Pages

Saturday, October 26, 2013

කඳුළ

කඳුළු කියන්නෙ ඔබටත් මටත් සුපුරුදු දෙයක් නොවෙයි. මේ ලෝකෙ කොතැනකවත් එක වතාවක් හරි කඳුළක් නොහෙළපු කෙනෙක් සොයා ගන්න නෑ. කෙනෙකුට දුකක් හෝ සතුටක් දැනුණු විට කඳුළ ඒ පුද්ගලයා වෙතට ළං වෙන්නෙ නිරායාසයෙන්මයි. අපි හැමදෙනාම මේ ලෝකෙ එළිය දකින්නෙ හඬාගෙන. ඒ වගේම අලුත උපන් දරුවගෙ මූණ බලන මවකගේ දෑස සතුටු කඳුළින් ඉතිරිලා යනවා.

සමහරු කියනවා කඳුළු හෙළන්නෙ සිත දුර්වල පුද්ගලයන් කියලා. එහෙම කිව්වට දුකක්, වේදනාවක්, සතුටක් දැනුණු විට කඳුළුවලින් ඒ හැඟීම පිටකරගත්තම මනසට දැනෙන පීඩනය අඩු වෙනවා. කඳුළු කෙනෙක් දුර්වල කරනවා සේම කෙනෙකුට ශක්තියක් වෙන්නත් පුළුවන්.

අද සමාජය දිහා බැලුවම කඳුළුවලට කදිම වෙළෙඳපොළක් තියෙනවා. කඳුළු අලෙවි කරලා දිවිගෙවන පුද්ගලයන් වගේම අනුන්ගෙ කඳුළු අලෙවි කරන පුද්ගලයොත් බොහෝ සෙයින් ඉන්නවා. ඒ වගේම සතුටින් ඉන්න කෙනෙකුගේ ඇහැට ඇඟිල්ලෙන් ඇනලා අඬවන අයත් අද නොඅඩුවම දක්නට ලැබෙනවා. මේ අතරෙ ලෝකයට පෙනෙන්නට මුවින් සිනාසෙමින් සිතින් දහස් වාරයක් හඬන පුද්ගලයොත් අපේ සමාජයෙ ඉන්නවා. ඔවුන්ගෙ හදවතේ ගලන කඳුළු ගංගාව කාටවත් පේන්නෙ නෑ.

යස ඉසුරු මහල් මන්දිර හමුවේ සොම්නසින් ජය පැන් පානය කරන විට වටේ කැරකෙන දහස් දෙනා අතරෙදි ඔබේ ඇසට කඳුළක් නැඟුණා මතකද? පසුකලෙකදී කිතු යසස් ගිලිහී අතේ සතේ නැතිවුණු දා ඔබේ ළඟ ඉතුරු වුණේ ඒ කඳුළ පමණයි. අපට කරදරයක් වුණාම කඳුළ අපේ ළඟ ඉඳගෙන දුක තුනී කරනවා. ලැබීම් හා නොලැබීම් හමුවේ කඳුළු අපට මිතුරෙකු වෙනවා.

ඔබත් මමත් මීට පෙර හඬන්නට ඇත. තවමත් හඬනවා ඇති. අපි කඳුළු අතරින් නැඟිටින්න උත්සාහ කරමු. මන්ද ලෝකයේ නැවුම් වෙනසක් ඇති කළේ කඳුළු අතරින් නැඟිට්ට මිනිස්සු නිසා. ඒ වගේම ලෝකයේ අද ඉහළින්ම වැජඹෙන්නෙ කඳුළු හමුවේ නොසැලුණු මිනිස්සු නිසා.

බූස්ස නයනි වත්සලා - Silumina