Pages

Tuesday, June 14, 2011

පළමුවෙන්ම ඔබ ගැන සිතන්න ...


හැඩැති සිරුර සුන්දරය. නිරෝගීය. ශරීරයේ බර පාලනය තුළින් හැඩැති සිරුරක්‌ මෙන් ම යොවුන් පෙනුමක්‌ ද ලබා ගත හැකි බව ඔබ සිතුවා ද? 

පළමුව ඔබ මේ ගැන සිතන්න. ඔබ අයත් වන්නේ කිනම් බර පරාසයකට ද? ඔබේ සිරුරේ බර පිළිබඳව ඔබ තෘප්තිමත් නොවන්නේ ද? ඔබ ඔබගේ බර පාලනය කළ යුතු බව සිතන්නේ aද? ඔබ ඔබගේ බර පාලනය නොකිරීමෙන් සෞඛය තර්ජනයකට ලක්‌ව ඇතිබව සිතනවාද? 

ඉහත ගැටළු 04 න් එකකට හෝ 04 ට ම හෝ කිහිපයකට හෝ ඔව් යන පිළිතුර ලැබුණ විට ඔබ ඔබ පිළිබඳව වඩාත් සැලකිලිමත් යුතුමය. 

ඔබගේ දේහ බර තීරණය කරනු ලබන්නේ ආහාර ,ව්‍යායාම සහ ඔබේ සිරුරේ ශක්‌තිය දහනය වන ආකාරය මත වේ. 

කෙනෙකුට හිතකර දේහ බරක්‌ තිබේ. එය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස්‌ වන අතර ගණනය කර ගැනීමද අපහසු කාර්යයක්‌ නොවේ. 


දේහ බර නිර්ණය කිරීම 

පළමුව ඔබේ උස මැන ගන්න. උදාහරණයක්‌ ලෙස ඔබේ උස මීටර් 1.5 ක්‌ ලෙස ගනිමු. ඊළඟට ඔබගේ බර මැන ගන්න. එය කිලෝග්‍රෑම් 50 ක්‌ ලෙස ගනිමු. ඉන්පසුව බර කිලෝග්‍රෑම් වලින් ගත්කළ ලැබෙන අගය උස මීටර් වලින් ගෙන වර්ග කිරීමෙන් ලැබෙන අගයෙන් බෙදන්න. එසේ ලැබෙන අගය ඔබේ ශරීරයේ ස්‌කන්ධ දර්ශකය Body mass Index - BMI ලෙස හඳුන්වයි. more


ශරීර ස්‌කන්ධ දර්ශකය හෙවත් BMI අගය 

* මෙම අගය 18. 5 ට අඩුනම් ඔබගේ බර නියමිත දේහ බරට වඩා අඩුය. 

* මෙම අගය 18.5 සහ 25 අතර නම් ඔබ හිතකර දේහ බරකින් යුක්‌තය. 

* ශරීර ස්‌කන්ධ දර්ශකය 25 ක්‌ 30 ත් අතර නම් ඔබට නියමිත බරට වඩා වැඩි බරක්‌ ඇත. ඔබ බර අඩු කර ගත යුතුය.

* ශරීර ස්‌කන්ධ දර්ශකය 30 ට වැඩි නම් ඔබ ස්‌ථුලතාවයෙන් පෙළෙන අතර ඔබගේ දේහ බර අඩුකර ගත යුතුව ඇත. 

ඔබගේ දේහ බර සමන්විත වන්නේ දේහ තරල, අවයව , මාංශ පේශි, අස්‌ථි සහ මේදයේ එකතුවෙනි. ශරීරයේ මේද ප්‍රමාණය වැඩිවීම හිතකර නොවේ. එබැවින් ඔබේ ශරීරයේ මේද තැන්පත් වී ඇති ආකාරය පිළිබඳ දැනුවත් වීම ස්‌ථුලභාවය සහ ඒ හා සම්බන්ධ සෞඛය අවධානම පිළිබඳ අනතුරු අගවයි. 


පිරිමින්ට විශේෂිත වූ ස්‌ථුලතාවය 

* ඇපල් ගෙඩියක හැඩැති තරබාරු සිරුරක්‌ හිමිය.

* කලගෙඩියක ස්‌වරුපයක්‌ සහිත විශාල උදරයක්‌ හිමිය.

* ප්‍රමාණයෙන් කුඩා තට්‌ටම් සහ කලවා සහිත වේ. 

මෙවැනි ස්‌ථුලතාවයෙන් පෙළෙන අය හෘද රෝග , දියවැඩියාව, අධික රුධිර පීඩනය සහ විවිධ පිළිකාවලට ගොඳුරුවීමේ අවදානම් සහිත අය වේ. 


කාන්තාවන්ට විශේෂිත වූ ස්‌ථුලතාවය 

* පෙයාර්ස්‌ ගෙඩියක හැඩැති තරබාරු සිරුරකි 

* සාමාන්‍යයෙන් උදරයත්, තරමක්‌ විශාල තට්‌ටම් සහ කලවා සහිත වේ.සාමාන්‍යයෙන් මෙම ස්‌ථුලතාවය මගින් සෞඛ්‍යයට ඇත්තේ අඩු අවදානමකි. 


ශරීරයේ මේද තැන්පත්වී ඇති ආකාරය අනුව දේහයේ හැඩය නිර්ණය වේ. 

මෙය ඔබට කළ හැකි නිර්ණයකි. 

උදරය සැහැල්ලුවට ඇති විට නාභිය හරහා ඉණේ වට ප්‍රමාණය මනින්න. ඉන්පසු තට්‌ටම්වල පළලම ප්‍රදේශය හරහා උකුලේ වට ප්‍රමාණය මනින්න. ඉණේ වට ප්‍රමාණය උකුලේ වටප්‍රමාණයෙන් බෙදා අනුපාතය ලබාගන්න. එම අනුපාතය පිරිමින් තුළ 0.9 ට වැඩිනම් සහ කාන්තාවන්ගේ 0.8 ට වැඩිනම් ඔවුන්ට හිමිව ඇත්තේ ඇපල් හැඩැති සිරුරකි. 

සිරුරේ හැඩය හෝ ශරීරයේ ස්‌කන්ධ දර්ශකය නිවැරදි පරාසයක්‌ තුළ නොවේනම් එම තත්ත්වය නිවැරදි කර ගැනීමට ඔබ කළ යුත්තේ විධිමත් ලෙස ආහාර පාලනය කිරීම, ශාරීරික ක්‍රියාකාරකම් වැඩිකිරීම , ඔබගේ ජීවන රටාව ක්‍රමවත් කිරීම වැනි ක්‍රියාකාරකම් වේ.


සෞඛ්‍ය අධ්‍යාපන කාර්යංශයේ පැවති වැඩමුළුවක තොරතුරු ඇසුරින්.- හරින්දී ලියනගේ - Navaliya