Pages

Monday, October 21, 2013

සිත් බිඳීම් සුව වෙන්න කාලයක් ගතවෙනවා

දැඩි සිත් ‍ෙව්දනාවකට මුහුණදීමෙන් පසුව ඉදිරියේදී කුමක් කළ යුතු ද යන ප්‍රශ්නය නිතර නිතර අපගේ සිතට නැ‍ඟෙන දෙයකි. එම සිදුවීමට මුහුණ දුන් පුද්ගලයාට ඉදිරිය පිළිබඳව ප්‍රශ්න වැලක් මතුව එයි. ඒවාට පිළිතුරු සොයා ගන්නේ කෙසේද යන ගැටලුව ද නිතර මතුව එයි.

එම ගැටලු සියල්ලට ම එකවර පිළිතුරු සොයා ගැනීමට නොහැකි ය. ඒවාට පිළිතුරු ලැබෙන්නේ නියම කාලය පැමිණි විට ය. එතෙක් එම ප්‍රශ්නවලට පිළිතුරු සෙවීම අසාර්ථක දෙයකි.

හදිසියේ ම අනපේක්ෂිත ලෙස මුහුණ දුන් කනගාටුදායක සිදුවීම් නිසා දැඩි ලෙස සිත් පීඩාවට පත්වූ තිදෙනෙක් තමන් මුහුණ දුන් සිදුවීම් මෙසේ විස්තර කළහ.

පළමු පුද්ගලයාගේ මිත්‍රයෙකු ඔහුට විශාල මුදලක් වංචාකර පලාගොස් තිබුණි. මුදල මෙන් ම මිත්‍රයාද අහිමි වීම නිසා ඔහුට කරකියාගත හැකි දෙයක් නොවී ය.

දෙවන පුද්ගලයාට හදිසියේ ම තම රැකියාව අහිමි විය. එයට හේතුව වෙනත් පුද්ගලයන්ගේ කුමන්ත්‍රණයක් යැයි ඔහු පවසයි. රැකියාව අහිමි වීමත් සමඟ ම ඔහු ආර්ථික ප්‍රශ්න පවුල් ප්‍රශ්න සහ සමාජීය ගැටලු රැසකට මුහුණ දී සිටී. ඔහුට වෙනත් රැකියාවක් කිරීමට තරම් මානසිකත්වයක් ද නැත.

තෙවන පුද්ගලයාගේ ගැටලුව වූයේ තමන්ගේ ආදර සම්බන්ධය හදිසියේ ම දෙදරා යාමයි. තමන්ගේ ජීවිතයේ එකම සතුට, සැනසීම වූ එය අනපේක්ෂිත ලෙස තමන්ගෙන් ගිලිහී යාම ‍ඔහුට දරා ගැනීමට අපොහොසත් වී ඇත.

ඉහත සඳහන් කළ තුන් දෙනා ම සිටියේ ජීවිතය පිළිබඳව දැඩි කලකිරීමකිනි. තම ප්‍රශ්නයෙන් කිසි දිනක, කිසි ලෙසකින් වත් නිදහස්වීමට නොහැකි වෙතැයි ඔවුහු සිතූහ. ඒ නිසා කිසිවක් සිතා ගැනීමටවත් කරගැනීමටවත් නොහැකි ව තම ජීවිතය පවා එපා වන තත්ත්වයකට ඔවුහු පත්වී සිටියහ.

ඉහත සඳහන් කළ ආකා‍රයේ අත් දැකීම්වලට ඔබ ද මුහුණ දී ඇතුවාට සැකයක් නැත. එවැනි අවස්ථාවලට මුහුණදීමට නොහැකිව, කළයුතු දේ කුමක් දැයි නොදැන අසරණව, රෝගී බවට පත්වී, තම ජීවිතවලින් පවා සමුගන්නා අය ද සිටිති.

අපට අපගේ ජීවිත කාලයේදී සෑදෙන විවිධ අමාරු අතරින් සුලභවම සෑදෙන අමාරුව කුමක් දැයි ඔබ දන්නවාද? සැබවින් ම අපට වැඩියෙන් ම සෑදෙන අමාරුව වන්නේ හිතේ අමාරුවයි. එයට හේතුව අප එදිනෙදා කියන කරන හැම දෙයක් ම සමඟ ඍජුවම බැඳී පවතින්නේ අපගේ සිත බැවිනි.

නිතර නිතර ඇතිවන හිතේ අමාරු නිසා කලක් ගතවන විට විශාදය (Depression) වැනි මානසික රෝග ඇතිවිය හැකි ය. එසේ ම සිත ලෙඩ වන විට අපගේ ගත ද ලෙඩ වීම වැළැක්විය නොහැකි ය.

එහෙත් හදිසියේ, අනපේක්ෂිත ලෙස ඇතිවන සිත් තැවුල මීට වඩා වෙනස් ය. එය සිදුවන්නේ යම් කිසි සිදුවීමක් ඇසුරු කරගෙන ය. ඉහත සඳහන් කළ උදාහරණවලට අමතරව, වෙනත් හේතු ද ඊට තිබිය හැකි ය. උදාහරණ ලෙස යම් සමීපතම පුද්ගලයෙකුගේ මරණයක් හෝ දැඩි ගිලන් බවක්, යම් ජයග්‍රහණයක් අහිමි වීමක්, අධික බයට පත්වීමක් වැනි දෙයක් වුව ද විය හැකියි.

එවැනි අවස්ථාවකදී අපගේ සිතත්, ගතත් දැඩි වෙනසකට භාජනය වෙයි.

ඇතැම් අය එකවරම සිහිසුන් වෙති. එය එක් අතකට ආරක්ෂක ක්‍රමවේදයක් යැයි සිතිය හැකිය. දැඩි කම්පනයක් එක දිගට දරාගෙන සිටීම අපට අහිතකර දෙයකි. ඇතැම් අය හඬමින් හෝ කෑගසමින් තමන්ගේ පීඩනය එළියට මුදාහරිති. දැඩි පීඩනයක් හිත තුළ සිරකර තබාගන්නවාට වඩා එය මුදාහැරීම හොඳ දෙයකි.

හිත ශක්තිමත් අයට නම් ජීවිතයේ ඕනෑම දෙයක් විඳදරා ගත හැකි ය. නමුත් එම හැකියාව සෑම කෙනෙකුටම නැත.

ප්‍රබල සිත් තැවුලක් ඇතිවූ විගස බොහෝ අය කරන්නේ තම ප්‍රිය මනාප අයගෙන්, සමාජයෙන් වෙන් වී හුදකලාව සිටීමට උත්සාහ කිරීමයි. එයට හේතුව එම දුකට හේතුවූ ගැටලුව විසඳා ගැනීමට වත් හිතට ශක්තියක් නැති වීම ය. ඔවුහු කරකියා ගැනීමට කිසිවක් නැතිව අසරණ වෙති. ඉදිරියට කළ යුතු දේ පිළිබඳව කිසිවක් සිතා ගැනීමටවත් නොහැකි තත්ත්වයට පත්වෙති. ඒ නිසා සමහරු ජීවිතය එපා වී සිය දිවි නසාගන්න තත්ත්වයට පවා පත්වෙති.

එවැනි තත්ත්වයට පත්වූ ඇතැම් අය කලහකාරී ලෙස ද හැසිරෙති. අධික කෝපයෙන් තමාව පීඩාවට පත්කළ අයගෙන් පළි ගැනීමට පවා පෙලඹෙති. ඇතැමුන් උත්සාහ කරන්නේ අනුන්ගෙන් නොව තමාගෙන් ම පළි ගැනීමට ය. තමන්ට ම දඬුවම් ලබාදීමට ය. මේ නිසා ඔවුහු හුදකලා වී සියලු වැඩ කටයුතු නවතා දමා නොකා නොබී සිටීමට උත්සාහ කරති.‍

කිසිවෙකුටත් තමන්ට ළං වීමට ඉඩ නොදී තමන්ගේ ම හිතට ඉබි යතුරු දමාගෙන සිටිති. දුක විඳවීමම තම ජීවිතය කරගෙන සිටිති. ඇතැම් අය මත්පැන් මත්ද්‍රව්‍ය වල පිහිට පතති.

ඒ දේවල් ඉතාම වැරදි ය. සිතෙන් ගතෙන් සෞඛ්‍යයට අහිතකර ය‍. එලෙස හැසිරීම නිසා ඔවුහු අනිවාර්යයෙන් ම රෝගීන් බවට පත් වෙති. නැතහොත් දැනටමත් ඔවුන් සතු රෝග ඇත්නම් ඒවා උත්සන්න වෙයි. ඒ නිසා එවැනි හදිසි සිත්තැවුලක් ඇති වූ විට ක්‍රියා කළ යුතු ආකාරය පිළිබඳව අවබෝධයක් තිබීම වැදගත් ය.

පහත දක්වා තිබෙන්නේ එවැනි අවස්ථාවලදී යොදාගත හැකි උපක්‍රම කීපයකි.

දුක සැප බෙදා ගැනීමට හොඳ හිත මිතුරන් අවශ්‍යයි

දුකට පත්වූ අය කළයුතු වන්නේ සමාජයෙන් හුදකලා වී තනිවී සිටීම නොව තමන්ට වඩාත් ප්‍රිය මනාප පුද්ගලයන් වැඩි වැඩියෙන් ඇසුරු කිරීම ය. එලෙස වෙනත් අය සමඟ සාකච්ඡා කිරීම මඟින් තමන්ගේ දුක තුනී වී යයි. දුක සැප බෙදා ගැනීම සඳහා ඕනෑ ම කෙනෙකුගේ ජීවිතයට හොඳ නෑදෑ හිත මිතුරන් සිටිය යුතු යැයි කියන්නේ ඒ නිසා ය.

යම් නිවසක අවමඟුලක් සිදුවූ සැණින් ඒ අවට සිටින නෑදෑ හිත මිතුරන් එම නිවසට රොක් වන්නේ ඒ නිසා ය. තම ඥාතියෙකු ගේ හදිසි වියෝව නිසා දැඩි කම්පනයට පත්වී සිටින එම නිවැසියන්ට එය මහත් සහනයකි‍. තමන්ගේ ආහාර පාන ආදී මූලික කටයුතු වත් කරගත නොහැකිව සිටින අයට අන් අයගේ උදවු අත්‍යවශ්‍ය වෙයි.

පෞද්ගලික ප්‍රශ්න හිතේ තද කරගෙන නොසිට මනෝ විද්‍යාත්මක උපදෙස් පතන්න

ඕනෑම දුක් මුසු සිදුවීමකින් පසුව ඇති වන සිත් තැවුල කාලයත් සමඟ සංසිඳී යන බව අප අත්දැකීමෙන් දනිමු. නමුත් බොහෝ දෙනෙකුට ඇති ගැටලුව එසේ තම සිත සාමාන්‍ය තත්ත්වයට පත් වන තුරු කාලය ගත කරන්නේ කෙසේද යන්නයි. ඒ සඳහා ඉහත සඳහන් කළ පරිදි තමන්ගේ නෑදෑ, හිත මිතුරන්ගේ ඇසුර පොත්පත්, පුවත්පත් කියවීම, වෙනත් ප්‍රදේශයක සංචාරය කිරීම වැනි කටයුත්තක් කළ හැකි ය.

ඇතැම් අයගේ ගැටලු ඉතා පෞද්ගලික ප්‍රශ්න වන අතර ඒවා කිසිවෙකුටත් පැවසීමට අපහසු ය. ඒ නිසා ඔවුහු ඒවා තම සිත් තුළ ම හිර කරගෙන සිතින් විඳවති.

එවැනි අයට මනෝ විද්‍යාත්මක උපදේශන සහ මනෝ චිකිත්සක ක්‍රමවල පිහිට ලබාගත හැකි ය. බටහිර රටවල නම් බොහෝ දෙනෙක් එවැනි මනෝවිද්‍යාත්මක උපක්‍රම වෙත නැඹුරු වෙති. නමුත් අප රටේ ඒ සඳහා ඇති නැඹුරුව ඉතා අඩු වීම කනගාටුවට කරුණකි.

අමිහිරි සිදුවීම් බලෙන් අමතක කිරීමට උත්සාහ ගැනීම නිෂ්ඵල ක්‍රියාවක්

තමන් එම සිදුවීමට මුහුණ දුන් පරිසරයෙන් තාවකාලිකව ඉවත් වී වෙනත් තැනකට යාම ද සුදුසු උපක්‍රමයකි. පැරණි පුද්ගලයන් සහ ස්ථාන මුණ ගැසෙන විට නැවතත් තමන්ගේ සිත පෑරීමට ඉඩ තිබේ. එසේ ම ඇතැම් අය එම අමිහිරි සිදුවීම අමතක වීම සඳහා වෙනත් වැඩ කටයුතුවල නිරත වෙති. වැඩ වැඩියෙන් කරති. තම ජීවිතය කාර්ය බහුල කර ගනිති. එවිට දුක්මුසු දේ ගැන සිතන්නට හෝ සිතෙන්නට වත් වෙලාවක් නැති වෙයි.

යම්කිසි අමිහිරි සිදුවීමක් බලෙන් අමතක කිරීමට ඇතැම් අය උත්සාහ කරති. එය අසාර්ථක දෙයක් බව කිව යුතු ය. අප යම් දෙයක් අමතක කිරීම සඳහා උත්සාහ දරන විට එය වැඩි වැඩියෙන් මතකයට නැඟී එයි. ඒ නිසා ඒ වෙනුවට කළ යුත්තේ එම සිදුවීම මතක් කිරීමට හෝ අමතක කිරීමට විශේෂ උත්සාහයක් නොගෙන වෙනත් වැඩ වල නිරත වීමයි. එවිට කාලයත් සමඟ සිතේ ඇති පීඩාව තුනී වී යයි. එම සිදුවීම සාමාන්‍ය දෙයක් ලෙස හැඟීමට පටන් ගනියි.

සමහර ප්‍රශ්නවලට පිළිතුරු ලැබෙන්නේ නියම කාලය පැමිණි විට ය

දැඩි කම්පනයකට මුහුණදීමෙන් පසුව ඉදිරියේදී කුමක් කළ යුතු ද යන ප්‍රශ්නය නිතර නිතර අපගේ සිතට නැ‍ඟෙන දෙයකි.

එම සිදුවීමට මුහුණ දුන් පුද්ගලයාට ඔහුගේ සිත් තුළට ඉදිරිය පිළිබඳව ප්‍රශ්න වැලක් මතුව එයි. ඒවාට පිළිතුරු සොයා ගන්නේ කෙසේද යන ගැටලුව ද නිතර මතුව එයි.

එම ගැටලු සියල්ලට ම එකවර පිළිතුරු සොයා ගැනීමට නොහැකි ය. ඒවාට පිළිතුරු ලැබෙන්නේ නියම කාලය පැමිණි විට ය. එතෙක් එම ප්‍රශ්නවලට පිළිතුරු සෙවීම අසාර්ථක දෙයකි.

එබැවින් එම ප්‍රශ්න යම් පොතක සටහන් කර තබා ඒවාට පිළිතුරු සෙවීම නිතර කළ යුතු ය. කාලය විසින් ඒවාට පිළිතුරු ලබාදෙනු ඇත.


දුක අමතක කරන්න බෙහෙත් නෑ

හදිසි සිදුවීමකදී ඇතිවන සිත් කම්පනය සඳහා ඖෂධ ප්‍රතිකාර යොදා ගත හැකි දැයි ඇතැම් අය විමසා සිටිති. ඇත්තෙන්ම ඒ සඳහා ඍජු ඖෂධයක් නැත. දැඩි කම්පනය නිසා සිතේ හා සිරුරේ ඇතිවන විවිධ අතුරු ආබාධ සඳහා යම් යම් ඖෂධ ප්‍රතිකාර නිර්දේශ කරන අවස්ථා ඇත. කෙසේ වෙතත් මේ කාරණයේදී ඖෂධවලට කළහැකි දෙය අවමය. එයට හේතුව හිත හදාගත යුත්තේ හිතෙන්ම වීමය.

දුක අමතක කිරීමට මත්පැන් වල පිහිට පැතීම තරම් අනුවණ කමක් තවත් නැත. එසේ කරන්නේ ප්‍රශ්නයට මුහුණ දීමට අසමත් දුර්වල පුද්ගලයෝය. ප්‍රශ්නයට මුහුණ නොදී ප්‍රශ්නයෙන් පලායාම තවත් ප්‍රශ්න රාශියක් ඇති කරවිය හැකි දෙයකි. ‍


මානසික ගැටලුවලට මුහුණ දීමට කල් තියා සූදානම් වෙමු

ඉහත ආකාරයේ මානසික ගැටලු ඕනෑම කෙනෙකුට ඇති විය හැකි බැවින් ඒ සඳහා කලින් සූදානම් වී සිටීම ඉතා වැදගත්ය. ප්‍රශ්නයකට මැදිවී අසරණ භාවයට පත්වූවාට පසු එයට විසඳුම් සොයනවාට වඩා කල්තියාම ඒ සඳහා සූදානමකින් පසුවීම ද ඉතා වැදගත් වෙයි.

දැඩි කලකිරීමක් ඇති වූ අය සියල්ල අතහැර දමා එක්වරම භාවනා කිරීම සඳහා යති. තවත් අය එවැනි වෙනත් ක්‍රියාකාරකම්වල නිරත‍ වෙති. එම දේවල් හොඳ දේවල් වුවද, ගැටලුවකට මැදිවුණ පුද්ගලයෙකුට එකවරම එවැනි දේවල නිරත වීම ලෙහෙසි පහසු කාර්යයක් නොවේ. උදාහරණයක් ලෙස භාවනා කිරීම සඳහා ඉතා විශාල කැපවීමක් හා උත්සාහයක් අවශ්‍යය. ඊට අමතරව ඒ සඳහා සුදුසු පරිසරයක්, ගුරුවරුන් මෙන්ම හොඳ මානසික සෞඛ්‍ය මට්ටමක් අවශ්‍ය වෙයි. එය දැඩි ලෙස කලකිරීමෙන් පසුවන අයෙකුට කළහැකි දෙයක් නොවේ.

ඒ නිසා අප හොඳින් සිටින කාල සීමාවේදී යම් භාවනාවක් වැනි දෙයක් හුරු කළහොත් යම් දිනකදී ඉහත සඳහන් කළ ආකාරයේ කලකිරීමක් හෝ සිත් පීඩාවක් ඇති වූ විට හිත හදා ගැනීම පහසුය.

භාවනා කිරීම අපහසු අයට නිදහස් පරිසරවල කාලය ගත කිරීම, සෞම්‍ය සංගීතය හෝ ස්වාභාවික ශබ්දවලට සවන් දීම වැනි අභ්‍යාසවල නිරත විය හැකිය. සායනික මෝහන ප්‍රතිකාර ද ඒ සඳහා ඉවහල් වෙයි. මෝහන ක්‍රමය මඟින් ඍජුවම කෙනෙකුගේ යටි සිතෙහි තැන්පත් වී ඇති පීඩාවල්, කම්පන ආදිය ඉවත් කොට ඔහුව සුවපත් කළ හැකිය.


දුක් කරදර එන්නේ විඳවන්න නොව යමක් ඉගෙන ගැනීමට බව සිතට ගන්න

අපට ජීවිතයේ හමුවන ඕනෑම ගැටලුවකට අවසාන වශයෙන් විසඳුම පවතින්නේ ඒවා පිළිබඳව නිවැරදි අවබෝධය ලබාගැනීම තුළය. හදිසි කම්පන, සිත් තැවුල් ඇති වීම ලෝකයේ කිසිවෙකුටත් වෙනස් නොකළ හැකි ස්වභාවයකි. මේ නිසා තම ජීවිත අත්දැකීම් ඇසුරෙන් සහ වෙනත් ආකාරයෙන් ලබාගන්නා දැනුම ඇසුරෙන් තම සිත් ශක්තිමත් කරගත යුතුය. එවිට එම ඕනෑම තත්වයකට මුහුණ දීමට අවශ්‍ය ශක්තිය තමාට ලැබෙයි.

ප්‍රශ්නයකට දැනටමත් මුහුණ දී සිටින අයෙකුට වුවත් නිවැරදි ක්‍රමවේදය යොදා ගනිමින් එයින් මිදුණු පසුව එම අත්දැකීම් ඇසුරෙන් ඉදිරි ජීවිතයට මුහුණදීම පහසු වෙයි. යම් සිදුවීමක් නිසා තමන්ගේ මුළු ජීවිතයම කඩා වැටෙන්නාක් මෙන්ම, එම අභියෝගය ජය ගැනීමෙන් තමන්ගේ මුළු ජීවිතයම යළි ගොඩනැඟිය හැකිය. ගැටලු සහ ප්‍රශ්න යනු තමන්ව පීඩාවට පත් කිරීම සඳහා පැමිණෙන දේ නොව, තමන්ට යමක් ඉගෙන ගෙන ඉදිරියට යාම සඳහා ලැබෙන අවස්ථා ලෙස සැලකිය යුතුය.

ප්‍රශ්න වලට මුහුණ දීමට බැරිව සියදිවි නසා ගන්නේ මානසික වශයෙන් ඉතා දුර්වල පුද්ලයෝය. යම් අයෙකු සියදිවි නසාගත් විට ඔහු වටේ සිටින අනෙක් අයද කබලෙන් ළිපට වැටෙති. අනෙක් අතට සියදිවි නසාගත් පුද්ගලයාට මරණයෙන් පසුව සිදුවන දෙය හරියටම කියන්නට පුළුවන් කෙනෙකු ද නැත. දැනට විඳීමට ඇති දුක ඉවසිය නොහැකි පුද්ගලයා ඊටත් වඩා දුකක් ඉවසන්නේ කෙසේද?

අමාරුවෙන් හෝ තම ජීවිතය ගැටගසා ගන්නා පුද්ගලයා සැබෑ දක්ෂයෙකි. අත් පා අහිමිව, ආබාධිතව, රෝගවලින් බැට කමින් තම ජීවිත ගැටගසාගන්නා අය කොතෙකුත් සිටීද? සිය දිවි නසා ගැනීමට හිතන අය එවැනි පුද්ගලයන් පිළිබඳව සිතිය යුතුය. ඔවුන් තම ජීවිතයට ආදර්ශයක් කර ගත යුතුය.

මහනුවර මහ රෝහලේ
හදිසි ප්‍රතිකාර එ්කකයේ ප්‍රධානී
සායනික මෝහන වෛද්‍ය
එච්. දමිත් හෙට්ටිආරච්චි
Silumina