Pages

Sunday, March 02, 2014

ෆේබුක්‌ අපේ රටේ නිර්මාණය කරන්නේ හදවත් නැති ලැප්ටොප් සමාජයක්‌..!

මහාචාර්ය දයා අමරසේකර විග්‍රහ කරයි

ෆේබුක්‌ සමාජ වෙබ් අඩවිය අද අපේ සමාජයේ විවාදාපන්න මාතෘකාවකි. ඒ එම වෙබ්අඩවිය හේතුවෙන් හට ගත්නා යෑයි කියන බිහිසුණු සිදුවීම් කිහිපයක්‌ නිසාය. ෆේබුක්‌ වෙබ් අඩවියේ වර්තමාන සමාජ කාර්ය භාරයත් ඒ හා බැඳුණු සමාජ සංස්‌කෘතික දේශපාලන කරුණු පිළිබඳවත් සමාජ විද්‍යාව පිළිබඳ මෙරට ප්‍රකට ගත් කතුවරයකු ප්‍රවීන දේශකයකු මෙන්ම ප්‍රාමාණික විද්වතෙකු ද වන පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අංශයේ මහාචාර්ය දයා අමරසේකරයන් සමග 'දිවයින ඉරිදා සංග්‍රහය' පැවැත්වූ සාකච්ඡාවකි මේ.

සන්නිවේදන මාධ්‍යයන්ගේ පැතිරීම අද සමාජයේ ප්‍රබල ලෙස ඉස්‌මතුව පේනවා. මෙම මාධ්‍ය භාවිතාව මෙතරම් ශීඝ්‍රයෙන් පැතිරී යැම ඔබ දකින්නේ කොහොමද?

මිනිස්‌ ශිෂ්ඨාචාරයේ ආරම්භයේ පටන්ම මිනිසා එකිනෙකා අතර අදහස්‌ හුවමාරු කර ගැනීමට විවිධ ක්‍රම යොදා ගත්තා. මිනිස්‌ පරිණාමයේ විකාශනයත් සමගයි මුද්‍රිත මාධ්‍යයත් විද්යුත් මාධ්‍යයත් සන්නිවේදනයට එක්‌වූයේ. මුලදී පුවත්පත සඟරාව ආදි මුද්‍රිත ක්‍රම විද්‍යාත්මක දියුණුවත් සමග ගුවන් විදුලි, අන්තර්ජාල වැනි විද්යුත් මාධ්‍ය දක්‌වා දියුණු වුණා. නමුත් අද පවතින සන්නිවේදන විප්ලවය අපිට හඳුනාගන්න පුළුවන් වෙනස්‌ විදියට. ඒක තමයි සමාජ මාධ්‍යයන්. ඒක මිනිස්‌ සන්නිවේදනයේ අලුත් ම නවීන ක්‍රමවේදය හැටියට ඉදිරියට ඇවිත්. ඇත්තටම සමාජ මාධ්‍යයන් කියන්නේ නව සංකල්පීය හා තාක්‍ෂණික ක්‍රමය මත පදනම්වෙලා නිර්මාණය කරගත්ත අන්තර්ජාලය මූලික කරගත් යෙදවුම් කාණ්‌ඩයක්‌ හැටියට හඳුනා ගන්න පුළුවන්. මේ සමාජ මාධ්‍ය, ජන කොටස්‌ අතර තොරතුරු, අදහස්‌, පෞද්ගලික පණිවුඩ, වීඩියෝ පට වැනි දෑ බෙදා හදා ගැනීමට අදාළ පුද්ගලයන් විසින් නිර්මාණය කරන ඉලෙක්‌ට්‍රොනික්‌ සන්නිවේදන මාධ්‍යයක්‌ හැටියටයි අද අපි දකින්නේ. අප මෙතෙක්‌ අසා තිබූ සන්නිවේදන මාධ්‍යයන්ට වඩා මේ සමාජ මාධ්‍ය (Social Media) වෙනස්‌ වන්නේ පුද්ගලයන් තමන්ගේ අදහස්‌ දර්ශනයන් අත්දැකීම් හා එකිනෙකාගේ ආකල්පයන් එකිනෙකා අතර බෙදා හදා ගැනීමට ඔන් ලයින් තාක්‍ෂණය හා බැඳී සිටීමත් මෙමගින් පැහැදිලිවම ප්‍රකට වන නිසයි. මෙහිදී පුද්ගලයන් අතර සන්නිවේදනය සිදුවන්නේ. පැහැදිලිවම ඇඉ 2.0 කියන අපට අලුත් ක්‍රමවේදය මත පදනම් වූ අන්තර්ජාලය තුළින්. ඉතින් මේක අපේ සමාජයට අලුත් සන්නිවේදන නිෂ්පාදිතයක්‌.

මේ සමාජ වෙබ් අඩවි අපේ රටේ පසුගිය කලේ පැතිරී යැම සිදුවුණේ කොහොමද?

අපේ රටට ආවේණික පළමු සමාජ මාධ්‍ය ලෙස සලකන්නේ "ලංකා වෙබ්" කියන වෙබ් අඩවියයි. අපේ රටේ තොරතුරු, සමාජ සංස්‌කෘතික කාරණා, තාක්‍ෂණික දැනුම එකිනෙකා අතර බෙදාහදා ගැනීමට වේදිකාව සපයන්නක්‌ හැටියටයි මෙය හඳුන්වා තිබෙන්නේ. ඒත් මෙයට වඩා අද අපේ රටේ ප්‍රචලිත වී ඇති සමාජ මාධ්‍යයක්‌ වන්නේ ජාත්‍යන්තරව පවතින Face book, youtube, Tweeter, Linkedin වැනි සමාජ මාධ්‍යයන්, මේවායින්ද අපේ රටේ වැඩිපුරම භාවිත වන සමාජ මාධ්‍ය තමා ෆේබුක්‌. අපේ රටේ 2012 අවසානය වනවිට සිටි මුළු ජනගහනය වන 21,481,334 න් අන්තර්ජාලය පරිහරණය කරන පිරිස 3,222,200 ක්‌ බව සොයාගෙන තිබෙනවා. මේ පිරිස 15% ක්‌ තරම් සුළු ප්‍රමාණයක්‌ වුණත් එම අන්තර්ජාලය පරිහරණය කරන පිරිසෙන් 47.06% ක්‌ තරම් විශාල පිරිසක්‌ ෆේබුක්‌ පාවිච්චි කරන්නන් බවත් සමීක්‍ෂණවලින් පැහැදිලි කර තිබෙනවා. ඒ වගේම මේ ෆේබුක්‌ පරිශීලකයන්ගෙන් 32% ක්‌ වැනි විශාල පිරිසක්‌ අවුරුදු 18-24 වයස්‌ කාණ්‌ඩයේ අය වීමත් විශේෂ දෙයක්‌. 32% ක්‌ අවුරුදු 25 - 34 වයස කාණ්‌ඩයට අයත් බවත් සමීක්‍ෂණ වාර්තා කියනවා. මෙයින් ශ්‍රී ලංකාවේ වඩා ප්‍රචලිත සමාජ මාධ්‍යය ෆේබුක්‌ බවත් එහි අති විශාල තරුණ නියෝජනයක්‌ ඇති බවත් පැහැදිලිවම පෙනී යනවා.
ෆේබුක සමාජ වෙබ් අඩවියට අද ලොව පුරා විශාල ආකර්ෂණයක්‌ තිබෙනවා. ලංකාවේ මේ ආකර්ෂණය සිදුවීම ඔබ සමාජ විද්‍යාත්මකව දකින්නේ කොහොමද?

මෙතැනදී මා දකින පැති දෙකක්‌ තියෙනවා. එකක්‌ තමා අද අපේ රටේ තරුණයන් ඇතුළු බහුතර පිරිසක්‌ හුදකලා මානසිකත්වයකින් යුක්‌ත වීම. විශාල පිරිසක්‌ මැද මේ අය මානසිකව තනිවෙලයි ඉන්නේ. අනික අපේ රටේ පවුල කියන ආයතනය විවිධ විපරිතකම්වලට ගොදුරුවෙලා. හැම කෙනකුටම ඒකෙ බලපෑමෙන් මිදෙන්න බෑ. පවුල කඩා වැටෙන කොට ඒක ඇතුළේ ඉන්න අයට ඕන වෙනවා සතුට සන්තෘෂ්ටිය හොයාගෙන වෙනත් ලෝකවලට යන්න. බලන්න අද සමාජය මිනිසුන්ට වඩා යන්ත්‍ර වලටයි මුල් තැන දෙන්නේ. හැම දෙයකටම යන්ත්‍ර නිපදවා තියෙනවා. මිනිස්‌සු සබඳතා පවත්වන්නේ, තම අවශ්‍යතා ඉටු කර ගන්නේ පණ නැති යන්ත්‍ර එක්‌ක. මේවා බඩු භාණ්‌ඩ හැටියට අයිති කරගන්න විශාල තරගයක්‌ තියෙනවා. මේ වාතාවරණය තුළ විශාල පිරිසක්‌ පැත්තකට තල්ලුවෙලා මානසිකව විඩාවකට පත් වීම ස්‌වභාවිකයි. ඒ අය මේ සමාජයට යන්නෙ නැතිව වෙනත් සමාජ ලෝකවලට ඇදී යනවා. මේක තමයි ෆේබුක්‌ එකෙනුත් වන්නේ. අනික අද තියෙන්නෙ අධ්‍යාපනය රැකියා සඳහා දුව යන තරගකාරී එකක්‌. මේ අධ්‍යාපනය විභාග සමත් වීමේ තියුණු තරගයට දරුවා සූදානම් කරන එකක්‌. එක්‌ ලක්‍ෂ හැත්තෑපන්දාහකින් විතර විසි දාහක්‌ විශ්වවිද්‍යාලවලට ගන්න රටක්‌ මේක. මේ තියුණු තරගයට මුහුණ දෙන තරුණයාට කවදාවත් පූජා කටයුතු, ආගමික කටයුතු, සමාජ සේවා කටයුතු ආදියට සම්බන්ධ වෙන්න ඉඩක්‌ නෑ. පාසලෙන් බාහිර කටයුතු ඔක්‌කොම නතර කරල ටියුෂන් පස්‌සේ යන්න සිදුවෙලා. මෙහෙම ගිහින් එක්‌තරා තැනකදී තමාගේ ඉලක්‌කය වැරදුණ විට ඔහු හෝ ඇය අතරමං වෙනවා. ඒ වෙනකොට එයාට යාළුවෝ නෑ. සමාජ ඇසුරක්‌ නෑ. මේ පිරිස තමා ෆේබුක්‌වලින් අලුත් යාලුවන් හොයා ගෙන යන්aනේ. ඔවුන්ට ඒක අලුත් දෙයක්‌. ඕන කරන එකම දේ යාළුවෝ ගාන වැඩි කර ගැනීම විතරයි.
ෆේබුක්‌ වෙබ් අඩවියෙන් ලිංගික ජීවිතයට අතවැනීමක්‌ අද සිදුවෙලා නේද?

ඒකට ෆේබුක්‌ එකටම වරද පටවන එක වැරදියි. අද ලිංගික ආශාවන්ගෙන් පිරුණ සමාජ වපසරියක්‌ වයස්‌ තරාතිරමකින් තොරව පාසල් සිසුවාගේ සිට මහල්ලා දක්‌වා පුළුල් වී තිබෙනවා. ඒකට මූලික හේතුව ලිංගිකත්වය සම්බන්ධව පවතින සමාජ ධර්මතාවල පැවතුණ වලංගුතාව අද හීන වී පැවතීමයි. මිනිස්‌සුන්ට ලිංගික ජීවිතය පිළිබඳව පවතින අසීමිත අවශ්‍යතාව දියුණු තියුණු වෙන්න ඔවුන්ගේ මානසික හුදකලා බව, පවුලේ බිඳ වැටීම, පවුල තුළ දරුවන් හුදකලා වීම, බිදුණු පවුල් ඇතිවීම, ආදිය බලපාල තියෙනවා. පවුලෙන් පරිබාහිරව තම ලිංගික අවශ්‍යතා හොයා යැම සාධාරණ කරන තැන් වැඩිවෙලා. අන්තර්ජාලය මේකට ලොකු රුකුලක්‌ කරගෙන. මානසික තනිකම නැති කර ගන්න අලුත් යාළුවො හොයන වැඩි දෙනෙක්‌ අවසානයේ නතර වන්නේ ලිංගික ලෝකයක.· ඒ අය එතැනට ඇද වැටුණේ ඇයි? එච්චර දුර යනකම් දෙමාපියන් මොකද කළේ.

පසුගිය දිනවල අපට අහන්නට ලැබුණු ෙ€දනීය ෆේබුක්‌ ශෝකාන්තයන් අපට ලබා දෙන පණිවුඩය මොකක්‌ද?

ඇත්තටම අපට අහන්න ලැබුණේ මරණ තුනක්‌ විතරයි. අහන්න කියවන්න නොලැබුණ තවත් ශෝකී අත්දැකීම් තවත් තියෙන්න පුළුවන්. මිය නොගියත් ජීවිතයේ ආධ්‍යාත්මය විනාශ කර ගැනීමෙන් දුක්‌ විඳින, සමාජයට වෛර කරන තවත් අය ඇති. මෙම මරණ තුනම අපට පෙන්වන්නෙ එකම කතාවක්‌. දරුවන්ගේ පෞරුෂය පිළිබඳ බරපතළ ගැටලුවක්‌. අවවාද කිරීම, තරවටු කිරීම, ලැඡ්ජාවට පත් වීම කියන කාරණා ඔවුන් ජීවිතයෙන් සමුගැනීමට හේතු ලෙස පිළිගෙන තියෙනවා. මේක අද නොමේරූ ගැටවරයන්ගේ ඕලාරික මනස තේරුම් ගන්න හොඳ අවස්‌ථාවක්‌. පෞරුෂය කියන්නේ ජීවිතයේ ඒ ඒ අවස්‌ථාවලට මුහුණදීමේ ශක්‌තිය ආශ්‍රයෙන් ඒ පුද්ගලයා ගැන කරන සමස්‌ත තක්‌සේරුවක්‌. මේ ගැටවරයන්ට ඒ පෞරුෂය නැති වුණේ ඇයි? බැන්නේ ඇයි, තරවටු කළේ ඇයි කියන එකට වඩා වැදගත් වන්නේ මේ තරුණයන් මේ විදියට හිතන්න පෙළැඹුණේ ඇයි කියන එක නේද?
ෆේබුක්‌ සමාජයේ දූෂිත ක්‍රියාකාරකම්වලට අද පාසල් අධ්‍යාපනයත් වගකිව යුතුබව ඇතමුන්ගේ මතයයි?
ෆේබුක්‌වලට ඇදී එන බහුතරය පාසල් දරුවන්. පාසල කියන ආයතනවලට වඩා අද දරුවන්ගේ ජීවිත ඉලක්‌කවලට වැදගත් වෙලා තියෙන්නේ ටියුෂන් ව්‍යාපාරයි. මොකද මේ අධ්‍යාපනය විභාග තරණය කරන අධ්‍යාපනයක්‌. මෙබඳු තත්ත්වයක්‌ යටතේ අද පාසලෙන් සිදුවන සමාජානුයෝජනය හරිහැටි සිදුවන්නේ නැහැ. මේකට දෙමවුපියනුත් වග කියන්න ඕනේ. මීට දශක දෙක තුනකට පෙර දෙමාපියන් පාසලින් බලාපොරොත්තු වූ දේ අද සිටින දෙමාපියන් ඒ විදියටම බලාපොරොත්තු වන්නේ නෑ. තමාගේ දරුවව ඉගෙනුම වගේම බාහිර ක්‍රියාකාරකම්වලිනුත් පිරිපුන් දරුවෙක්‌ කරන්න අද මවුපියන් හිතනව අඩුයි. දරුවන්ට වඩා මවුපියන් අද අධ්‍යාපන තරගයේ කොටස්‌කරුවන් වෙලා. දැන් බලන්න, අන්තර්ජාලය ගත්තොත්, හුඟක්‌ මවුපියන්ට ඒ ගැන අවබෝධයක්‌ නෑ. දරුවෝ හිතන්නේ මවුපියන්ට වඩා ඔවුන් උගත් අය කියලයි. පුතාට දෙන්න ඕන වටිනාම තෑග්ග ලැප්ටොප් එකක්‌ කියලයි හිතන්නෙ. ඒකෙ තියෙන්නෙ මොනවද? ඒකෙ බලන්නෙ මොනවද කියල හොයන්නෙ නෑ. මේක දුවන සමාජයක්‌. මේ දුවන මිනිසුන් දරුවන්ට යන්ත්‍ර සූත්‍ර ගොඩක්‌ දීල තියෙනවා. ඒවා ඇතුළේ ඉන්නෙ කවුද කියලා හොයල බලන්න ඒ අයට වෙලාවක්‌ නෑ. 

අද අන්තර්ජාලයට මේ විදියෙ දූෂිත පුද්ගලයො සංවිධානාත්මකව රිංගා ගෙන සිටීමට අපේ රටේ අද පවතින සමාජ වාතාවරණය හේතු වී තිබෙන්නේ කොහොමද?

ඇත්තටම අන්තර්ජාල සමාජය ඉතා විශාලයි. ඒ වගේම වැසුණු එකක්‌. එතැන බොහෝ විට පෙන්වන්නේ ප්‍රකෘතිය නෙමේ. ගෙවල්වල හිරවෙලා, දෙමාපියන්ගේ අණසක යටතේ හිටපු නොමේරූ තරුණ ළමයින් මේ ලෝකෙට ඇතළු වන්නේ කුතුහලයයි ආශාවයි දෙකම අරගෙන. ඔවුන් මේ ලෝකය දිහා බලන්නේ තමන්ගේ සුන්දර ප්‍රාර්ථනා ඉටු කර ගත හැකි තැනක්‌ විදියට. ඒත් ඒකෙ තියෙන හැමදෙයක්‌ම ඒකෙ ඉන්න හැම කෙනෙක්‌ම හොඳ නරක දෙකම තියෙන බව ඒ අය දන්නේ නෑ. විශේෂයෙන් ගෙදර පාලනයට හිරවෙලා සිටින අයට නිදහසේ හිතේ හිර කරගෙන සිටින හැඟීම් මුදා හරින්න වෙනත් තැනක්‌ නෑ... මේක වැඩිහිටියො තේරුම් ගන්න ඕන. අන්තර්ජාලයෙන් හමුවන අයට සියල්ලම පුද කරන්න මේ අය කැමැති වන්නේ ඇයි කියන එක ගැන හිතන්න ඕන. අනික අද සමාජය ව්‍යාජ රඟපෑම් කරන ආකර්ශනීය චරිතවලට විශාල ඉල්ලුමක්‌ ඇති සමාජයක්‌. එදා අපි දැක්‌ක සමාජ තරු ගමට රටට වැඩ කළ චරිත. අද එක රැයකින් උඩට ආපු තරු. මේ අය අන්aතර්ජාලය තුළ කරන්නේ මේ ව්‍යාජ රඟපෑමයි. මේක තේරුම් ගන්න පුළුවන් දැනුම අද යාන්ත්‍රික පාඩම් රටාවකට කොටු වුණ දරුවන්ට නෑ.

ෆේබුක්‌ හරහා අපේ රටේ දැනට සිදුවන ෙ€දනීය සිදුවීම් නැති කර ගැනීමට කළ යුත්තේ කුමක්‌ද?

මුළු සමාජයම මේ ගැන අලුතින් හිතන්න ඕන. ෆේබුක්‌ හෝ අන්තර්ජාලය වෙනම අරගෙන කතා කරල වැඩක්‌ නෑ. අද පවතින සමාජයේ යථා ස්‌වරූපය තේරුම් අරගෙන මේවා දිහා බලන්න ජනතාව හුරු කළ යුතුයි. අද තියෙන්නේ එක්‌ පැත්තකින් පශ්චාද් යුද සමයක්‌. වසර තිහක්‌ තරම් දිගු කාලයක්‌ යුද්ධයක්‌ පැවතුණ රටක සමාජ ආර්ථික සංස්‌කෘතික දේශපාලන කඩාවැටීම් අනිවාර්ය ලක්‍ෂණයක්‌. මෙම සමාජය නැවත ප්‍රතිනිර්මාණය කිරීමේදී කළ යුතු සමාජ සංස්‌කෘතික පූර්ව අවශ්‍යතා රාශියක්‌ තියෙනවා. එම අවශ්‍යතා අද ඉටු වෙනවාද? අද එක පැත්තකින් දැඩි ලෙස දේශපාලනීකරණය වීමේ ක්‍රියාවලියක්‌ සිදු වනවා. ඒ එක්‌කම දේශපාලන ප්‍රචණ්‌ඩත්වයත් එකට බැඳිලා තියෙනවා. පොලිසිය, නීතිය උපාධි වැනි සමාජ පාලන ආයතනවල ස්‌වාධීනත්වය ගැන ප්‍රශ්න ඇතිවෙලා. මේ සමාජ ව්‍යqහය තුළ කැකෑරෙන පිරිස අතර ෆේබුක්‌ විෂාදය (Facebook Depression) නම් මානසික ආතතිය බහුල වන්න තියෙන ඉඩකඩ වැඩියි. අපි අපේ රටේ දරුවන් - තරුණියන් ගැන මීට වඩා ගැඹුරින් හිතන්න ඕන කියන පණිවුඩය මේ ඉලෙක්‌ට්‍රොනික සමාජය අපට දී තිබෙනවා.

සාකච්ඡා කළේ පාලිත සේනානායක - Sunday Divaina