Pages

Sunday, June 19, 2011

ආදරයේ අකල් වැස්ස හෙවත් හැර ගිය පෙම්වතකුගේ පුනරාගමනය

අකලට වට මහ වරුසාවක් සේ
අසුබ දිනක ආ සුබ පැතුමක් සේ
මා හැර ගිය ඔබ
නොසිතූ මොහොතක
ඇයි දෝ යළි ආවේ
පෙර දා මෙන් හද මල් පිපුණා දෝ
සතුටු කඳුළු නුවනග මිදුනාදෝ
අතීත ආදර නටබුන් අතරේ
මන්දිර මැව්වාදෝ
සොවක් නැතේ නොසිතනු මැන සංකා
ඔබෙන් ලබනු කුමට ද අනුකම්පා
රජෙකුට හිමි වූ මා දැන් රැජිණකි
සතුටයි කිරුළ අපේ
හෙට හමුවීමෙන් කිසිදු පලක් නෑ
ඔබෙ ඇරයුම පිළිගන්න හිතක් නෑ
විමසන වදනට පිළිතුරු දෙන්නම්
ළඟකදි ලබන දිනේ
පද රචනය – දයා ද අල්විස්
සංගීතය – නන්දා මාලිනී
ගායනය – නිරංජලා සරෝජිනි

වැසි වැසිය යුත්තේ නියම කාලයටයි. අකලට වැසි වැටුණු විට විවිධ ගැටලු හට ගනී. එසේ ම සුබ පැතුම් ලැබිය යුත්තේ සුබ දිනයක දී ය. එය අසුබ දිනකදී ලද විට ආනන්දයක් ලද නොහැකි වෙයි. දයා ද අල්විස් රචිකාව ද හැරගිය පෙම්වතකු ගේ පුනරාගමනය සනිටුහන් කරන්නී එසේ ය. ඇයට තමා හැර ගිය පෙම්වතා ගේ යළි පැමිණීම අකලට වට වැස්සකි. අසුබ දිනක ආ සුබ පැතුමකි. ගීතමය ගුණය ද කාව්‍යාත්මක ගුණය ද එකසේ ගැබ් වූ පද පෙළකින් මේ ගීතය ඇරඹෙයි.
more
”අකලට වට මහ වරුසාවක් සේ
අසුබ දිනක ආ සුබ පැතුමක් සේ
මා හැර ගිය ඔබ නොසිතූ මොහොතක
ඇයි දෝ යළි
 ආවේ
යෞවනය තුළ මෙන්ම යෞවනය පසු කළ කල් හි ද සුලබ වූ අනුභූතියක් මේ තුළ රසිකයාට මුණ ගැසෙයි. කලක් ප්‍රේමයෙන් පසු වුවද ඔහු වරෙක ඇය හැර දමා යයි. කාලයාගේ ඇවෑමෙන් ඇය ඒ විරහ වේදනාව ඉවසමින් හිත හදා ගනියි. එහෙත් අනපේක්ක්‍ෂිත මොහොතක ඔහු ඇගේ සෙනෙහස යළි අයදියි. දැන් ඇයට එය අකලට වට වරුසාවකි. අසුබ දිනක ආ සුබ පැතුමකි.
ඈ තුළ ඔහු කෙරෙහි වෛරයක් ඉතිරි වී නොමැත. ඇය ඔහු හා බැඳුණු අතීතය මෙනෙහි කරනුයේ උපේක්‍ෂාවෙනි. අතීත ආදර නටබුන් වලට පෙම් බඳින්නට ඔහු යළිඳු පටන්ගෙන ඇති බව ඇයට වැටහෙයි.
”පෙර දා මෙන් හද මල් පිපුණා දෝ
සතුටු කඳුළු නුවනඟ මිදුණාදෝ
අතීත ආදර නටබුන් අතරේ
මන්දිර මැව්වා දෝ”
එසේ අතීත ආදර නටබුන් මැද ඔහු ගොඩනඟන මන්දිරයට පිවිසීමට දැන් ඇයට නොහැකි ය. ඇය දැන් ජීවිතය අලුතින් පටන්ගෙන තිබේ. අතීත මතක සුවඳට ඈ තවමත් ඇලුම් කරන නමුත් ඇය හැඟීම් බරව ඒ වෙත යළි ඇදීයාමට උත්සාහ නොකරන්නීය. තමා අලුතින් ගොඩනඟා ඇති මන්දිරය ඇය බිඳ නොගනී.
සොවක් නැතේ නොසිතනු මැන සංකා
ඔබෙන් ලබනු කුමට ද අනුකම්පා
රජෙකුට හිමි වූ මා දැන් රැජිනකි
සතුටයි කිරුළ අපේ...
ඇයට දැන් පෙම්වතෙකු සිටියි. එබැවින් ඔහුගේ අනුකම්පාව අනවශ්‍යය. ඇයම පවසන පරිදි ඇය දැන් සතුට කිරුළු පැලඳි රජෙකුට හිමි රැජිනකි. සැබැවින්ම ඇය බොරුවක් නොකියනවා විය යුතුය. ඇය ඔහුට පවසන්නේ සත්‍යයක් හෝ මිථ්‍යාවක් වේවා, මිය ගිය සෙනෙහසක් ඉදිරියේ තමා හඬා වැටෙන බව නොපෙන්වා සිටීමට ඇය වග බලාගනියි. ඇතැම් විට ඇය හුදෙකලාව අතීතය සිහි කරමින් හඬා වැටුණ ද ඔහු ඉදිරියේ තම ආත්මයේ අභිමානය රැක ගැනීමට තැත් කරන බව පැහැදිලි ය. මේ නිසා ඇය, ඇයට නුහුරු දැඩි බවක් ආරූඪ කර ගනී.
හෙට හමුවීමෙන් කිසිදු පලක් නෑ
ඔබෙ ඇරයුම පිළිගන්න හිතක් නෑ
විමසන වදනට පිළිතුරු දෙන්නම්
ළඟකදි ලබන දිනේ...
සැබවින්ම මේ අවසාන කොටස අමුතුවෙන් නොලියුවද රචිකාව තම තෙමාව ගීතයේ දෙවන කොටස අවසන් වන විට දැනුම්වත් කොට හමාර ය. ඒ නිසා අවසන් කොටස ඇය නොලියා සිටිය ද ගීයට හානියක් නොවන බව මගේ හැඟීමයි.
මේ ගීතයේ තවත් විශේෂත්වයක් වන්නේ මේ පැරණි පෙම්වතා ගේ පුනරාගමනය කෙතරම් දැඩි වචනවලින් ප්‍රතික්‍ෂේප කළ ද ඒ වචනවල තිබෙන දැඩි බව තරුණියගේ හදවතේ නොමැති බව සෑම විටම ප්‍රදර්ශනය වීමයි. පහත යෙදුම් ඒ සඳහා නිදසුන් ය.
”පෙර දා මෙන් හද මල් පිපුණා දෝ
සතුටු කඳුළු නුවනඟ මිදුණා දෝ”
ඇයට සෑම විට ම අවශ්‍ය වන්නේ ඔහු තමා දමාගිය ද තමා හඬා නොවැටෙන බව ඔහුව දැනුම්වත් කිරීමටයි. ඇය මවාගත් දැඩි බවකින් කටයුතු කරන බව පැහැදිලි ය. එසේ ම ඇය ඔහුට තවමත් යටි හිතින් ආලය කරයි. ප්‍රථම ප්‍රේමය ලේසියෙන් අමතක කර දැමිය නොහැකිය.
මේ ගීතයේ තවත් විශේෂත්වයක් වන්නේ කාන්තාවන් ත්‍රිත්වයක එකතුවක් වීමයි. තිදෙනා ම ජීවිතයේ වරක් හෝ මෙබඳු අත්දැකීමක් ලබන්නට ඇති බව මගේ හැඟීමයි. මා එසේ පවසන්නේ ඒ තරම් හැඟීම් බර බවක් පද රචනය, ගායනය හා සංගීතය තුළ ගැබ්වී පවතින බැවිනි.
මේ ගීතය මුල්වරට ඇසුවේ මීට වසර තිහකට පෙර ය. එකල මේ ගීය පිරිමි ළමුන් අතරට වඩා ගැහැනු ළමුන් අතර ජනපි‍්‍රය ගීයකි. නන්දා මාලිනියගේ “රන්කෙන්දෙන් බැඳි” ගීය තරම් ම ගැහැනු ළමුන් අතර මේ ගීය ජනපි‍්‍රය වූ බව මා සිහි කරන්නේ, පාසල් බිත්තිවල කුරුටු ගී ලෙස ද මේ ගී පද ලියා තිබෙනු මා බාලිකා පාසලක දුටු බැවිනි.
මේ පද රචනය තුළ සුමියුරු කවියක් පවතී. එහි එන කාව්‍යාත්මක යෙදුම් රසික හදවත් නිර්ව්‍යාජ ලෙස ස්පර්ශ කිරීමට සමත් ය. නන්දා මාලිනිය ගේ සංගීතය ඔස්සේ පෙරීගෙන එන නිරංජලා ගේ හඬ අප හදවත් තෙමාගෙන යයි. අතීතයට තාමත් ආදරය කරමින් අනාගතය සොයා යන හැඟීම් බර යුවතියක ගේ ආත්ම ප්‍රකාශනයක් යළි යළිත් හදවතේ දෝංකාර දෙයි. අහෝ! ඇය රජකුට හිමි නොවුණා නම්....