Pages

Thursday, March 20, 2014

ගිනි ජාලා සහ සමාජ ජාලා

‘ෆේස් බුක්’ යනු දුෂ්ට ඉන්ද්‍රජාලයක් නොවේ. එය සමාජ ජාලයකි. අන්තර්ජාලය වේදිකාව කර ගනිමින් බිහි වූ තවත් තොරතුරු තාක්ෂණයකි. එසේ නම් ‘ෆේස් බුක්’ හෙවත් ‘එෆ්.බී.’ නිසා ජීවිත විනාස වන්නේ යැයි ඇතැමුන් පවසන්නේ ඇයි? සමාජ ජාලා භාවිතය අකැප ද යන පැනයට ඉතාම පැහැදිලි පිළිතුරක් පසු ගිය දිනෙක ෆේස් බුක් අඩවියේ ම කෙනකු මෙලෙස සඳහන් කර තිබිණි. “ගින්දර පිච්චෙනවා කියලා ගින්දර තහනම් කරන් නෑනේ....ඒ වගේ තමයි FB එකත්... පාවිච්චි කරන කෙනා සහ කරන විදිහයි වැදගත්.”

ගින්දර මිනිසාගේ දියුණුව පිණිස ම යොදා ගත හැකි දෙයක් වුවත් ක්ෂණයකින් මහා විපතක් ඇති කිරීමේ හැකියාවක් ගින්දර සතුව ඇත. එසේ නම් සමාජ ජාලා වෙබ් අඩවි තුළ රැඳී කටයුතු කිරීමෙන් කෙනකුට විපතක් නොවන්නේ හෝ වෙන්නේ යැයි ඒක පාර්ශ්වික නිගමනයකට එළඹීම ගින්දර ගැන ගන්නා තීරණයක් හා සමාන ය. එළියේ සිටීම හෝ අඳුරේ සිටීම සිදු වන්නේ කෙතරම් නුවණක්කාර ලෙස ගින්දර හසුරුවන්නට ඔබ සමත් වේ ද යන්න මතය.

මිලියන ගණන් පුදගලයන් විසින් භාවිතයට ගැනෙන ජනප්‍රිය සමාජ ජාලා අඩවි අතර Facebook, Twitter, LinkedIn, Pinterest, Google Plus+, Tumblr, Instagram, VK, Flickr ,MySpace යනු අපට හුරුපුරුදු නම් වේ. එකිනෙකට වෙනස් අභිමතාර්ථ වෙනුවෙන් ඇති වී තිබුණ ද මේ සියලු වෙබ් අඩවිවලින් කරන්නේ නූතන ලෝකයේ තොරතුරු හුවමාරුවයි. මිනිසා එකිනෙකා හා සන්නිවේදනය ඇරඹී මොහොතේ සිට ම නොයෙකුත් ක්‍රමවලින් සමාජ සන්නිවේදනයක් සිදු නොකළේ නම්, එකිනෙකාගේ උදවු සහ සම්පත්වලට පිවිසුමක් නොලැබ මිනිස් සංහතියේ දියුණුවක් සිදු නොවන්නට ඉඩ තිබිණි. ගින්දර යනු එලෙස පණිවිඩ හුවමාරුවට පවා යොදා ගත් එක මාධ්‍යයක් බව අප දන්නා කරුණකි.

සමාජ ජාලා අඩවිවල අයහපත් පැත්තක් ඇති බව ගින්නක් නැතිව දුමක් නොනැ‍ඟෙන්නා වාගේ කාරණාවක් බවත් අප දැන ගත යුතු ය. ගින්දර තමන්ගේ දියුණුව උදෙසා යොදා ගන්නට මිනිසාට හැකියාව ලැබුණෙ එය විමසා අධ්‍යයනයක යෙදීමෙනි. තමන්ගෙන් ඉගෙන ගන්නා මතු පරපුරට එහි ආදීනව කියා දීමෙන් ගින්දර මහෝපකාරී කරගන්නට අපට හැකි වී නම් සමාජ ජාලා පමණක් නොව තව ඕනෑ තරම් දේවල්වලින් දරුවන් විපතට පත්වීම වළකා ඒ වෙනුවට ඔවුන්ගේ දියුණුවට ඒවා භාවිත කරන්නට ඔවුන් පෙලඹවීමට සමාජය සකස් විය යුතු ය.

අන්තර්ජාලය හා සිසුන්ගේ ඇති සම්බන්ධතාව ප්‍රයෝජනයට ගනිමින් ඔවුන්ගේ සන්නිවේදන හැකියා ශක්තිමත් කිරීමට බොහෝ බටහිර රටවල ගුරුවරු කටයුතු කරති. අන්තර්ජාල සමාජය විවිධාකාර ය. ඔවුන් හා අදහස් හුවමාරුවෙන් කෙනකුට පන්නරයක් ලබන්නට හැකියාවක් ඇත. සාමාන්‍යයෙන් කතාබහට ලජ්ජාශීලී පුද්ගලයන්ට, කතාකිරීමට නොහැකි පුද්ගලයන්ට හෝ සැතපුම් ගණන් වෙන්වී සිටින අදරණීයන්ට තම අදහස් හුවමාරුවට මේ සමාජ ජාලා උපකාරී වෙයි. ඒ වාගේ ම නීතිමය කටයුතු, දැනුම බෙදා ගැනීම ආදියට සමාජ ජාලා නිසා මහත් බලපෑමක් ඇති බව සමාජ ජාලා අඩවි අධ්‍යයනයෙන් තොරතුරු රැස් කරන සමාජ විද්‍යඥයන්ගේ මතයයි. මා පවා ලංකාවේ ජීවත් නොවූවත් මගේ පොත්, ගී, මේ තීරු ලිපිය කියවන පාඨක පිරිස හා කිට්ටු සම්බන්ධතාවක් පවත්වාගන්නේ social media වලට පින් සිදු වන්නට ය.

පසු ගිය දිනෙක කෙනකු මට එලෙස ෆේස්බුක් හරහා පණිවිඩයක් ඒවා තිබුණි. එහි සඳහන් වී තිබුණේ “මගේ යාළුවෙක් වෙන්න” කියායි. මට තේරුම් ගිය ආකාරයට පණිවිඩය ඒවා තිබූ තැනැත්තා වැඩිහිටියකු නොවේ. “යාළුවෙක් කියන්නේ කාට ද?” මම පිළිතුරක් යැවීමී. ඒ පණිවිඩය ඒවූ කෙනා ඇත්තටම වයසින් මුහුකුරා නොගිය කෙනෙක් වී පණිවිඩය ලබන තැනැත්තා බොරු ගිණුමකින් පෙනී සිටිනා අපරාධකරුවෙක් වී නම් එතැන කිසියම් ව්‍යසනයකට මුලක් නොවන්නේද? පරිගණක තිරයකට මුවා වී ඕනෑම කෙනකුගේ වෙස් ගෙන සමාජ ජාල තුළ පුද්ගලයෝ සම්බන්ධතා ඇති කරගනිති.

හුවමාරු කරගත යුත්තේ තමන්ට හානියක් නොවන තොරතුරු පමණක් ය. සමාජ ජාලා, කෙනකුගෙ නිර්මාණ, නිෂ්පාදන ඉදිරිපත් කිරීමට මිලියන ගණන් පිරිස නොමිලේම සපයා දෙයි. සමාජ ජාලා නිසා යහපත් සහ අයහපත් යන හේතූ මත එක රැයින් ලොව පුරා ප්‍රසිද්ධ වූ පුදගලයෝ මෙන් ම ධනවත්හු වූ අය ද සිටිති.

තොරතුරු හුවමාරු තාක්ෂණය ඒ තරමට ම නූතන සමාජයීය කටයුතුවලට බලපෑමක් එල්ලකරන තැනට ලෝකය පත් වී හමාර ය. මිලියන ගණන් මිනිසුන් අන්තර්ජාලය හරහා හුවමාරු කරගන්නා තොරතුරු, වෙළෙඳාම් කිරීමෙන් සමාජ ජාල අඩවි හිමිකරුවෝ ලාබ ලබති. එලෙස රැස් කරගන්නා තොරතුරු අනුව, වෙළෙඳපොළ සහ වෙළෙඳ ප්‍රචාරණය හැසිරවීමෙන් තව කොටසක් ලාබ ලබති. කටයුතු එසේ වෙද්දී, තමන්ගේ සැබෑ ජිවීතවල වටිනා කටයුතු පැහැර හරිමින් සමාජ ජාලාවලට තමන් යට කරගන්නට ඉඩ හරින්නේ ද නැතිනම්, සැබෑ මිනිසුන් හා බුද්ධිමත්, ප්‍රසන්න, සතුටු සම්බන්ධතා ඇති කරගනිමින් තමන්ගේ දියුණුවට එය යොදා ගන්නේ ද යන්න තීරණය කළ යුත්තේ අප ය. ඒ ගින්දර, අඳුර නිවා ආලෝකය ගෙන දීමට හා මඟ සොයා ගැනීමට උපකාර කරන්නාක් මෙනි.

හිමාලි එන්. ලියනගේ - Dinamina