Pages

Tuesday, November 17, 2015

මූණට කොඩිය දැමිල්ල

ප්‍රංශයේ පැරිස් නගරයට ත්‍රස්තවාදී ප්‍රහාරයක් එල්ල වෙලා. පහුගිය සතියේ ලොකු ලොකු ඈයෝ කනගාටුව ප්‍රකාශ කිරීමේ නිවේදන නිකුත් කරා. පොඩි පොඩි ඈයෝ ෆෙස්බුක් එකේ දෙපිළ බෙදිලා තමන්ගේ ප්‍රොපයිල් පිංතූරය වෙනස් කරන්න පටන් ගත්තා.සමහර පොඩි ඈයෝ ප්‍රංශයට සහය පළකරලා පාට පාට ප්‍රංශ කොඩියකට තමන්ගේ මූණ ඇතුළු කරලා.තවත් අය ලංකාවේ යුද්ධය තියෙන කාලෙවත් මෙහෙම කරේ නැති උන්ට මොන කැක්කුමක් කොහෙන් පාත්වුණාද කියලා ජාතික කොඩියට තමන්ගේ මූණ හයි කරලා තිබුණා.ඔන්න ඔහොම ප්‍රංශය වෙනුවෙන් මෙහේ ඈයෝ දෙපිළ බෙදෙනකොට අඹ ගහ යට පුංචලා පැංචිලාටත් මේකෙ රස්නය වැදුණා.

ගප්පි පුංචයි, වංශ පුංචයි දෙන්නම අඹ ගහ යටට ආවේ මූණ සිංහ කොඩියකින් පාටකරගෙන.ඒක දැකපු සුදු පුංචා ඈත තියාම හිනාවුණා.

“අම්මප ප්‍රංශෙට ගැහුවමත් මෙහෙ ජාතිකාභිමානේ කෙලින් වෙනවා සුදු පුංචා කින්ඩියක් දැම්මා.වංශ පුංචා, ගප්පි පුංචා දිහා බැලුවා.

“ලෝකෙ කොයි රටක කවුරු ත්‍රස්තවාදී කටයුත්තක් සිදුකෙරුවත් අපට අපේ රටේ ත්‍රස්තවාදය නැති කරපු ලොකු පුංචා අමතක කරන්න බෑ.ඒ හැම වෙලාවෙම අපට ලොකු පුංචා මතක් වෙනවා.වංශ පුංචා උඩු රැවුල යාම්තමට අතගාමින් කීවා.ඒ වෙලාවෙ දම් පුංචා හති දම දමා දුවගෙන ආවා.

“අර කෑල්ල වැටු‍‍ණෙ නෑනේ? දම්පුංචා වටපිට බල බල කියන්නේ දුකෙන් වගේ.

“මොන කෑල්ලද බන්?රතු පුංචා ඇහුවා.

“අයියෝ ඔය පුංචලා දන්නෙත් නෑනේ. මං මේ එන්නේ දකුණු මුහුදු කලාපෙ ඉඳලා.”

දම්පුංචා එහෙම කියද්දී අනෙක් පුංචලා පැංචිලා හැමෝටම සිද්ධිය මතක් වුණ. කොහෙද ඉතිං එක සිද්ධියක් වෙද්දි පරණ සිද්ධි අමතක වෙන එක අහන්නත් දෙයක්ද?

“ඇත්තටම ඒක වැටුණෙ නෑනේ.ඔය කියන්නේ අපේ ලෝකට ඇතුළු වෙද්දි ඉහළ ආකාශෙදිම ඔය ආකාශ වස්තුව පුපුරා දැවී ගියා කියලනේ. ඉතිං අපේ පුංචලා ඔය ගැන මොනවද කියන්නේ? සුදු පුංචා ඇහුවා.ලැබුණු ප්‍රකාශ මෙන්න මෙහෙමයි.

සිරිපුංචා- ඇත්තම කියනවනම් මං ඔය වගේ දෙයක් දැනගෙන හිටියෙ නෑ.කවුරුත් මාව දැනුවත් කළේ නෑ. වහාම ආරක්ෂක මණ්ඩලේ රැස්කරලා මේ ගැන තීන්දුවක් ගන්නවා.

ලොකු පුංචා-අපේ පාලනය තියෙන කාලේ මේ වගේ දෙයක් කීයටවත් සිද්ධවෙන්නේ නෑ.

කොළ පුංචා- අපි බොහෝම ප්‍රජාතාන්ත්‍රීය විදිහට සියලුම පිරිස් ඒකරාශි කරගෙන තමයි කටයුතු කරන්නේ.ගිය පාලන කාලේ වාගේ නෙවෙයි.ඉතිං මං සියලුම දෙනාට ආරාධනා කරනවා මේ අලුත් සංස්කෘතිය අරගෙන යන්න උදව් කරන්න.

වංශ පුංචා- ඉස්සර ලොකු පුංචා ඉඳිද්දි බටහිර රටවලට ඕනෑ විදිහට අධිරාජ්‍යවාදීන්ගේ පදවලට අපි නැටුවේ නෑ. ‍මොන ආකාශ වස්තුවක්වත් ඒ කාලෙ අපේ රටට ඇවිත් කඩා වැටෙන්න කල්පනා කළේ නෑ.

‍ෆොනි පුංචා- මොන කලවැද්ද ද ඕක අපේ රටට එව්වෙ.අපි මේවට විරුද්ධ වෙන්න ඕන.

රතු පුංචා- මෙතන පැහැදිලිවම අක්‍රමිකතාවක් වෙලා තියෙනවා.මේ ආකාශ වස්තුව වැටෙන්න නියමිතව තිබිලා වැටුණේ නැත්තේ ඇයි කියන එක බරපතළ සැකයක්. ආණ්ඩුව වහා ම මේ සම්බන්ධයෙන් තම ස්ථාවරය ප්‍රකාශ කළ යුතුයි.

අඹ ගහ යට සභාව නියෝජනය කරන තව තව පුංචලා බොහොමයකගේ මතය සුදු පුංචා විසින් විසින් විමසා ගොනුකර තිබුණත් ඒ ඔක්කොම කියන්න විදිහක් නෑ.මේ කතා බහ ඔය විදිහට ඇදිලා යද්දී ලෙබනන් වල තවත් විශාල පිරිසක් ඝාතනයට ලක්වෙලා. කෙන්යාවේ 147 මරාදාලා.ඉතිං ඒ සම්බන්ධයෙන් කොඩිය දාන්නෙ නැද්ද කියන ප්‍රශ්නය මතුවුණාම වංශ පුංචා මූණෙ තිබ්බ ජාතික කොඩිය ආයෙම දික්කරා.

“මේවා ඔක්කොම ෆැෂන්. ඒකනෙ අපි අපේකම තියාගෙන ජාතික කොඩිය විතරක් ඉස්සරහට දාන්නේ ගප්පි පුංචත්, වංශ පුංචාට ඇඟිල්ලෙන් අනින ගමන් කීවා.වංශ පුංචා පපුව කෙලින් තියාගෙන ඉස්සරහ බලාගෙන හිටියා.අබරං සීයා ඒ වෙලාවෙ හැරමිටිය ඇන ඇන එතෙන්ට කිට්ටුවුණා.

“ලෝකයේ කොහෙ වුණත් මිනී මැරීම ‍මෝස්තරයක් නොවී ඒකට විරුද්ධවීම මෝස්තරයක් වුණාට කමක් නෑ. ඒක මානුෂීයයි නොවැ. අනික ලෝකෙ කොහේ හරි රටක මිනී මැරීම විරුද්ධව කොඩිය දාන අය මෙහේ මිනී මැරුම්වලට කොඩිය නොදැම්ම එක‍ට දුක්වෙන්නවත්, විරුද්ධ වෙන්නවත් කාරි නෑ.කොහොමත් හොඳ හොඳ මෝස්තර මොක වුණත් ඒරොප්පෙන් ආව ඒව තමයි.”

පුංචලා පැංචිලා උඩබිම බලන්න වුණා. වංශ පුංචයි, ගප්පි පුංචයි බිලබලාගත්තා.බලන්ගියාම ඇත්ත නොවැ.ඉතිං තව මොනව කියන්නද?අඹ ගහ යට කතා බහ එතැනින් නිමාවුණා.

හිච්චි බුවා