍්‍ර විජේසිංහයෝ සමත් වෙති.


ඉල්මාසේ වැහි එනතුරු

නියඟෙට වේලෙන
නෙළුම් මලට මල් යායට
හීතල අරගෙන
වැවක් වෙන්න ඉඩදෙනවද
හීනෙන්වත් මට


නෙළුම්මල පමණක් නොව ඈ වටා ඇති පුංචි මල් යාය ම නියඟයට වේලෙයි. කිසිදු යටිතල පහසුකමක් භුක්ති නොවිඳින ගුරුවරුන් මෙන්ම දරුවන් මුණගැසෙන වන්නිකරය රචකයා යළි යළිත් සිහිපත් කරයි. ඒ පිළිබඳ කම්පාවක් නෙළුම්මලට පෙම් බඳින්නා තුළ පවතී. එහෙත් තම ආදරණීය නෙළුම්මල ඒ පරිසරයෙන් ඈත් කිරීමට උත්සාහ නොකරන කවියා ඇයව ඒ අහිංසක දරුවනට පුද කරයි. ඔවුන්ව රැකබලා ගැනීමට තමන්ට කළ හැකි දෙයක් නොමැති වීම පිළිබඳ ව ඔහු වේදනාවට පත්වෙයි.


”වැවක් වෙන්න ඉඩ දෙනවද

රත්න ශ්‍රී විජේසිංහ

හීනෙන්වත් මට”


යන යෙදුමන් තුළින් ඒ පසුතැවිල්ල මනාව සන්නිවේදනය කිරීමට රත්න ශ්‍රී විජේසිංහයෝ සමත් වෙති. මේ තරුණ ගුරුවරිය ගැන මෙන්ම ඇයගේ පෙම්වතා ගැන ද යම් සසල කිරීමක් රසිකයා තුළ ඉතිරි කරමින්, වන්නි ගම් දොර අකුරු කරන පුංචි පැටවුන් පිළිබඳව ද කම්පාවක් රචකයා රසිකයන් තුළ ඇති කරයි.
රත්න ශි‍්‍ර විජේසිංහයන්ගේ ප්‍රේම ගීවල දැකිය හැකි විශේෂත්වය වන්නේ ඔහු වාස්තවික සමාජය මත දෙපය තබාගෙන ප්‍රේම ගීත නිර්මාණය කිරීමයි. ඔහුගේ ඉපැරණි ගී පදමාලාවක් මට මෙහි දී සිහිපත් වෙයි.


කිළිපොලා සැලී යමින්

නොනිම් හීතලේ
තුරුළුවෙමි දෙනෙත් පියා
ඔබගෙ උණුසුමේ
ජීවිතය ඉතින් අපේ
හීනයක් නොවේ
හෙට උදේම අවදි වී
යා යුතුව තිබේ...


ප්‍රේමයට ජීවිතයේ කටුක යථාර්ථය සමඟ ද විටෙක මුසුවන්නට සිදුවේ. එහෙත් කලා කෘතියකදී ඒ කටුක යථාර්ථය රසයක් බවට පත් කළ හැකිවෙයි.
ගුණදාස කපුගේ සතු ඔහුගේ සැබෑ හඬ මේ ගීය පටිගත කරද්දී ඉතිරි වී තිබුණේ නම් මීටත් වඩා හදවත්වලට සමීප වීමේ හැකියාව මේ ගීය සතුව පවතින බව මගේ හැඟීමයි.
දුර ඈත වන්නියේ කුඩා පාසලක අකුරු උගන්වන තම පෙම්වතියගේ සුවදුක් විමසා ආපසු යන තරුණයකු මා ඉදිරියේ මැවෙයි. ඔහු පාසල් ගේට්ටුවෙන් පිටවී ආපසු හැරී පාසල දෙස බලයි. කුඩා දරුවන් වටකරගෙන සිටින ඇය ඔහුට සිනහවෙන් සංග්‍රහ කරයි. කුඩා දරුවෝ ඔහුට අත වනති.
”පුංචි පුතුනි බලාගන්න මගේ නෙළුම් මල” ඔහු තනි ව මුමුණයි.