Pages

Friday, March 07, 2014

සුන්දරත්වයෙන් පිරි සොඳුරුම සිහිනේ..... නෙත් දෙකින් අරන් එනු මැන සඳපානේ.....

විරහවෙන් වේදනා විඳින හදවත්වලට සියුම් මිහිරක්‌ ගෙනෙන්නට ගීතයට සුවිශේෂ වූ හැකියාවක්‌ ඇත. යෞවනයත්, විරහ ගීතයත් අතර ඇත්තේ සුපෙම් වූ බැඳියාවකි. විරහ ගීතයේ ආත්මීය බව පසක්‌ කරමින් යෞවන සිත් තුළ සදාකාලිකවම ලැගුම් ගත් අග්‍රගණ්‍ය ගායන ශිල්පියෙකු දැයෙන් නික්‌මගොස්‌ මෙම 10 වැනිදාට දහසය වසක්‌ පිරීම නිමිත්තෙන් මෙසේ සටහන් තබමු.

සැන්දැ යාමේ... රන්තරු යායේ

චංචල රේඛා පාවී යාවී

මේ ගංගාවේ... පාවි යාවි

අඳුර උතුරා ඉවුරු යායේ 

රෑහි ගී විසිරේ...

පෙරසේ පායා සඳුනේ නාවේ

ඇයිදෝ...

විරහ ගීතයේ රස උල්පත වී දශක තුනකටත් අධික කාලයක්‌ සජීවී ගී හඬින් යෞවන සිත් නැළවූ සදාදරණීය ගායන ශිල්පී මිල්ටන් මල්ලවාරච්චි පිළිබඳ මතකයන් ආවර්ජනය කරමින් ඔහු ගැයූ ගී මල් වරුසාවෙන් තෙමුණු ඔබේ සිත් සැනහෙන්නට මේ ගී පද බැඳි ගී මතකයට නැඟේවි. 

දිනෙක රන් සළු පළඳා සඳ නැගි වේලාවෙන්

රැගෙන ඔබ ගෙන යමි කුමරියෙ

පෙම් දෝලාවෙන්....

විරහ ගීත, ප්‍රේමනීය ගීත මෙන්ම වෙනත් තේමාවන් ඔස්‌සේ මිල්ටන් මල්ලවාරච්චි ගැයූ ගීත එක්‌දහස්‌ අටසියයක්‌ පමණ ඇත. මෙහි සුවිශේෂ බව වන්නේ ඒ හැම ගීතයක්‌ම අතිශයින්ම ජනප්‍රිය ගීත බවට පත්වීමත් ඒ හැම ගීතයක්‌ම ස්‌වතන්ත්‍ර ගී නිර්මාණ වීමත්ය.

සඳුගේ සිහිල් සිනා රැල් පාවී

විහිදුණු වළා තලාවේ

ඇවිලේ ඔබේ නුවන් මා දෑසේ

සමනල කුමාරියේ...

මිල්ටන් ගැයූ හැම ගීතයක්‌ම ශ්‍රාවකයා තුළ ඇද බැඳ තබන්නට හේතුවූ සුවිශේෂම කාරණය වන්නේ ගී පද රචනාවල ඇති අරුත්බර බවටත් ගී තනු හා සංගීත සංකලනයන්ටත් ඒ හා ඔහුගේ ඒ හැඟුම්බර කටහඬ හැඟීම් දනවන්නට උත්තේජනයක්‌ වන නිසාය. 

සඳෙන් එහා... කඳු මුදුන් ඉමේ

හිමව් තලාවේ තුෂාරයේ...

ඔහුගේ ඒ ලයාන්විත ගී හඬ විරහවෙන් හා ප්‍රේමයෙන් වෙළී ගිය සිත් නිවාලන්නට සුන්දරත්වයෙන් පුරවාලන්නට අම රස මිහිරක්‌ම විය. 

පෙර එක දවසක සඳ නැති සවසක

ඔබ මා සමුගත් ඉවුරු තලාවක

යළි අප හමුවේවා...

ප්‍රේමයෙන් පරාජිත, ආදරය අහිමි වූ හදවත් වෙනුවෙන් මිල්ටන් බොහෝ ගීත ගැයුවේය.

සුන්දරත්වයෙන් පිරි සොඳුරුම සිහිනේ...

නෙත් දෙකින් අරන් එනු මැන සඳ පානේ...

සීමා මායිම් නැති විරහවේත්, ප්‍රේමයේත් විවිධ පරාසයන් සොයා ඔහුගේ ගී හඬ විකාශය වන්නට විය. යොවුන් සිත් තුළ සන්තර්පනය වන සිතුවිලි හැඟීම් ඔහුගේ ගීවලින් පිළිබිඹු වන්නට විය. 

රන්මසු නෑ කියා... මා දිළිඳුයි කියා...

කීවා... මට තව මතකයි ඒවා...

මැදුරේ දොරගුළු ලූ නියා

අඳුරේ මා තනිවූ නියා...

ශෘංගාරයේ මිහිර විරහවේ ශෝකාන්ත බව මෙන්ම එහි යථාර්ථය පිළිබඳවත් විවිධ තේමාවන් යටතේ මිල්ටන් විශාල ගී ප්‍රමාණයක්‌ ගැයුවේය. 

වැරදීම කාගේ - දෝසෙන් වුණාදෝ

නොදැනේ අපේ ආදරේ

රහසේ බැඳිලා කාලේ ගෙවූදා

සිහිවේ ගමේ පාසලේ....

පිබිදෙන යෞවනය තුළින් උපදින නැවුම් ආදරයට, හැඟීම්වලට රස කලතත් අලුත් අරුතක්‌ එක්‌ කරන්නට ඒ ලයාන්විත හඬට පුදුමාකාර වූ හැකියාවක්‌ තිබිණ.

සඳ උතුරා ගංගාවේ...

ඔබෙ රුව දෝ මැවුණේ...

විරහ ගීතයේ භාවාත්මක භාවයන් ඔහුගේ හඬ තුළත්, ගායන හැකියාව තුළත් අද්විතීය අයුරින් ගැබ්ව තිබීම ඒ හඬටම ආවේනික වූ ලක්‍ෂණයකි. විරල බවකි. 

ගෙවල් අද්දර පුංචි මිදුලේ

සැදූ සෙල්ලම් ගෙවල් වාගේ

බිඳී වැටුණා වේ... පැතු අවිහිංසක 

පැතුමන් අප බාලේ...

ආදරය බොළඳය. බොළඳ බව නොවී නම් එහි ආදරයක්‌ ද නොපවතී. බොළඳ ආදරය එහි පිවිතුරු බව හිරිමල් වියෙහි හැම හදවතකටම දැනේ.

සුළඟේ පාවී... ඈ වෙත යාවී...

මා සිතූ සිතුම්...

සිහින විමානෙන් ගෙනා

මා පැතූ පැතුම්...

දශක කිහිපයකට පෙර ඔහු ගැයූ ගී අදටත් අලුත් වෙමින් යෞවනය තුළ සදාකල්හිම ලැගුම් ගත් ගීත සමුදායක්‌ මිල්ටන් ගායනා කර ඇත. 

උපුල් නුවන් විදහා... ඔබ සිනාසුණා

මම සිනාසුණා...

පුළුන් රොදක්‌ කළ මා... ළඳකි වාසනා...

නම මෝනාලිසා...

ආදරය හැම විටම සුන්දරත්වයෙන් ප්‍රේමණීය බවින් පිරී පවතියි. ප්‍රේමය බැඳීමෙන් ගිලිහී යන මොහොතක විරහව දැනේ. අහිමි වූ ආදරය, පරාජිත වූ ප්‍රේමය, නොලැබුණු සෙනෙහස විරහව බවට පත්වන්නේ නිරායාසයෙනි. මිල්ටන් මේ යථාර්ථය හොඳින් හඳුනාගෙන ඔවුන්ගේ හිත් තුළට කි¹ බැස යන ගීත ගැයුවේය. 

සංසාර සෙවණැල්ල...

ලෙස ආ පතාලා....

ශෘංගාර රස දෙන්න

කලතා පෙරාලා....

මිල්ටන්ගේ ගායනා දිවියට පිවිසෙන යුගයේ සමාජ පෙරළියක්‌ සිදු වෙමින් තිබිණ. ඇති නැති වත් පොහොසත්කම් තුළ සිරිත් ගතානුගතික බවින් මිදී අලුත් පරිවර්තනයක්‌ වෙමින් පැවතුණි.

පොහොසත් පෙම්වතියන්ට ආදරය කරන දිළිඳු තරුණ පෙම්වතුනුත් සමාජයේ ආකර්ෂණය වන චරිත බවට පත්විය. මේ වෙනුවෙන් නවකතා, කෙටිකතා, චිත්‍රපට, වේදිකා නාට්‍ය මෙන්ම කවි ගීත විශාල වශයෙන් නිර්මාණය වන්නට විය. 

මේ සමාජ පෙරළිය එහි ප්‍රස්‌තූතය මිල්ටන්ට කදිම තෝතැන්නක්‌ විය. ආගමික දේශාභිමානි ගීත අභිබවා විරහ ගීතයට එම යුගය සැබෑවටම ක්‌ෂේම භූමියක්‌ විය. මිල්ටන් මෙයින් වඩාත්ම පල නෙලාගත් ගායන ශිල්පියා බවට පත්විය.

රන් මසු නෑ කියා... මා දිළිඳුයි කියා...

කීවා... මට තව මතකයි ඒවා...

මැඳුරේ දොරගුළු ලූ නියා....

අඳුරේ මා තනි වූ නියා...

මෙවැනි ගීත සිය ගණනක්‌ මිල්ටන් ගායනා කරන විට ඒ හැම ගීතයකම රසිකයන් හදවතින්ම වැළඳ ගන්නට විය.

ගංගා යමුණා ඉවුරු සමීරේ

ඔබ මා හමුවූ සොඳුරු සැඳෑවේ

සමුගෙන යන්නට අවසර දෙනු මැන 

මට පෙම්බැඳි සිටු කුමාරියේ...

මිල්ටන් ගැයූ දෙදහසකට ආසන්න ගීත අතරේ ඔහු වඩාත් ප්‍රිය කළ විරහ ගීත ආදර ගීත කිහිපයක්‌ද විය.

මධුමල ලෙස මෘදු මගේ ප්‍රියාදර 

මිහිරාවිය වෙතටයි...

එම ගීත කිහිපයට කෙතරම් ආදරේ කළේද යත් කරුණාරත්න අබේසේකරයන් රචිත ඒ ගීවල අත් පිටපත් මිල්ටන් මියයන තුරුත් ඔහු සතුව තිබිණ.

මිල්ටන් ගීත අතිශය ජනප්‍රිය ගීත බවට පත්වීමට මූලික හේතු සාධකය ඔහුගේ ඒ ලයාන්විත හැඟුම්බර කටහඬ බව සැබෑය. එය ප්‍රත්‍යක්‍ෂ වන කරුණකි. ඔහුට ලැබුණු ගීත රචනා තනු නිර්මාණ මෙන්ම සංගීත සංකලනයන්ද මේ ගීත ජනප්‍රිය වීමට හේතු සාධක වන්නට ඇත. මිල්ටන් මල්ලවාරච්චිට ගීත රචනා කළ ගීත රචකයන් බොහෝ දෙනෙක්‌ සිටිති. කරුණාරත්න අබේසේකරයන් ලියූ මිල්ටන් ගැයූ පළමු ගීත හතරේ පටන් ගීත විශාල ප්‍රමාණයක්‌ රචනා කළේය. ප්‍රේමකීර්ති ද අල්විස්‌, කුලරත්න ආරියවංශ, කේ. ඩී. කේ. ධර්මවර්ධන, අජන්තා රණසිංහ, උපාලි ධනවලවිතාන, ඔගස්‌ටස්‌ විනයාගරත්නම්, ලූෂන් බුලත්සිංහල, සෝමපාල ලීලානන්ද, ක්‌ලැරන්ස්‌ විඡේවර්ධන, සිරි කුලරත්න, කුමාර හෙට්‌ටිආරච්චි, සනත් ගුණතිලක, සී. ටී. පෙරේරා, හේමසිරි හල්පිට, ආනන්ද පද්මසිරි ඇතුළු තවත් ජනප්‍රිය ගීත රචකයන් රැසක්‌ මිල්ටන් ගැයූ ගීතවලට ගී පද මාලා එක්‌කර ඇත. ඔහුට ගීත ලියූ ගීත රචකයන් අතරට එන්නට මේ ලිපිය ලියන මටද අවස්‌ථා කිහිපයක්‌ උදාවීම මා ලැබූ වාසනාවක්‌ සේ මට දැනේ. මිල්ටන්ගේ ගීත ජනප්‍රිය වීමට ඔහුගේ ගීතවලට සංගීතයෙන් විශාල මෙහෙයක්‌ කළ සංගීතවේදීන් විශාල ප්‍රමාණයක්‌ද සිටී. මොහොමඩ් සාලි, එම්. කේ. රොක්‌සාමි, සරත් දසනායක, සෝමපාල රත්නායක, ස්‌ටැන්ලි පීරිස්‌, ක්‌ලැරන්ස්‌ විඡේවර්ධන, පැටි්‍රක්‌ දෙනිපිටිය, වික්‌ටර් රත්නායක, නිමල් මෙන්ඩිස්‌, රෝහණ වීරසිංහ, අර්නස්‌ට්‌ සොයිසා, සරත් ද අල්විස්‌, මහින්ද බණ්‌ඩාර, උපාලි කන්නන්ගර ඇතුළු සංගීතඥයන් රැසක්‌ මිල්ටන්ගේ ගීතවලට තනු හා සංගීත නිර්මාණ කර ඇත. 

සුවහසක්‌ රසික සහෘදයන් විරහ ගීතයෙන් රසවත් කළ මිල්ටන් මල්ලවාරච්චි නම් ඒ අග්‍රගණ්‍ය ගායන ශිල්පියාගේ ඒ ගී හඬ දිනෙන් දින අලුත් වන යෞවනය තුළ ලැගුම් ගනු ඇත. මිල්ටන් ඔබ අපෙන් සමුගෙන ගියද තවත් යුග යුග ගණන් ගත වුණද, අපේ හදවත් තුළ ඔබේ ගී හඬ සදාකාලිකය. ඔබ අමරණීයය. හිමි බුදුවන බෝ මැඩ ඔබ නෙළුමක්‌ වේවා...

ධම්මික සල්වතුර - Divaina