Pages

Tuesday, December 11, 2012

හමුවුනෙමි, උපාධිධාරී රැකියාලාභී පෙම්වතිය -

හති දදා නතරවුණු දුම්රියේ හද ගැහෙන ගුම් නාදෙ
යටකරන් හඬ තැලුව හරස් මඟ සීනුවේ නින්නාදෙ
පසු කරන් ඔබ ආවෙ, උරහිසින් එල්ලගෙන අත් බෑගෙ
වැඩ අරුණු මහ සෙනග බිම බලන් ගෙදර යන හැන්දෑවෙ

හමන දූවිලි සුළඟ කළේ හැම නිතර කරදර තමයි
ඒ වුණත් ගෙළේ නළලේ වෙලී, නැගුණු දහඩිය නිවයි
වම් අතේ බඩු මල්ල අතට, ණය පතට බර වැඩි තමයි
ඒ වුනත් ඔබෙ මුවේ නැගෙන සුදු සිනා හැඩ එහෙමමයි

කහ ගැහුණු සාරියට, හිතට ආ උපමාව ඕනෙ නෑ
දහ දාහ මදි වුණත් කිසිදාක අවලාද කීවෙ නෑ
හිරුත් බැස ගිහින්, ඔය නන කැඩුණු කුඩ පොඩිය ඕනෙ නෑ
හෙමින් ඇවිදන් යමුද, ගුරු පාරෙ තව ලයිට් දාල නෑ

අලුත් කන්තෝරුවේ, ඉඳගන්න දැන් තැනක් තියෙනවද
වැඩ කියා දෙන්න හිටි අක්ක තව ඔරවගෙන ඉන්නවද
සංගමේ වැඩ නිසා අරගොල්ලො තව සල්ලි ගන්නවද
හොරෙන් ඉඟි බිඟි දාන, මට වඩා හොඳ කොල්ලො ඉන්නවද

කැඩුණු කකුලට තාම අත්තම්ම වෙද බෙහෙත් බඳිනවද
අම්ම ගැන හිත හිතා අප්පච්චි තාම නිදි මරනවද
පොඩි මල්ලි දඟ නැතුව ඉස්කෝලෙ වැඩ හොඳට කරනවද
බුම්මගෙන ඉන්නැතුව මට ආදරෙයි කියල කියනවද

ගෙදර ළඟටම ආව, එහෙමනං මං යන්නං
අර පේන ගහ යටදි පුංචියට හාදුවක් දෙන්නං
බයිසිකල් එක පැදන් හෙට උදෙත් මං එන්නං
කැඩුණු පල්ලිය ගාව අර අපේ පුරුදු තැන ඉන්නං

භාතිෂ අකලංක සිල්වා www.boondi.lk