Pages

Sunday, June 19, 2011

මොන දේවල් ලැබුණත් මට ඔයා නැතුව බෑ...

ආදරවන්තයා හෝ ආදරවන්තිය තමන් ළඟින්ම ඉන්නවා නම් ඒ තරම් මිහිරක්‌ තවත් තියෙනවද... දවසක්‌... සතියක්‌ නොවේ මාසයක්‌ වුණත් පෙම්බස්‌ මුමුණ මුමුණා ළඟට වෙලා ඉන්න ඇත්නම්. ළඟින්ම ඉන්නවා වගේ තමයි ඈතින් ඉන්නා විටත් එකිනෙකා කෙරෙහි ඇති ආදරය වැඩි වෙනවා. නොදකින්න... නොදකින්න... බැඳීම තව තවත් දැඩි වෙනවා. 

පිනි වැටුණට සුදු නෙළුමට බර වැඩිවෙන්නෑ
මල පිපුනට පිනි බිඳුවල වෙනසක්‌ වෙන්නෑ
ළඟ නොමැතිව දුර හිටියට අමතක වෙන්නෑ
ඔයාගෙ ඔය පුංචි හිතට දුකක්‌ දෙන්න බෑ

සුදු නෙළුමක්‌ මත පිනි ඉහිරුණාම කොතරම් ලස්‌සනද... ඒත් ඒ පිනි නෙළුමට බරක්‌ නොවෙයි. මලක්‌ පිපුණයි කියලා එහි තියෙන පිනි බිඳුවලට වෙනසක්‌ වෙන්නෙත් නැහැ. ඒ වගේම තමයි ඔයා... ඈතක හිටියත් මට අමතක වෙන්නෙ නැහැ. මං කොහොමද ඔයාගෙ ඔය හිතට දුකක්‌ දෙන්නේ....

more

මේ පෙම්වතා සහ පෙම්වතිය ඉන්නේ එකිනෙකාට ඈතින්. ඒ නිසාම ඈ කෙරෙහි ඔහුගේ හිතේ තියෙන ආදරය වැඩි වෙනවා.

මේ ගීය තරුණ පරපුර අතර වඩාත් ජනප්‍රියයි. තනු නිර්මාණයත් ගායකයාගේමයි. ඒ රොෂාන් ප්‍රනාන්දු. පද මාලාව නම් එතරම් ගැඹුරු නැහැ. සරලයි. අරුත තේරුම් ගෙන ගීය රස විඳින්න එතරම් අසීරු නැහැ.

මම හිතන දෙයක්‌ තමයි මා අතින් නිර්මාණය වෙන ගී පද මාලා හුඟක්‌ම සරල විය යුතුයි කියන එක. එවිට ඒ ගීය ඕනෑම කෙනෙකුට රස විඳින්න පුළුවන්. ගීතය ගමට යා යුතුයි. එහෙම නම් එහි වචන සරල වෙන්න ඕනෑ. එතකොට තමයි ගායකයා ජනප්‍රිය වෙන්නෙ. සත්‍යජිත් ලක්‌මාල් මේ ගීතයේ පද රචකයා දක්‌වන අදහස්‌ ඒ.

සිරගත කළ සිතිවිලිවල කිසි අඩුවක්‌ නෑ
අපි ගතකළ තැන් තැන්වල මතකය යන්නෑ
වෙනදට වැඩියෙන් ආදරෙ කිසි වෙනසක්‌ නෑ
මොන දේවල් ලැබුණත් මට ඔයා නැතුව බෑ

අපි දෙන්න ඉන්නේ ඈතින්. මගේ හිත ආදර සිතිවිලිවලින් පිරිලා. ඒවා හිත තුළ හිරවෙලා. ඒ සිරගත කළ සිතිවිලි එන්න එන්නම වැඩි වෙනවා මිස අඩු වෙන්නේ නැහැ. අපි දෙන්නා හමුවූ විටදී ඇවිදගිය තැන්... කාලය ගතකළ තැන්... කවදාවත් මතකයෙන් ඈතට යන්නේ නැහැ. ඔයාට මගේ හිතේ තියෙන ආදරේත් කිසිම වෙනසක්‌ නැහැ. ඒ ආදරේ එදා වගේමයි. මට මොන තරම් වටිනා දේ ලැබුණත් ඒවයින් පලක්‌ නැහැ... ඔයා නැත්නම්.

මේ පෙම්වතාගේ සිතිවිලි. සත්‍යජිත් ගී පද පෙළකට ඇමිණුවේ කොහොමද... ඔහු ඒ ගැන කතා කළා.

දවසක්‌ හලාවත කොළඹ මුතුකුමාරි දුම්රියේ මම ගමන් කළා. මේක කාර්යාල දුම්රියක්‌. හිරවෙලා තමයි ගියේ. කැලණිය ළං වෙද්දී මම දැක්‌කා තැන තැන මැටිවලට වළවල් කපලා. ඒ වළවල්වල වතුරත් පිරිලා. එක වළක ඕලු මලක්‌ පිපිලා තිබුණා. ඒ මල හරිම අමාරුවෙන් තමයි එතැන පිපිලා තිබුණේ. මේ මල පිපී තියෙන්නේ පිපෙන්න සුදුසු තැනක නොවේ. ඒ නිසාම කොතරම් සුන්දර වුණත් මේ මලට වැඩි ආයුෂ නැහැ කියලා මට හිතුණා. ඔය මතකය සමග කාලය ගතවෙලා ගියා. රොෂාන්ට කැසට්‌ එකකට සින්දුවක්‌ හදන්න උවමනා වුණා. අර සිද්ධිය මගේ මතකයට ආවා. මමත්, රොෂානුත් එකට එකතුවෙලා තමයි ගීත හදන්නේ. එහෙම වුණාම ගීතය සාර්ථක වෙනවා. ගීයක්‌ හදද්දී අපි සාකච්ඡා කරනවා. තරහා වෙනවා. වැරැදුණාම රණ්‌ඩු වෙනවා. ආපහු එකතුවෙලා ගීතය හදනවා. මේ ගීයත් ඒ විදිහට තමයි ඉපැදුණේ.

අදට වඩා හොඳ දවසක්‌ හෙට නැති වෙන්නෑ
ඔබ ළඟ ඉන්නව නම් මට කාලය යන්නෑ
දිනාගන්න ඔයාව හැර වෙන කිසිවක්‌ නෑ
මොන දේවල් ලැබුණත් මට ඔයා නැතුව බෑ

හෙට දවස අදට වඩා හොඳවේවි. ඔයා මගේ ළඟින්ම ඉන්නවා නම්... ඒක මොන තරම් සතුටක්‌ද...කාලය කොතරම් ගතවුණත් එය මට දැනෙන එකක්‌ නැහැ. මට මගේ ජීවිතයේ ජය ගන්න ඕනේ කියලා. කිසිම දෙයක්‌ නැහැ දිනාගන්න. තියෙන්නේ එකම එක වස්‌තුවයි. ආදරණීය පෙම්වන්තියේ... ඒ වස්‌තුව ඔයා හැර වෙන කුමක්‌ද... වෙන කිසිම දෙයක්‌ මට එපා. මට ඕනේ ඔයාව විතරමයි.

සත්‍යජිත් ලක්‌මාල්. රොෂාන්ට විතරක්‌ නොවේ. තරුණ ජනප්‍රිය ගායකයන් කිහිප දෙනකුටම ගීත ලියූ පද රචකයෙක්‌. සත්‍යජිත් ජීවිතය ගැන කිසියම් කළකිරීමකින් ඉන්නේ. ඊට හේතුව කියන්න ඔහු එතරම් කැමැත්තක්‌ නැහැ. දැන් සත්‍යජිත් ඉන්නේ ඉතාම අසරණ තත්ත්වයක. කොළඹ ඇස්‌ රෝහලෙන්, නවලෝක රෝහලෙන් මෙන්ම පිළිකා රෝහලෙන්ද සත්‍යජිත් මේ දවස්‌වල ප්‍රතිකාර ලබනවා. සත්‍යජිත් ලක්‌මාල්... විශාල රසිකයෝ පිරිසකගේ ආදරය දිනාගත් ගී පද රචකයෙක්‌. ඒ නිසාම ඒ රසික පිරිසගේ ආශිර්වාදය සත්‍යජිත්ට නිරතුරුවම ලැබෙනවා.

අජිත් අලහකෝන් Divaina