Pages

Thursday, June 30, 2011

තාත්තා වශයෙන් ඔබ දරුවන් අතර ජනප්‍රිය ද?

අම්මා ගෙදර බුදුන් ලෙසත්, සෙනෙහසේ ප්‍රතිමුර්තිය ලෙසත් සිය ප්‍රතිරූපය මවා ගනිද්දී දරුවන්ගේ ලෝකය තුළත් ඒ තරමට ම සමාන දායකත්වය ලබන පියවරුන් ගැන ගුණ ගායනය ප්‍රමාණවත් නොවේය යන අදහස අද අපේ සිත් තුළද ඇත. ඔබ හොඳ පියෙක්‌දැයි වූ ස්‌වයං තක්‌සේරුව වෙනුවෙන් වූ මිනුම් කීපයක්‌ පිළිබඳව අවධානය යොමු කරමින් මේ ගැන ඔබටම තක්‌සේරුවක්‌ ගොඩ නගා ගත හැක. 

1. බිරිඳට දක්‌වන ආදරය. 

දරුවන්ට හොඳ පියෙක්‌ වන පුද්ගලයා නිතරම සිය බිරිඳ පිළිබඳවද යහපත් ප්‍රතිචාර දක්‌වන්නෙක්‌ බව අමතක නොකළ යුතුය. ඔහු බිරිඳට ආදරය සෙනෙහස මෙන්ම ගෞරවය දක්‌වන්නෙක්‌ වීම අවශ්‍යය. දරුවන් ඉදිරියේ බිරිඳ නිගාවට පත් කරන්නා යහපත් පිය චරිතයක ලා අගය කිරීම අසීරුය. පවුලක මව් චරිතය සඳහා වූ නිසි තක්‌සේරුවක්‌ ලබා දෙන්නාට දරුවන් විෂයෙහි සම්මානනීය පියෙකු වීම එතරම් අපහසු නැත. 

2. ආත්මාර්ථකාමී නොවන්න 

පියෙකු ලෙසින් වූ ඔබගේ අභිමානය පවත්වා ගැනීම සඳහා වූ ආධිපත්‍ය ගොඩ නගා ගැනීම අවශ්‍යයෙන් ම සිදුවිය යුත්තක්‌ නොවේ. පවුලක පියෙකු විසින් ගොඩ නැගිය යුත්තේ ආධිපත්‍ය නොව පියා මුල් කර ගත්තා වූ අභිමානයකි. මේ සඳහා පියා නිතරම පරාර්ථකාමිවීම අවශ්‍යය. පවුලක ගෞරවණීය පිළිගැනීමට නම් තම අණසකට සියල්ලන්ම යටත් කර ගැනීම නොව තමන්ගේ ආත්මාර්ථයට වඩා පවුලක සිටින සියළු දෙනාගේම අදහස්‌ උදහස්‌ සඳහා වූ ගැලපීම මත පරාර්ථකාමී ලෙස හැසිරීම සාර්ථක පිය චරිතයක්‌ ගොඩ නැගීමෙහි ලා දායක වේ. more

3. මානුෂීය ගුණාංගයන්ගෙන් යුක්‌ත වීම 

මවකගේ චරිතය මූර්තිමත් වන්නේ දයාව, කරුණාව මුල් කර ගෙනය. පියවරුන් තුළද එම ගුණාංගයන් නොමැත්තේම නොවුනද එවන් වූ සංවේදී බව ඔවුන් වෙතින් මුර්තිමත් වීම අවශ්‍යය. දරුවන්ගේ වැරැදි නිවැරැදි කිරීමේදී පියා විසින් දක්‌වන ප්‍රතිචාර දඬුවම පිළිබඳව දරුවාට ඇතිවෙන අපහසුතාව පිළිබඳව මානුෂිකව සිතීම අවශ්‍යය. පියෙකු ලෙස සිතට නැගෙන ආවේග, කෝපය දරුවා වෙතින් පිරිමසා ගන්නට තරම් අමානුෂික වන පියෙක්‌ පිළිබඳව දරුවාගේ සිතට නැගෙන චිත්‍රය එතරම් සුබවාදී නැත. 

4. පවුලේ වැදගත් සිදුවීම් මතකයේ තබා ගැනීම 

ජීවිතයේ සිදුවෙන දහසකුත් එකක්‌ සිදුවීම් අතර ඔබ මතකයේ රඳවා ගන්නේ ඔබට කිසියම් වටිනාකමක්‌ ඇති සිදුවීම් පමණි. මේ අතරින් දරුවාගේ උපන්දිනය, ඔවුන් ඉගෙන ගන්නා පන්ති ඔවුන්ගේ විභාග ප්‍රතිඵල ආදි ලෙසින් වූ වැදගත් සනිටුහන් හොඳ පියෙකුගේ මතකයෙන් ගිලිහි නොයනු ඇත. මේ සිදුවීම් මතකයේ ඇති විට තමා පිළිබඳ වටිනාකමක්‌ පියාගේ සිත තුළ තිබේ. යන සිතුවිල්ලෙන් දරුවාගේ සිතට කිසියම් අභිමානයක්‌ ඇති වෙන අතර අපේ තාත්තා වටිනා පුද්ගලයෙක්‌ය යන සිතුවිල්ල ඉබේටම සිත උපත ලබනු ඇත. 

5. නම්‍යශිලි වීම 

පියෙකු ලෙස ඔබ ගත් තීන්දු තීරණ යලිත් වරක්‌ වෙනස්‌ව ගියොත් එයින් ඔබගේ ප්‍රතිරූපය බිඳ වැටේ යෑයි කිසි විටෙක නොසිතන්න. කාලය අවස්‌ථාව අනුව තීරණය වෙනස්‌ නොවුනවිට ඔබ දැඩි පාලකයෙකු මිස දරුවන්ගේ සමීප මිතුරෙක්‌ වීමට තිබෙන අවස්‌ථාව ඉබේටම ගිලිහෙනු ඇත. 

නමුත් බොහෝ අවස්‌ථාවලදී සාකච්ඡා මගින් මුලින් එළැඹී තීරණය වෙනසකට පත් වීම නිසා තමා හෑල්ලුවට පත් වේ යෑයි සිතා දරුවන්ට අපහසුවන පරිදි කටයුතු කිරීම සාර්ථක පියෙකුගේ ගති ලක්‌ෂණයක්‌ නොවේ. 

6. සැහැල්ලූ චරිතයක්‌ වීම 

ජීවිතයේ අප බොහෝ සේ බර දරන බව සැබෑවක්‌ වුවද, එම බර සිත දරා වෙහෙස කර ලෙසින් ජීවිතය ගොඩ නගා ගැනීම එතරම් ප්‍රතිඵලදායක නැත. පියෙකු ලෙස ඔබ ජීවිතයෙහි හෙම්බත්ව සිටින විට දරුවන්ටද නිවස තුළ වූ නීරස බව නිසාම පියා පිළිබඳව ගොඩ නැගෙන්නේ අප්‍රසන්න හැඟීමකි. දරුවන් සමඟ ගත කරන සීමිත කාලසීමාව විනෝදය, සැහැල්ලුව දරුවන්ට පියා පිළිබඳව වූ ප්‍රසන්න ප්‍රතිරූපයක්‌ ගොඩ නගා ගන්නට හේතු වේ. 

දරුවෙකු සමඟ මව්පියන් අතර ගොඩ නැගෙන සම්බන්ධතාව ජීව විද්‍යාත්මක බවෙන් ඔබ්බට ගිය ඉතාම සුහදශීලි ප්‍රිය සමාගමක්‌ වන්නේ නම් ඔබ පියෙකු ලෙස දරුවන් අතර ජනප්‍රිය චරිතයක්‌ ගොඩ නගනු ඇත.


පුන්‍යා චාන්දනී ද සිල්වා Navaliya