Pages

Saturday, August 27, 2011

ලෙයින් තෙත් වුණු ඉතිහාසයක මහා තිර සිත්තම ගාමණී

අපේ රටේ ඇඟට දැනෙන
යුද සාහිත්‍යක්‌ බිහිවුණේ නැහැ   ගාමණී අධ්‍යක්‍ෂ රියර් අද්මිරාල් සරත් වීරසේකර 
ගෝනගල සිංහල ගම්මානය අම්පාර දිස්‌ත්‍රික්‌කයේ උහන පොලිස්‌ බල ප්‍රදේශයට අයත් ඉතා දුෂ්කර ගමකි. මීට අවුරුදු 12 කට ඉහත දී එනම්, 1999 වසරේ අගෝස්‌තු 25 වැනිදා එම ගම්මානයට කඩා වැදුණු ම්ලේච්ඡ කොටි ත්‍රස්‌තවාදීන් නිරායුධ ගම්වැසියන් ඝාතනය කරා ඔබට මතකද ?

කුරා කුහුඹුවකුටවත් වරදක්‌ නොකර ජීවත් වූ සිංහල මිනිසුන් 57 ක්‌ මෙම ඛේදවාචකයට මුහුණදුන්නා.

තම මාතෘභූමියට දරුවන් ජනිත කිරීමට සිටි ගැබිනි මව්වරුන්, කටේ කිරි සුවඳවත් මැකී නොගිය බහ තෝරන සිඟිති දරු පැටවුන්, තම අඹු දරුවන්ගේ ජීවිත රකින්න මහ පොළව සමග ගැටී අනේක දුක්‌ කම්කටොළුවලින් මිරිකෙන ගොවීන් අමු අමුවේ කපා කොටා ඝාතනය කළා. එම අහිංසකයන්ට මේ ඉරණමට මුහුණදෙන්නට සිදුවූයේද කොටි ප්‍රහාරයකින් මියගිය ගැමියෙකුගේ තුන් මාසෙ බණට සහභාගි වී සිටියදීය. ගෝනගල ගම්මානය ලෙයින් තෙත් කළ පුවත එදා මාධ්‍යයෙන් වාර්තා කළ අයුරු ඔබට මතකද?

ගෝනගල පමණක්‌ නොව මුළුමහත් ශ්‍රී ලංකාවම කඳුළින් තෙත් කළ මෙම සිදුවීම යළිත් අපේ මතකයට නැඟෙමින් තිබේ. ම්ලේච්ඡ එල්. ටී. ටී. ඊ. ත්‍රස්‌තවාදය මේ වන විට මෙරටින් සහමුලින්ම අතුගා දමා හමාරය. නමුත් ගෝනගල සිදුවීම ගැන අපේ රටේ සිනමාහල් අසල යළිත් බොහෝ පිරිස්‌ කතා බහ කරන්නට පටන්ගෙන ඇත. ඒ මෙරට බිහි වූ දේශප්‍රේමියකු අතින් ගෝනගල සිදුවීම සෙලියුලොයිඩ් පටයක්‌ හරහා රිදී තිරයට ගෙන ඒමත් සමගය. හේ අන්කවරෙකුවත් නොව රියර් අද්මිරාල් සරත් වීරසේකරය.

1971 වසරේ කැඩේට්‌ නිලධාරියකු ලෙස ශ්‍රී ලංකා නාවික හමුදාවට බැඳුණු ඔහු 2001 වසරේ රියර් අද්මිරාල් ධුරයට උසස්‌ වූ අතර 2005 වසරේ නාවික හමුදාවේ ප්‍රධාන මාණ්‌ඩලික තනතුරට ද පත්විය. 2006 වසරේ නාවික හමුදාවෙන් විශ්‍රාමගත් ඔහු යළිත් මේ රටේ සිවිල් ආරක්‍ෂක බළකායේ අධ්‍යක්‍ෂ ජනරාල් ධුරයටද පත්විය. 2010 වසරේ එයින්ද සමුගත්තේ අම්පාර දිස්‌ත්‍රික්‌කයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයකටද හිමිකම් කියමිනි.

ඇසින් දුටුවන්ගේ හෘද සාක්‍ෂිය "ගාමණී" ඔහුගේ මංගල සිනමා නිර්මාණයයි. සනත්, දිල්හානි, බිමල්, ඩබ්. ජයසිරි, ගීතා කාන්ති, වීණා ජයකොඩි, දමිතා අබේරත්න, රත්නා ලාලනී, මහේන්ද්‍ර පෙරේරා, සුජානි මේනකා, ගිහාන් ප්‍රනාන්දු, කුමාර තිරිමාදුර, ජගත් බෙනරගම, ජගත් චමිල, මුතු තරංගා, අනුරුද්ධිකා පාදුක්‌කගේ ඇතුළු නළු නිළියන් රැසක්‌ මෙහි රංගනයෙන් දායක වන අතර නිෂ්පාදනය උපාලි රාජපක්‍ෂගෙනි.

"මම අවුරුදු 38 ක්‌ හමුදා සේවයේ නියෑළුණ නිලධාරියෙක්‌. ඒ වගේම මේ යුද්ධයේ ආරම්භයේ සිට අවසානය දක්‌වා ගමන් කළ නිලධාරීන් ස්‌වල්ප දෙනාගෙන් ද එක්‌කෙනෙක්‌. යුද වැදුණු සෙබළාගේ මානසිකත්වය ගැන හොඳ අවබෝධයක්‌ තිබෙනවා. ඉතිං ඔවුන් සමග මෙහෙයුම්වලට සහභාගි වී වැඩ කරද්දී ඒ කැපවීම මම දුටුවා. නමුත් එම සෙබළා තුළ යම්කිසි වේදනාවක්‌ තිබුණා ඇයි මේ අය වෙනුවෙන් සිනමාවක්‌ බිහිනොවන්නේ කියලා. ඕනෑම රටක යුද්ධයක්‌ තිබෙනවා නම් යුද සාහිත්‍යයක්‌ බිහිවෙනවා. නමුත් අපේ රටේ ඇඟට දැනෙන යුද සාහිත්‍යයක්‌ බිහිවුණේ නැහැ. ඉතිං මම කල්පනා කළා සිනමා ක්‍ෂේත්‍රයේ තිබුණ ඒ හිඩැස නැතිනම් රික්‌තය පුරවන්න. ඒ අහිංසක වෑයමේ ප්‍රතිඵලය තමයි"

"ගාමණී" යනුවෙන් රියර් අද්මිරාල් සරත් වීරසේකර මෙවැනි නිර්මාණයක්‌ කිරීමට අදහස්‌ කළ හැටි පවසමින් අපත් සමග කතාබහට මුල පිරීය.

සත්‍ය සිදුවීම වුණු ස්‌ථානයමද රූ ගැන්වීමට යොදාගත්තේ ?

නැහැ. අම්පාර දිස්‌ත්‍රික්‌කයේ උහන ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසයේ උහන කියන ගමේ තමයි මේ සිදුවීම වුණේ. අපි ඒ හා සමානම ගමක්‌ නිර්මාණය කළා පුත්තලමේ කරුවලගස්‌වැව කියන ප්‍රදේශයේ.

එතකොට දර්ශන තලය නිර්මාණය කළේ කොහොමද?

අපි ගෝනගල ගමට ගොස්‌ දින ගණනාවක්‌ එම පරිසරය පිළිබඳව දැඩි පරීක්‍ෂාවක්‌ සිදුකළා. ගමේ මිනිසුන්ගේ හැසිරීම් රටාව, ගමේ පන්සල පිහිටා තිබෙන ආකාරය, ආරක්‍ෂාවට යොදවා ඇති සිවිල් ආරක්‍ෂක බළකායේ කඳවුරු
ස්‌ථානගත කළ අයුරු, වගේම තවත් බෙහෝ දෑ පිsළිබඳව විමසා සිටියා. එහෙම චිත්ත රූපයක්‌ මවාගෙන තමයි දර්ශන තලය සැකසුවේ. එය ඉතාමත් සාර්ථක වුණා කියලා අපි හිතනවා. 


රූගත කිරීමේදී බොහෝ බාධකවලට මුහුණදෙන්න සිදුවෙනවා. එවැනි බාධක ගාමණී රූගත කිරීම තුළත් සිදුවුණාද?

පළමු බාධකය තමයි නිෂ්පාදකවරයෙක්‌ සොයාගැනීම. මගේ පළමු නිර්මාණය නිසා නිෂ්පාදකවරු මෙයට දායක වෙන්න කැමැත්තක්‌ දැක්‌වූයේ නැහැ. පළමුවෙන් කෙනෙක්‌ කතා කරලා බැහැ කිව්වා. දෙවනුව තවත් කෙනෙක්‌ ගිවිසුම් අත්සන් කරන්න සූදානමින් සිටියදී මගහැරියා. මම ඔවුන්ට දොස්‌ කියන්නේ නැහැ. නවක අධ්‍යක්‍ෂවරයෙක්‌ නිසා චිත්‍රපටය අසාර්ථක වෙන්න පුළුවන් යෑයි ඔවුන් හිතන්න ඇති. එවැනි වාතාවරණයක්‌ උඩ තමයි මගේ නවක නිෂ්පාදකවරයා උපාලි රාජපක්‍ෂ ඒ වගකීම භාරගත්තේ. එතුමා මේ කාර්යය භාරගත්තේ නැතිනම් මේ තිරපිටපත තවමත් මේසයක්‌ උඩ හෝ ලාච්චුවක තිබෙන්න පුළුවන්.

දෙවැනි අභියෝගය වුණේ මිනී පෙට්‌ටි 57 ක්‌ රැගෙන යැම. එවිට මිනිස්‌සු 400 ක්‌ 500 ක්‌ පමණ හැසිරවීම බැරෑරුම් වැඩක්‌. මේක රූගත කිරීමක්‌ කියලා හැමෝම දන්නවා. එක මිනිහෙක්‌ හරි හිනාවුණා නම් සම්පූර්ණ දර්ශනයෙන්ම වැඩක්‌ නැතිවෙනවා. ඒ අභියෝගය අපි ජයගත්තා. අනෙක්‌ වැදගත් කාරණාව තමයි මේ සත්‍ය සිදුවීම සිදුවුණ අවස්‌ථාවේ මළ සිරුරු 57 භූමිදාන කරන විටත් ස්‌වභාව සෞන්දර්යය පවා කම්පා වුණා. එහි ප්‍රතිඵලයක්‌ විදිහට මළ සිරුරු ඩෝසර් යොදවලා වළ දමන විට මහා වරුසාවක්‌ ආවා. අපේ නිර්මාණයේ එම රූගත කිරීම කරන විටත් කොහේ දෝ යන මහ වැස්‌සක්‌ කඩා වැටුණා. එය හ7රියට ආශ්චර්යයක්‌ වගේ. ඒ තුළින් අපේ නිර්මාණයේ තාත්වික බව වැඩිවුණා. එදා මිනී පෙට්‌ටි වළලන විට තිබූ තත්ත්වය සිනමා නිර්මාණයේදී ප්‍රතිනිර්මාණය වුණා.

ඔය අතරේ සිදුවුණ රසමුසු අවස්‌ථා එහෙමත් ඇති නේද ?

මේ නිර්මාණයේ ත්‍රාසය, භීතිය, සංවේගය සංකලනය කිරීම තුළින් තමයි නිර්මාණය කළේ. එහෙම තුලනයක්‌ නොවුණොත් චිත්‍රපටයක්‌ සම්පූර්ණ වෙන්නේ නැහැ. හමුදා පුහුණුව රූගත කරන්න පෙර බිමල් සහ කුමාර තිරිමාදුරට ගල්කිරියාගම යුද හමුදා පුහුණු කඳවුරේ පුහුණුවක්‌ පවා ලබාදුන්නා. ඒ සාජන්වරුන්ගෙන් ලබාගත් ආභාෂය තමයි ඔවුන් නිර්මාණයට එකතු කළේ. එය ඉතා රසවත් ලෙස ඉදිරිපත් කළා කියලා මම හිතනවා.

මේ ඔබේ පළමු නිර්මාණය. එම අභියෝගය ජයගත්තේ කොහොමද කිව්වොත් ?

මගේ පළමු තිර රචනය හා අධ්‍යක්‍ෂණය තමයි ගාමණී. ඒ වගේම කැමරා අධ්‍යක්‍ෂවරයාගේද පළමු සිනමා නිර්මාණයත් ගාමණී. මම හිතන්නේ අපිට මේ කාර්යය ජයගන්න පුළුවන් වුණේ අපේ රට වෙනුවෙන්, සෙබළා වෙනුවෙන්, ජාතිය වෙනුවෙන් මේ දෙය කරපු නිසා වෙන්න ඇති. රූගත කිරීමට පෙර මම ශ්‍රී මහාබෝධිය පාමුල තිරපිටපත තබලා බාරයක්‌ වුණේ ත්‍රස්‌තවාදයේ ම්ලේච්ඡත්වය ලොවට පෙන්වීමට වගේම අපේ උරුමයන් කියාපාන, සෙබළාගේ චිත්ත ධෛර්යය නංවන, අහිංසක ගමක වැසියන් කොහොමද ජීවත්වන්නේ කියන කාරණා මේ සිනමා නිර්මාණය තුළින් සාර්ථක ලෙස පෙන්නුම් කරන්නට හැකියාව ලැබෙන්න කියලයි. අනික මම හිත පිරිසිදුව මේ කටයුත්තට අතගහපු එකත් බලපාන්න ඇති.

රංගන ශිල්පීන් ශිල්පිනියන් තෝරාගත් ආකාරය ගැනත් යමක්‌ පැවසුවොත් ....?

මනා පුහුණුවක්‌ මෙන්ම හොඳ අවබෝධයකින් හෙබි යුද හමුදා නිලධාරියා සේවයෙන් ඉවත්වී යැමට සැරසෙන අවස්‌ථාවේ එය රටට කරන අසාධාරණයක්‌ වගේම මිනිසුන්ට කරන ආසාධාරණයක්‌ ලෙස පෙන්වා දෙන්න මෙහිදී පාසල් ගුරුවරිය මනා ලෙස කටයුතු කරනවා. එම චරිත දෙක රඟදක්‌වන බිමල් ජයකොඩි සහ දිල්හානි ඒකනායක එම කාර්යයන් මනාවට ඉටුකරනවා. මට හිතෙනවා ගුරුවරියගේ චරිතය දිල්හානි හරියට නිරූපණය කළා කියලා. ඒ විතරක්‌ නෙමෙයි කුමාර තිරිමාදුර, ඩබ්ලිව්. ජයසිරි මෙහි ඉහළින්ම හැකියාවන් පෙන්වනවා. විශේෂයෙන් සනත් ගුණතිලක මහතාත් මෙම චිත්‍රපටයට ලොකු කැපකිරීමක්‌ සිදුකළා. එතුමා කොණ්‌ඩය කපා මට උපරිමයෙන් සහාය ලබාදුන්නා. ඔවුන් සැමදෙනාම මේ දේවල් කළේ කොන්දේසි විරහිතව. මේ නිර්මාණයේ කුඩා චරිතයකට පවා දායක වුණ අයගෙන් හොඳ සහායක්‌ ලැබුණ නිසයි මට මේ කාර්යය හොඳින් ඉටුකරගන්න පුළුවන් වුණේ.


දිනේෂ් විතාන Sunday Divaina
(ඡායාරූප අනුග්‍රහය රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා විසිනි)