Pages

Sunday, February 27, 2011

අපෙ හඬ අරගෙන ඈත හඬන සක්වා ලිහිණී....


නව සහශ්‍රකය බිහිවන්නේ සිංහල ගීතයේ ගමන්මඟ එක්වරම අහුරා දමමිනි. 1977 න් පසු උපන් 77 දරුවන් යෞවනයට පා තබන්නේ නව සහශ්‍රකය මතිනි.
විවෘත වෙළඳපොළ, රූපවාහිනී නාලිකා සහ ගුවන් විදුලි නාලිකා ඔවුන්ගේ ඇස, කන වර්ණවත් කරමින් මනස අපවිත්‍ර කළහ. ඒ නිසා නවසහශ්‍රය තුළ කවියන් ගීත රචකයන් බිහිවූයේ අල්ප වශයෙනි. මේ දශකය තුළ මතු වූ කලාකරුවෝ වැඩි දෙනෙක් හැත්තෑහතේ දරුවෝ නොවූහ. එහෙත් කවියකු ගීත රචකයකු කෙටිකතාකරුවකු ලෙසින් බිහිවන අමිල තේනුවර වූ කලී හැත්තෑහතේ දරුවෙකි. ඔහු සුවිශේෂ වන්නේ එබැවිනි.
සරු ගසක් වැවෙන්නට සරු පොහොර ඇවැසි ය. ඇතැම්විට නව යෞවනයේ දොරකඩ, විශිෂ්ට ගුරුවරුන් ලැබීම විශිෂ්ට කලාකරුවන් ඇසුරට ලැබීම කෙනෙකුගේ ප්‍රතිභාව ඔපවත් වීමට හේතුවෙයි.
ගුණදාස කපුගේසමිතා එරන්දතී මුදුන්කොටුව

අමිල තේනුවරට ඒ වාසනාව හිමි වුණා විය යුතුය. එවිට වයසට වඩා පරිණත නිර්මාණ බිහි කළ හැකිය. නව සහශ්‍රකයේ මුණගැසෙන කාව්‍යක්කාරයන් අතළොස්ස අතරට අමිල තේනුවර ද එක්වන්නේ එබැවිනි. “සක්වාලිහිණි” නැමැති ගීතය ඒ සඳහා කදිම උදාහරණයකි.
සක්වාලිහිණි වූ කලි තවත් එක් ලිහිණි වර්ගයකි. මොවුහූ පෙම්වතුන් වශයෙන් දවල් කාලයේ එකිනෙකා සමීපයේ ළබැඳි ව ගඟ දෑලේ කල් ගෙවති.
එහෙත් සඳපායන රාත්‍රියේ දෙදෙනා ඉවුරේ දෙපසට වෙන් ව යති. එතැන් සිට ඉවුරු දෙපස සිට ඔවුහු විරහ වේදනාවෙන් හඬා වැටෙති. “සක්වා දා” නැමැති ජාතක කතාවේද මෙබඳු පුවතක් දක්නට හැකිය.
මඟුල් ලකුණු එකසිය අටෙන් එකකට අයත් මේ සක්වාලිහිණින්ට ස්වභාව ධර්මයෙන් නියම කර ඇති දඬුවම අරුම පුදුම ය.

Read more
ඒ නිසාම සක්වාලිහිණින්ගේ හඬා වැටීම විරහ විරහනීන්ගේ හඬාවැටීමට බෙහෙවින් සමාන ය. මේ පාරිසරික සිද්ධාන්තය තත්කාලීන සමාජ දේශපාලන ආර්ථික තලය මත ස්ථාපිත කිරීමට අමිල තේනුවර උත්සාහ දරයි.
මෙහි ප්‍රථමයෙන් හමුවන්නේ ආර්ථිකය ජය ගැනීමට දුර රටකට යාමට සැරසෙන තම සැමියාට දුක සඟවාගෙන ඔහුගේ චිත්ත ධෛර්යය වඩවමින් සුබ පතන බිරියකි.

අමිල තේනුවර

”දඬු මොනරෙ පිටින් ගිහින් එන්න
පෙම්බර ස්වාමී
දරු පැටව් බලා ඉන්නම්
ඔබ නමින්ම පේවී...


මේ ඒ මොහොතේ ඈ තුළ ඇතිවන මනෝභාවයකි. හෙට දවසේ ඇයට දරුපැටවු බලාගැනීම ඇතැම් විට ගැටලුවක් විය හැකිය. එහෙත් ඈ ස්වාමියාගේ සිත නොබිඳ, තම ආත්ම විශ්වාසය ප්‍රකට කරයි. මට බර්ටෝල්ට් බ්‍රෙෂ්ට් ගේ “හුණුවටයේ කතාව“ සිහිවෙයි. සයිමන් සෂාවා යුද පෙරමුණට යන විට ගෲෂා මෙසේ පවසන්නී ය.

”යුද භටය යන යුදයට
හිඳින්නෙමි මම ඔබ එනතුරා
යනුය නොපැකිළ සටනට
ලෙයින් නැහැවුණු කුරිරු යුද බිම”


දුක සඟවාගෙන ගෲෂා කළ ප්‍රකාශයට සමාන ප්‍රකාශයක් මේ බිරියගේ මුවින් ද පිටවේ’ මෙයට සැමියා දක්වන ප්‍රතිචාරය කුමක් ද?

”පුන්සඳ කොපුලත කඳුළු බිංදු
වියලී යාවී
අපෙ හඬ අරගෙන ඈත අඬන
සක්වා ලිහිණී”


දුක්බර බවක් අවට පරිසරයේ පවතී. ඒ සක්වා ලිහිණියන් ගේ හඬයි. ගඟ දෑල හිඳ වැලපෙන සක්වා ලිහිණින්ට දුක පවරා දී අඹුසැමියෝ නිහඬ ව සිටිති. අවසානයට දුටු බිරිඳගේ මුවමඬල, සඳමඬල සේ සැමියා දකියි. සඳමඬලේ කඳුළු බිංදු වියළෙන්නේ ඒ කඳුළු සක්වා ලිහිණියන් ගේ හඬට මුසු වී ඇති බැවිනි.

”දොළොස් මහේ පාන පත්තු වෙලා
හදවතේ”


තම දූ දරුවන් වෙනුවෙන් මෙහෙවරට යන සැමියා ගැන මතකය දොළොස්මහේ පහනක් ම ය. මේ වෙන්වන මොහොත අතිශයින් හැඟීම් බර බැවින් සැමියා ගේ සිතුවිලි අමිල තේනුවර මෙසේ ගීයට නගයි.

”ගිය ගමන් තැපැල් කරමී
සඳ කිඳුරු ජාතකේ
නාඬන්න දේවියේ....”


පති භක්තිය පිළිබඳ උත්තරීතර ලියවිල්ල සඳකිඳුරු ජාතකයයි. තම ආදරණීය බිරිය සමඟ සංසාරයෙන් සංසාරයට බැඳී එන සෙනෙහස මේ මොහොතේ ඔහුගේ හදවතේ උද්දීපනය වේ.
සඳකිඳුරු ජාතකය තැපැල් කර එවීමෙන් සංකේතවත් වන්නේ තම බිරිය පිළිබඳ කෘතගුණය මූලික කරගත් අපරිමිත ස්නේහයක් සැමියාගේ හදවතේ රැඳී ඇති බවයි.
එක්තරා ආකාරයකින් මෙය ද අභිනික්මනකි. ආධ්‍යාත්මික විමුක්තිය පතාගෙන සිද්ධාර්ථයන් අබිනික්මන් කරන ලදී. මේ සැමියාට බිරිය දරුවන් දමා අබිනික්මන් කරන්නට සිදුවන්නේ ආර්ථික විමුක්තිය අරභයා ය. එදා කන්ථක අශ්වයා නේරංජනාව තරණය කළා සේ අද ඔහුට ගුවන් යානයකින් සමුදුර තරණය කරන්නට සිදුවී තිබේ.

”නේරංජාවද මා මේ එතෙරව ආවේ”

එදා ඒ අබිනික්මනේ දී තිරිසන් සතෙකුගේ ද ළය උණු වී පැලී ගියේය. එහෙත් අහස් යන්ත්‍රයක එසේ ළය උණු නොවේ. නොපැලේ. වර්තමානයේ මානව හදවත් පවා අසංවේදී වී ඇති ආකාරය රචකයා සංකේතවත් කරයි.

”යකඩින් ළය සදා තිබුණු අහස් යන්තරේ
කන්ථක අසුමෙන් ළය පැළෙන්නෙ නෑ හිමි සඳුනේ
මම නාඩා ඉන්නේ...”


වෙන් වීමේ දුක ඔවුන්ම විඳගත යුතුය. ඔවුන් ගැන කඳුළක් ඔවුන්ම හෙළනු විනා වෙන කිසිවෙක් නොහෙළති. එහෙත් මේ බිරිය කඳුළු සඟවා ගන්නීය. ඒ කඳුළු සැලීමෙන් පලක් නොමැති බව ඈ හොඳින් දන්නා බැවිනි.
ලූෂන් බුලත් සිංහලයන් ගේ “දම් පාටින් ළා සඳ බැස යනවා”, රත්න ශ්‍රී විජේසිංහයන්ගේ “මගෙ බිසව්නේ අසාපන්” වැනි නිර්මාණයන්ගෙන් අමිල, උත්තේජනය ලබා ඇති බව පැහැදිලි ය. එහෙත් එම නිර්මාණ අනුකරණය කිරීමට ඔහු උත්සාහ නොකරයි.
ආදරය, හුදෙක් මනෝලෝක නැමැති වලාකුළු මතම පාවෙවී නොපවතී. ආදරයද මහපොළවේ පය ගැසිය යුතුය. පොළව මත ආදරය පය තැබූ විට සුන්දරත්වය ද අසුන්දරත්වය ද උපේක්‍ෂාවෙන් විඳගත යුතු වෙයි. නැතිනම් අසුන්දරත්වය සුන්දරත්වයකට හැරවිය යුතුවෙයි. අමිල තේනුවර ඒ අසුන්දරත්වය සුන්දරත්වය කරා ගෙන එයි.
ගංගාවක් නිසල ව ගලා බසියි. මුළු පරිසරය සඳ රැසින් නැහැවී ගොසිනි. දිවා කල ළඟින් සිටි සක්වාලිහිණි ජෝඩුව ස්වභාව ධර්මයේ නියාමයන්ට අනුව දෙපසට වෙන් කර තිබේ. උණුසුම අහිමි ව ඔවුහු ගඟ දෑලේ දෙපස සිට වැලපෙති. ආර්ථික, දේශපාලන, සංස්කෘතික නියාමයන්ට අනුව දුරස් වූ මානව සක්වාලිහිණින් ගේ විලාපය ඒ හා මුසුව ඈත කඳු යායක හැපී දෝංකාරය දෙයි. ඒ දෝංකාරය මගේ සවන පාරන බැවින් මම මෙතැනින් නවතිමි.