Pages

Saturday, January 19, 2013

නුවරඑළිය නෙමෙයි මේ දෙනියාය

හාත්පස ලිහිල්ව ඇදී යන සිහිල් සුළඟට සිත ද ඇලී ඇදී යන්නාක් මෙනි. හීන් පිනිපොද සිරි සිරි වැසිපොද සමානය. ගතට මහත් ප්‍රබෝධයක් දැනේ. ඇස යන යන තැන සිත් ඇදගන්නා සුලු අනේක විධ සොබාදහමේ අපූර්වත්වයම කියාපානා සොබා සොඳුරු දසුන් ය.

දකුණු පළාත් සංචාරක අමාත්‍යාංශයේ සහ රුහුණු සංචාරක කාර්යාංශයේ මෙහෙයවීම යටතේ ආර්ථික ප්‍රවර්ධන අමාත්‍යාංශයේ හා ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන අධිකාරියේ අනුග්‍රහය මත ‘සංචාරක කලාපයකට’ හැඩ වැඩ වෙන දෙස් විදෙස් සංචාරකයින් සඳහා වඩාත් ප්‍රචලිත ගමනාන්තයක් ලෙස මේ ප්‍රවර්ධනය කැරෙන්නේ දෙනියාය ප්‍රදේශයයි.

මොරවක් කෝරළේ බටහිර නමින් හැඳින් වූ කොටසට අයත් කොටපොළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ඓතිහාසික අගයකින් ද අතිශය වැදගත් බවක් උසුලන මේ ප්‍රදේශය උස් කඳුවලින් ද අනේක වෘක්ෂ තුරුලතාවන් ගෙන් ද ගහණය. මේ කොට්ඨාසය හරහා ගලා බස්නා ගිං, නිල්වලා නිම්නවල කෘෂිකාර්මික කටයුතුවල යෙදෙමින් ආදිවාසීන් ජීවත්වූ බවට ද ප්‍රමාණවත් සාක්ෂි ලැබී තිබේ.

සුන්දරනීය දැකුම්කළු පරිසරයක පිහිටි කඳුකර විෂමතා ලක්ෂණ රැසකින් සමන්විත මේ සුන්දර දෙනියාය මනස්කාන්ත දියඇලි හා සෞඛ්‍ය සම්පන්න ආකර්ෂණීය පරිසරය මේ වන විට ද දෙස් විදෙස් සංචාරකයින් ගේ සිත් ඇදගන්නා සුලු තැනක් බවට ක්‍රමයෙන් පත්වෙමින් පවතී. ඔබ මා හා දැන් මේ පිවිසෙන්නේ එවන් සොබා සුන්දර බවින් පිරිපුන් පරිසරයකට හිමිකම් කියනා ‘දෙනියාය’ටය. දෙනියාය නගරය කේන්ද්‍ර කොටගත් ඇසි දිසි මානයේ පිහිටි කඳුවළලු නෙත්-සිත් පැහැර ගනී. තවමත් බොහෝ දෙනකුට හඳුනා ගැන්මට පමා වූ මේ සොබාසිරි නුටුදු දෑස කුමකටදැයි මට සිතෙයි.

රට අභ්‍යන්තරයෙහි මධ්‍යම කඳුකරයට ආසන්නව එයට නිරිත දෙසින් දෙනවක මිටියාවතින් වෙන් වූ රක්වාන බුලුතොට කඳු පන්තියට කොටපොළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ හරි අඩක් නතුවී තිබේ. දළ බෑවුම් මඳ බෑවුම් වැනි කඳුකර විෂමතා ලක්ෂණ රැසකින් මේ දෙනියාය ප්‍රදේශය වසා පැතිර පවතී. මේ භූමියේ පහත්ම ප්‍රදේශය මුහුදු මට්ටමේ සිට අඩි 1000ක් පමණ උසකින් යුක්තය. ඉහළම ප්‍රදේශය මුහුදු මට්ටමේ සිට අඩි 3900ක් පමණ උසැතිය. බැලූ බැල්මට ම සිංහරාජ කඳුපන්තිය හා අවට උස් කඳු මුදුන් පිහිටා ඇති මාතර දිස්ත්‍රිකය තුළ ඇති උසම කන්ද ද මෙය බව ඔබ දන්නේද? සුන්දර දෙනියාය අවට පිහිටි අනින්කන්ද මුහුදු මට්ටමේ සිට අඩි 2655ක් ද තිබ්බටුගල අඩි 2065ක් හා කුරුලුගල අඩි 3880ක් ද ගොන්ගල අඩි 3900ක උසකින් ද පිහිටා තිබේ.

දළ බෑවුම්වලින් යුත් උස් කඳුවැටි අතරින් මඳ බෑවුමින් යුත් කඳුවැටි අතරින් පිහිටි ද්‍රෝනි සමූහය ප්‍රදේශයේ භූ විෂමතාවයේ සුවිශේෂි ලක්ෂණයකි.

මෙහි පැමිණි ඔබට දැකුම්කලු ජලාශ්‍රිත හමුවේ. ප්‍රධාන ගංගා වූ ගිං හා නිල්වලා හි ජල පෝෂණය වන ගොන්ගල කඳුකර ප්‍රදේශය උතුරු දෙසින් පිහිටීම ජලවහනය සම්බන්ධ සුවිශේෂී ලක්ෂණයකි. ජලාකාර ජලවහන රටාවකින් යුත් ගිංගඟ ශාකීය ජලවහන රටාවකින් යුත් මාතොටින් මුහුදට යාවේ. කඳුකර ප්‍රදේශයේ කඳු අතර ඇති දෙනිබිම් හරහා ගලාවිත් ප්‍රධාන ගංගා ප්‍රදේශයේ දෙකට යාවෙයි. පල්ලෙගම ප්‍රදේශයේ පිහිටි ‘සත්මාල’ දියඇල්ල පෙළින් පෙළ පිහිටි පියගැට පෙළෙහි මෙන් බිඳී පහළට සැඬව යන අයුරු සැබැවින්ම සුන්දර දසුන් පෙළකි. එයම ගිංගඟෙහි අතරමැද පිහිටි තවත් දියඇල්ලකි. තෙත් කලාපයට අයත් ජලපෝෂිත ප්‍රදේශයකින් යුතු නිසා මේ ගංගා වසර මුළුල්ලේදීම ජලයෙන් හිඟපාඩු නැතිවම ගලා බසී.

තෙත් කලාපයට අයත් වන මෙම බල ප්‍රදේශ දේශගුණික තත්ත්වයෙන් මධ්‍යස්ථ වේ. රක්වාන කඳුවැටියත්, සිංහරාජ වන ආවරණයත් මේ ප්‍රදේශයේ විශේෂයෙන් දෙනියාය අවට ප්‍රදේශයේ දේශගුණික තත්ත්වයට බලපා තිබේ. මෙය වසරේ මාස අනුව විචල්‍යනට ලක්වේ. පෙබරවාරිය උෂ්ණත්වයේ කිසියම් වැඩිවීමක් ඇති මාසයක් ලෙසින් හැඳින්වේ.

තෙත් කලාපීය සදාහරිත වනාන්තර කලාපයකට අයත් කොටපොළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය ශ්‍රී ලාංකේය වෘක්ෂලතා කලාප අතුරින් ප්‍රධාන තැනක් ගනී. ලෝක උරුමයක් වූ සිංහරාජ රක්ෂිත වනාන්තරයේ කොටසක් හා දියදාව රක්ෂිතය මෙයට අයත්වීම සුවිශේෂී වේ. ජෛව විවිධත්වය ද ඉතා ඉහළය. ඒ නිසාම දෙනියාය මැදිකොට නැඟී සිටිනා රක්ෂිත වනාන්තරවලට වැඩි වටිනාකමක් ලැබී තිබේ. මෙහි වර්ෂාපතනය මිලිමීටර 2400 ඉක්මවයි. නිරිත දිග මෝසම් සුළං මඟින් මේ ප්‍රදේශයට අධික වර්ෂාපතනයක් ලැබේ. වාර්ෂික වර්ෂාපතනය අඟල් 100 – 150ත් අතර වේ. සිංහරාජ වන ආවරණත් සෘජු බලපෑමට ලක්වන මේ ප්‍රදේශවලට අඟල් 100-175 පමණ වැඩි වර්ෂාපතනයක් ලැබේ.

ඓතිහාසික වටිනාකමින් හෙබි ගැටබරුව රජමහා විහාරය ද දේවාලය ද කොළවෙනිගම රජමහා විහාරය ද බැතිමතුන්ගේ සිත් නිවා සනසවා ලයි. සොළීන්ගෙන් පරාජය වූ වලගම්බා රජු මෙහි සැඟව සිටි නිසා ඊට ගරු පුද ලෙසින් රජු මේ ගැටබරු විහාරය හා දේවාලය ඉදිකොට දී තිබේ. රජ්ජුරුබණ්ඩාර දෙවියන් කෙරෙහි ද මෙහි ජනයා තුළ පවතින්නේ දැඩි විශ්වාසයකි. ගැටබරු විහාරයේ වාර්ෂික පෙරහර ද ඉතාමත් අලංකාරය. එය ජූලි හා අගෝස්තුවලදී සිදුකැරේ. ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ සතුරන්ගෙන් ආරක්ෂාව පතා බුවනෙකබාහු රජු විසින් වසර 5ක් තිස්සේ සඟවා තබන ලද්දේ කොළවෙනිගම රජමහා විහාරයේය. ඊට සැලකීමක් ලෙසින් මේ රජමහා විහාරයට අක්කර 1798ක් හා ගම්වරයක් ද රජු විසින් පූජා කර ඇති අතර අද දවස ද මෙම ගම්වරයේ ඉඩම් විහාරය විසින් පාලනය කෙරේ.

”ගාල්ලට පමණක් සංචාරකයන් දෙලක්ෂ දසදහසක් දෙනා එනවා. අධිවේගී මාර්ගයේ සංචාරකයින් 100%ක් උණවටුනට එනවා. එහෙත් මේ දෙස් විදෙස් සංචාරක පිරිස ගම ඇතුළට කැඳවා ගැනීමට හැකිවිය යුතුයි. ඔවුන්ගේ සිත් ඇදගන්නා බොහෝ දේ මෙහි ඇති බව කියාදිය යුතුයි.” ආර්ථික සංවර්ධන නියෝජ්‍ය ඇමැති ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතාගේ අදහස එයය. සංස්කෘතියට බාධා නොවූ අපේ මෙම සුන්දර පරිසරය ලෝකයට පෙන්වාදීමට දකුණට ගෙන එන සංවර්ධනය දෙනියායට ගෙන ඒමටත්, මෙය සංචාරක කලාපයක් බවට පත් කිරීමටත් සියලු දෙනා කටයුතු කළ යුතුයි.

මේ වන විට ඌරුබොක්ක නගරය ජනීජනයාට සුවපහසුව ළඟා කරදෙන අංගෝපාංගයන්ගෙන් සමන්විත පහසුකම් සපිරි නගරයක් බවට කඩිනමින් පත්කැරෙමින් පවතී. 2016 වන විටදී විසිපන්ලක්ෂයක සංචාරක පිරිසක් ආගමනය කැරෙන බවට ද විශ්වාසය පළවේ. දකුණින් ගම ඇතුළට පැමිණ මෙහි සුන්දර තැන් නරඹන සංචාරකයිනට නවාතැන් පහසුකම් සැලසීම සඳහා ගම තුළ වෙසෙන අයවලුන් හට අඩුතරමේ පහසුකම් ඇති කාමර දෙකක් ඇති නිවාස තනා සිය ආර්ථිකය යහපත් කරගැනීමට මින් අවකාශ සැලසෙන බවට ද ඇමැතිවරයා සඳහන් කළේය.

ඔබට යමක් පැවසිය යුතුය. ඔබේ විවේකය නුවරඑළියේ ගෙවා දැමීමට අදහස් කරන්නේ ද? දකුණට පැමිණ නන් විසිතුරු තැන් නැරඹීමට සිතා එන්නේ නම් එසේ පැමිණි විට දෙනියායටත් එන්න. එහි සිහිලස නුවරඑළියට සමානය. සිසිල් පවන පරිසරයේ සුන්දරත්වය විවේකය සොයන ඔබේ ගත සිත චමත්කාරයෙන් ප්‍රබෝධවත් කරවනු ඇත. සුන්දර දිය ඇලි ස්වභාවික වනාන්තර මෙන්ම ප්‍රදේශය පුරා විසිරුණු තේ වතු ඔබේ නෙතට රසඳුනක් ම වනු ඇත. සොබා සොඳුරු බවේ නවාතැන දෙනියාය නොවේදැයි වරක් නොව කිහිප වාරයක් ඔබ මුවින් කියැවෙනු ඇත.

දෙනියායේ සංචාරයකින් පසු අමල් යශෝමන් ජයසිංහ පින්තූර – වාසිත පටබැඳිගේ - Silumina