Pages

Saturday, December 15, 2012

පොළොව කැරකීම නැවතුනොත් මොකද වෙන්නේ?

මේ මාසයේ තුන්වන සතියේදී සිදු වන්නේ යෑයි අනාවැකි පළ වී තිබෙන ලෝක විනාශයේ කොටසක්‌ වශයෙන් පෘථිවිය භ්‍රමණය වීම නැවතෙනු ඇතැයි මතයක්‌ ප්‍රචාරය වෙමින් පවතී. මෙය කොතරම් දරුණු ලෙස පැතිර ගියේද යත් රුසියානු රජය ලෝක විනාශය ගැන තවදුරටත් කතා කිරීම සියලු මාධ්‍යවලට තහනම් කර ඇත. සාමාන්‍යයෙන් මෙවැනි මත සහ කටකතා විශ්වාස කිරීමේ වැඩි ප්‍රවණතාවක්‌ ඇත්තේ ආසියානු සහ අප්‍රිකානු ලෝකය තුළය. එහෙත් ලෝක විනාශ මතය පිළිගැනීමේ ප්‍රමුඛත්වය ලබා සිටින්නේ බටහිර ලෝකයේ ජනතාවය. පෘථිවිය මෙන් හය ගුණයකට ආසන්න විශාලත්වයක්‌ ඇති නිබිරු හෙවත් planet X නමැති ග්‍රහලෝකයක්‌ අපේ සෞරග්‍රහ මණ්‌ඩලයට ඇතුළු වී නොවැම්බර් 21 වැනිදා සිට පෘථිවියට ආසන්නවීමට පටන් ගන්නා බවත් එවිට එම ග්‍රහවස්‌තුවේ අභ්‍යන්තරයෙහි ඇති අධික ගුරුත්වය මගින් පෘථිවිය අභ්‍යන්තරයෙහි ඇති ගුරුත්වයට බලපෑම් ඇති වී දින පහකට හෝ හයකට පෘථිවිය භ්‍රමණය වීම නවතින බවත් නැන්සි ලයිඩර් නමැති කාන්තාවක්‌ Zetatalks.com නමැති වෙබ් අඩවියක්‌ ඔස්‌සේ මෙයට වසර දහයකට පමණ පෙර මුල්වරට ප්‍රකාශ කරන ලදී. Zeta නමැති තාරකා මණ්‌ඩලයකින් පැමිණි ජීවීන් පිරිසක්‌ වෙතින් තමා ගැබ් ගෙන දරුවන් ප්‍රසූත කළ බව කියන නැන්සි ලයිඩර් නිබිරු ග්‍රහලෝකයේ අසීමිත බලය ගැන දේශන පැවැත්වීමත්, ඒ පිළිබඳ ගුවන් විදුලි, පුවත්පත් සහ රූපවාහිනී නාලිකා සමඟ සාකච්ඡා පැවැත්වීමත් ජීවිකා වෘත්තිය බවට පත් කරගෙන ඇත.

පෘථිවියේ භ්‍රමණය නවතීද?

මෙයට අවුරුදු බිලියන 4.5 කට පෙර පෘථිවිය බිහි විය. ඉන් පසු එය හා ගැටුණු අඟහරු ලෝකය තරම් විශාල යෝධ උල්කාපාතයක්‌ හෝ වෙනත් කුඩා ප්‍රමාණයේ ග්‍රහ වස්‌තුවක්‌ පෘථිවියෙන් කැබැල්ලක්‌ කඩාගෙන ගොස්‌ පෘථිවිය වටා කක්‍ෂගත වීමෙන් සඳ නිර්මාණය වූ බව විශ්වාස කෙරේ. සඳ නොතිබූ කාලයේදී පෘථිවියෙහි භ්‍රමණ වේගය අධික වූ අතර එකල පෘථ වියෙහි දවසකට තිබුණේ පැය 6 ක්‌ පමණි. එහෙත් සඳෙහි ආකර්ශණය නිසා පෘථිවියෙහි භ්‍රමණවේගය ක්‍රමයෙන් අඩු වන්නට වූ අතර අවසානයේදී දවසකට පැය 24 ක්‌ දක්‌වා වනතෙක්‌ පෘථිsවියෙහි භ්‍රමණ වේගය අඩු විය. කරකවා අත්හරින ලද බඹරයක්‌ ක්‍රමයෙන් වේගය බාල වී නවතින පරිදි මතු යම් දවසක පෘථිවියේ භ්‍රමණය නැවතීමට ඉඩ තිබේ. පෘථිවියේ භ්‍රමණ වේගය අඩු කිරීමට සඳට හැකි වී නම් පෘථිවිය මෙන් හය ගුණයක්‌ විශාල අවකාශ වස්‌තුවකට පෘථ වියේ භ්‍රමණ වේගය පාලනය කිරීමට හෝ සම්පූර්ණයෙන් ම නවත්වා දැමිමට හැකි බව තර්කයක්‌ වශයෙන් නිවැරැදිය. එහෙත් දෙසැම්බර් 21 වැනිදා පෘථිවිය සූර්යයා වටා පරිභ්‍රමණය වන කක්‍ෂයට ඇතුළු වන කිසිදු ග්‍රහ වස්‌තුවක්‌ ගැන කිසිදු සාක්‍ෂියක්‌ පෙනෙන තෙක්‌ මානයක නැත. එබැවින් 21 වැනිදාට පෘථිවිය නැවතෙන්නේ ය යන මතය මායාවකි.

පෘථිවිය භ්‍රමණය වීමේ වාසි

අපගේ ජීවිත පාලනය කරනු ලබන්නේ පෘථිවියේ භ්‍රමණය විසිනි. පෘථිවිය සිය කක්‍ෂය වටා කැරකෙන විට අප රාත්‍රිය සහ දහවල ගෙවමු. එය සූර්යයා වටා පරිභ්‍රමණය වන අතර අපි අවුරුද්දේ මාස ගෙවා දමන්නෙමු. යකඩ කූරක ගසන ලද මස්‌ කැබැල්ලක්‌ බාබික්‍ය උදුන මත තබා කරකවනවිට එහි හැම පැත්තටම මනා සේ උණුසුම ලැබෙන පරිදි පෘථිවිය ද භ්‍රමණය වනවිට එහි හැම පැත්තකටම සූර්ය රශ්මිය පතිත වෙයි. ඒ සමඟ පෘථිවියේ චුම්බක ක්‍ෂේත්‍රය පවත්වා ගෙන යන්නේ ද කාලගුණික හා දේශගුණික තත්ත්වය හටගන්නේ ද භ්‍රමණය නිසා ය. අපේ පැවැත්මට පෘථිවිය දායක වේ නම් එය නැවතුනොත් සිදුවන්නේ කුමක්‌ද?

පොළොව කැරකීම නැවතුනොත් මොකද වෙන්නේ?

ඇමරිකාවේ වර්ජීනියා විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යාඥයකු වන ලුවිස්‌ බ්ලුම්ෆීල්ඩ් කියන පරිදි එවිට මහා විනාශයක්‌ වනවා ඇත. මෙවැනි අවස්‌ථාවකදී හිරු මුදුන්ව තිබෙන රටවල් සියල්ලෙහි තවදුරටත් රාත්‍රියක්‌ හටගන්නේ නැත. එබැවින් ඒ රටවල් ක්‍රමයෙන් වියෑළී ඉරිතලා සත්ත්වයන් සංහාරය වීම පටන් ගනී. අඳුර පැත්තට ඇති හෙවත් සූර්යයාට ප්‍රතිවිරුද්ධ පැත්ත ක්‍රමයෙන් ශීත යුගයකට පිවිසෙන අතර, ඝනාන්ධකාරයේ සැරිසැරීමට සිදුවන සත්ත්ව ප්‍රජාව සංහාරය වීමට පටන්ගනී. මේ අතර සූර්ය රශ්මිය සහිත පෘථිවි අර්ධගෝලය සහ අන්ධකාරය සහිත අර්ධගෝලයෙහි අතරමැද තීරුවෙහි යම් ප්‍රමාණයක මධ්‍යස්‌ථ තත්ත්වක්‌ පවතී. මේ ප්‍රදේශයෙහි ජීවත්වීමට සුදුසු වන පරිදි ජීවය පරිණාමය වීම ඊළඟට සිදු වන්නේය.

පෘථිවිය කැරකෙන වේගය සමඟ සාගර සහ සියලු ජලාශ ද පෘථිවි පෘෂ්ඨයෙහි ඇලී පවතී. තිරිංග තද කළාක්‌ බඳුව පෘථිවිය නැවතුනොත් සාගරවලින් පිටතට විසිවන ජලය සමස්‌ත ගොඩබිම වසාගෙන ගලා යනු ඇත. ඒ සමඟම පෘථිවිය අභ්‍යන්තරයෙහි ද්‍රව මට්‌ටමින් ඇති වොල්ටන් මැග්මාවල භ්‍රමණය නොනැවතීම නිසා පෘථිවියේ අභ්‍යන්තර ස්‌ථර අතර ගැටීමක්‌ හටගෙන භූමි කම්පා ඇතිවී, ගිනි කඳු පුපුරා ජීවය තවදුරටත් විනාශ වන්නේය.

මේ අතර අපේ වායුගෝලයට කුමක්‌ සිදුවන්නේ දැයි සොයා බලමු. සමකය අසල වායු ගෝලය හීන දුර්වල තත්ත්වයකට පත්වන අතර ධ්‍රැවාසන්න වායු ගෝලය ඝන තත්ත්වයට පත්වේ. එවිට එතෙක්‌ පැවැති වායු පීඩනය තුරන්වන අතර එකී පීඩනයට පුරුදුව සිටි ජීවීහු වඳ වෙති. ඉතිරි වන සෑම සත්ත්වයෙකුටම සිදුවන්නේ සූර්යාලෝකය සහ අන්ධකාරය ක්‍රමානුකූලව මිශ්‍ර වී හටගන්නා පාරිසරික තීරුවක්‌ තුළ ය. එය එතරම් විශාල තීරුවක්‌ නොවේ. මෙහිදී සෘතු හතර හෝ මෝසම් වර්ෂා තවදුරටත් ඇති නොවේ. දක්‍ෂිණාර්ධ ගෝලයෙහි ඇති සෞම්‍ය ප්‍රදේශ දෙකක්‌ සහ උත්තරාර්ධ ගෝලයෙහි ඇති සෞම්‍ය ප්‍රදේශ දෙකක්‌ පමණක්‌ අති වෙයි. මෙතැන් සිට පරිණාමය වන මනුෂ්‍යයාගේ ශරීරයේ සම ඉතා ඝන වන අතර එයට හේතුව වන්නේ සූර්යා වෙතින් සහ විශ්වයෙන් එන හානිකර අන්තරීනු කිරණ දරා ගැනීමට ඔවුන්ට සිදුවී තිබීමය. මෙම තත්ත්වය උපමා කළ හැක්‌කේ රළු පොළොවෙහි නිතර ගමන් කරන පුද්ගලයන්ගේ යටි පතුල්වල සම ඝන වීමය. එම සමට ගැටෙන්නට සිදු වන්නේ රළු, බොරළු, කටු සහ කැබලිති, යකඩ ඇණ සහ උල් යනාදිය සමඟය. ඒවාට සිදුරු නොවී පැවැතීමට නම් සමරළු විය යුතුය.

පෘථිවිය භ්‍රමණය වන්නේ අංශක 23.5 ක ආතතියක්‌ සහිතවය. මෙම ආතතියට අනුව පෘථිවියේ ධ්‍රැව සකස්‌ වී තිබේ. භ්‍රමණය වීම නැවතුනොත් මෙම ආතතිය නැතිවන අතර පෘථිවිය කෙලින් වෙයි. එවිට ධ්‍රැව මාරුවක්‌ හෙවත් Pole change තත්ත්වයක්‌ හටගෙන ධ්‍රැව පිහිටි පාෂාණ ස්‌ථර කැඩී එකිනෙක හැපී බිහිසුණු විනාශයක්‌ හටගනි. මෙය පෘථිවිය නැවතුන වහාම සිදුවන්නකි. එයින් හටගන්නා කම්පනය දරා ගැනීමට බැරි තරම් විශාලය.

ලෝක විනාශයේ ඇත්ත කතාව ග්‍රන්ථයෙන් උපුටා ගන්නා ලදී

අනුර සොලමන්ස්‌ - Divaina