Pages

Wednesday, June 17, 2015

දෙමාපියන්ගේ සබඳතා බිඳ වැටීම හා දරුවන්ගේ සුබසාධනය පිළිබඳ උභතෝකෝටිකය

දෙමාපිය සබඳතා බිඳ නොවැටෙන පරමාදර්ශී සමාජයක ජීවත් වීම ඕනෑම දරුවෙකුගේ පරම බලාපොරොත්තුව විය හැකිය. එහෙත් විවිධාකාර හේතු මත දෙමාපිය සබඳතා බිඳ වැටීම සිදු වන අතර, එමගින් දරුවන් වෙත විවිධ බලපෑම් ඇති වන බවද පරම සත්‍යයකි. බිඳ වැටෙන දෙමාපිය සබඳතා දරුවන් කෙරෙහි ඇතිකරන භාවාත්මක, මනෝවිද්‍යාත්මක, ආර්ථික හා සමාජීය බලපෑම පිළිබද ප්‍රමාණවත් කතිකාවක් ශ්‍රී ලංකාව තුළ තවමත් නොමැති බව පැහැදිලි කරුණකි. 

විනිශ්චය කිරීම් බහුල සමාජයක ජිවත් වන අප, බිඳුණු පවුල් වල දරුවන් හුදකලා කිරීමට දායක වනවා මිස සාධාරණ කතිකාවක් හරහා මෙම ප්‍රශ්නය අවම කරගැනීමට උත්සහා නොගැනීම කණගාටුවට කරුණකි. 

මේ පිළිබඳව බහු ජනමාධ්‍යයයේ හැසිරීම අතිශය ගැටළුකාරී වේ. සමාජයේ ජනප්‍රිය පුද්ගලයින්ගේ පවුල් සබඳතා බිඳ වැටුණු අවස්ථා වල මාධ්‍යය හැසිරෙන ආකාරයෙන් මෙය පැහැදිලි වේ. මෙවැනි අවස්ථා වල ජාතික මට්ටමේ ජනමාධ්‍යය සහ ඕපාදුප පැතිරීම වෙනුවෙන්ම බිහි වූ වෙබ් අඩවි වල ක්‍රියාකාරිත්වයේ වෙනසක් දක්නට නොමැත. බිඳ වැටුණු සබඳතා පිළිබඳ ඕපාදුප අලෙවි කිරීම හා ප්‍රකෝප කිරීම් හැරුණු කොට ජනමාධ්‍ය හරහා ඉටු වෙන වෙනත් සේවාවක් නොමැති තරම්ය. 

වෙන්ව ජීවත් වන දෙමාපියන් අතර දරුවන්ගේ සුබසාධනය උදෙසා සංහිඳීයාවක් ඇති වීම මෙමඟින් වළක්වන අතරම මෙවැනි ඕපාදුප පුවත් හරහා දරුවන්ට අත්වන පිඩාව තවදුරටත් තීව‍්‍ර වේ. කෙසේ වෙතත් ජනමාධ්‍ය හරහා ප්‍රතිනිර්මාණය වන්නේ මේ පිළිබදව අප සමාජයේ ඇති ගතානුගතික මතය බවද පැහැදිලි කරුණකි. 

එපමණක් නොව වැඩිහිටියන්ගේ පවුල් සබඳතා හෝ ප්‍රේමසබඳතා හෝ බිඳ වැටීම හරහා එකිනෙකාට ඇති වන චිත්ත පීඩාව පිළිබඳ සාකච්ඡා කෙරෙන සිනමා නිර්මාණ, ටෙලිනාට්‍යය, ගීතරචනා බහුල වුවද, දෙමාපියන් වෙන් වීමේදී දරුවන්ට ඇතිවෙන පීඩනය පිළිබඳව දරුවන්ගේ දෘෂ්ටිකෝණයෙන් සලකා බැලෙන නිර්මාණ අතිශයෙන් දුලබ වේ. 

අපේ රටේ ළමුන් වෙනුවෙන් නිර්මාණය වන සාහිත්‍යය නිර්මාණ වල තවමත් ඇත්තේ මව, පියා එක්ව ජිවත් වන සතුටු පවුලේ කතන්දර පමණකි. මෙවැනි පොත්පත කියවන දික්කසාද වූ දෙමාපියන්ගේ හෝ දෙමාපියන් මියගිය හෝ දරුවන්ට ඇතිවන හුදකළා හැඟීම් සොයා බැලීමට අපේ සමාජය තවමත් උත්සාහ නොගන්නා බව පැහැදිළි කරුණකි. එහෙත් ලෝකයේ බොහෝ රටවල විකල්ප පවුල් වලට අදාල කතා අඩංගු ළමා පොත්පත් දක්නට ලැබේ. මෙවැනි පොත්පත් එවැනි විකල්ප පවුල් වල දරුවන්ගේ මානසික සුබසාධනයට උපකාරී වන ලෙස නිර්මාණය වී ඇත. 

එසේම මෙම ප්‍රශ්නය පිළිබදව ශ්‍රී ලංකාව තුළ සිදුකළ සමාජ විද්‍යාත්මක සමීක්ෂණ ඇත්තේද අල්පයකි. එසේ නැතහොත් එවැනි සමීක්ෂණ වාර්තා වල අඩංගු කරුණු මහජනතාව අතර ප්‍රචලිත කිරිමට නොහැකි වී ඇත. 

විවාහයෙන් පරිබාහිර සබඳතා ඇතිකර ගැනීම සහ එමඟින් පවුල් සබඳතා බිඳ වැටීම අපේ, සංස්කෘතිය, කිසිසේත් අනුමත නොකරයි. මෙවැනි සිද්ධීන් නිසා දරුවන් අත්හැර දමන දෙමාපියන්ට ගල්මුල් ප්‍රහාර එල්ල කිරීමට අපි කිසිසේත් පසුබට නොවෙමු. එහෙත් දික්කසාද වූ යුවලක් දරුවන්ගේ යහපත වෙනුවෙන් සංහිඳීයාවෙන් කටයුතු කරනු දුටු විට එයද අපේ සංස්කෘතියට පටහැනි බව කියමින් ඔවුන්ට පරිභව කිරීමට අපි පසුබට නොවෙමු. 

දෙමාපියන් අතර මතබේද අධික හිංසාකාරී පවුල් පසුබිමක ජිවත් වීමට වඩා වෙන්ව ජිවත්වන, එහෙත් දරුවන්ගේ සුබසාධනය පිළිබඳව සහයෝගයෙන් කටයුතු කරන දෙමාපියන් අතර ජිවත් වීම සමහර විට දරුවන්ට පහසුවිය හැකි බව පිළිගැනීමට අපි තවමත් මැළි වෙමු. 

ශ්‍රී ලංකාව තුළ මෙම ප්‍රශ්නය පිළිබද පුළුල් කතිකාවක් ඇති නොවීමට බල පෑ සාධකයක් ලෙස, පවුල් ප්‍රශ්න පුද්ගලික ප්‍රශ්න, ලෙස පංගු කිරීම හඳුනා ගත හැකිය. අනෙක් අතට මීට වඩා බරපතල ගැටළු අපේ සමාජය තුළ ඇති බව කෙනෙකු තර්ක කළ හැකිය. එහෙත් රටක අනාගතය දරුවන් වන්නේ නම් මෙම ප්‍රශ්නය පිළිබද සාකච්ඡාවකට අපේ සමාජය තුළ ප්‍රමුකත්වය නොලැබිම අවාසනාවකි. 

ලෝකයේ සමහර රටවල මෙම ගැටළුව පිළිබඳව තොරතුරු සොයා බැලෙන සමීක්ෂණ හා සාකච්ඡා සිදු කෙරෙන අතරම, මෙවැනි ගැටළු වලට මැදිහත් වූ දරුවන්ට නොමිළයේ මනෝවිද්‍යාත්මක උපදෙස්, නීති උපදෙස් හා ආර්ථික ආධාර ලබා දීම සමාජ සුබසාධන ක්‍රියාවලියේ ප්‍රධාන අංගයක් බවටද පත්ව ඇත. එසේම පවුල් බිඳ වැටිමේදී දරුවන්ට ඇති වන බලපෑම අවම වන ආකාරයෙන් ක්‍රියා කරන ආකාරය පිළිබඳව දෙමාපියන්ට උපදෙස් ලබා දෙන ආයතනද ක්‍රියාත්මක වේ. 

ලන්ඩන් විශ්වවිද්‍යාලය මඟින් පළ කරන ලද සමීක්ෂණ වාර්තාවක සඳහන් ආකාරයට බිඳ වැටුණු පවුල් වල දරුවන් අනෙකුත් පවුල් වල දරුවන්ට සාපේක්ෂව ආර්ථික අහේනියට මුහුණ පෑමට, චර්යා රටාව පිළිබද ගැටළු වලට ලක් වීමට, අධ්‍යපන කටයුතු වල දී අඩු කුසලතා පෙන්වීමට, නිතර වෛද්‍ය ප්‍රතිකාර ගැනීමට සිදු වීමට, අඩු වයසින් පාසල් හැරයාම ආදී දේ සඳහා ලක් වීමට වැඩි අවදානමක් ඇත. එසේම අඩු වයසින් ලිංගික ක්‍රියාකාරකම් වල නියැලීම, අඩු වයසින් ගැබ් ගැනීම, අඩු වයසින් දෙමාපියන් බවට පත් වීම මෙන්ම මනෝවිෂාදයට ලක් වීම, මත්පැන් හා මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වීම ආදියට වැඩි අවදානමක් ඇති බවයි. 

දික්කසාද වූ දෙමාපියන් නැවත විවාහ වීම දරුවන් වෙත ඇති කරන බලපෑම තීව‍්‍ර කිරීමට හේතුවන බවද සමීක්ෂණ වලින් හෙළි වී තිබේ. මොනෑෂ් විශ්ව විද්‍යාලයේ වෛද්‍ය අධ්‍යපන ආයතනය මඟින් ප්‍රකාශයට පත් කළ සාහිත්‍යය සමීක්ෂණයකට අනුව නොබිඳුනු පවුල් වල දරුවන් හා, දෙමාපියන් දෙදෙනාගෙන් එක් අයෙකු සමඟ ජිවත් වන දරුවන්ට වඩා නැවත විවාහ වූ දෙමාපියන් ගේ දරුවන් අධ්‍යපන කටයුතු වල දී අඩු ප්‍රතිපල ලබාගන්නා බවයි.

දෙමාපියන් වෙන් වූ පසු ආර්ථික අපහසුතා වලට දරුවන් ලක් වීම බොහෝ සමීක්ෂණ වලින් හෙළි වන අතරම ඊට ප්‍රතිවිරුද්ධ ලෙස ආර්ථික බලපෑමට ලක්වන දරුවන්ද සිටින බව පැහැදිළි කරුණකි. දික්කසාද වූ සමහර දෙමව්පියන් (බොහෝ විට දික්කසාද වීමට වගකිවයුතු පාර්ශ්වය) තම වරදකාරී හැඟීම සමනය කර ගැනීම සඳහා දරුවන්ට අනවශ්‍ය තරම් මුදල් ලබා දීම, මිළ අධික ත්‍යාග ලබා දීම සිදුකරයි. එහෙත් මෙමඟින් දරුවන්ට සිදු වන හානිය, ආර්ථික අපහසුතා නිසා ඇතිවන හානියටත් වඩා ප්‍රබල විය හැකිය. 
එහෙත් දෙමාපියන් තේරුම් ගැනීමට අවශ්‍ය කරුණ වන්නේ දරුවන්ට වඩා වැදගත් වන්නේ දෙමාපියන් ඔවුන් සමඟ කාලය ගත කිරීම මිස මිළ අධික ත්‍යාග නොවන බවයි. 

කෙසේ වෙතත් මේ සියළු කරණු පිළිබඳ අප තුළ ඇති පසුගාමී ආකල්පයේ අනිසි ප්‍රතිපලය වන්නේ බිඳ වැටෙන පවුල් වල දරුවන්ට එමඟින් ඇති වන පීඩනය අවම කිරීමට විධිමත් හෝ අවිධිමත් යාන්ත්‍රනයක්‌ බිහි නොවීමයි. එබැවින් මේ පිළිබද සාකච්ඡාවකට මුල පිරිම කාලීන අවශ්‍යතාවකි. 

Tharanga de silva | තරංගා ද සිල්වා

මුලාශ්‍ර:
1. Impact of Family Breakdown on Children's' Well- Being, Institute of Education, University of London, London:2009
2. The Well- Being of Children Following Parenting Separation and Divorce Research Consortium- Literature Review- Monash University, Melbourne: 2002