Pages

Sunday, December 02, 2012

බලා නොබලා නොයන් ළඳුනේ, අසරණ වූදා සෙනේහයේ

අතීතයේ එක ලස්‌සන දවසක
සොඳුරු සැමරුම් මතක මැදින් 
සේපාලිකා මල් ගිලිහුණු පාරේ
මා තනිවෙන්නම් කඳුළු මැදින් 

ජීවිතයේ එක ලස්‌සන දවසක
හඬා වැටීලා යොවුන් සිතින්
තවත් මෙමා හට ඔබ රිදවනවා
සේපාලිකා මල් සුවඳ මැදින් 

සොඳුරු මගේ ආදර පැතුමන් 
කඩා වැටීලා ඔබේ හදින්
බලා නොබලා නොයන් ළඳුනේ
අසරණ වූදා සෙනේහයේ 

ගායනය - මර්සලින් පතිරණ
සංගීතය - සමන් පනාපිටිය
ගී පද - උපුල් අමරසිංහ

බිඳුනු පෙම සිහිකරමින්.... හඬන හදවත් අනන්තයි... අප්‍රමාණයි. ආදරෙන් එක්‌වන අයට වඩා ආදරය නිසා වෙන්වෙන අය වැඩියි... අතීතය ගැන සිහින මවමින්.... සමහරු කඳුළු සලනවා. උනන කඳුළු කැට දෙකොපුල් දිගේ රූරා වැටෙද්දී මේ තරම් කඳුළු හැංගිලා තිබුණේ කොහෙන්ද කියලත් හිතෙනවා. ඇතැමුන් වියෝ දුක සඟවා ගෙන හඬා වැටෙන්නේ හදවතින්. හදවතේ උපදින වේදනාව පිට කරන්නේ සුසුම් වලින්.

අතීතයේ එක ලස්‌සන දවසක
සොඳුරු සැමරුම් මතක මැදින් 
සේපාලික මල් ගිලිහුණු පාරේ
මා තනිවෙන්නම් කඳුළු මැදින්

ආදරය කරද්දී... හැම දෙයක්‌ම පෙනෙන්නේ ලස්‌සනට. ප්‍රේමය සුන්දර වෙන්නේ කෙසේද... ඒ තරමටම අවට ලෝකයත් සුන්දරයි. පෙම්වතුන්ට හිතෙන්නේ එහෙම තමයි. ඒ වගේ එක ලස්‌සනම ලස්‌සන දවසකට මතකය ඔස්‌සේ ගමන් කරන පරාජිත පෙම්වතෙක්‌... එදා ආදර සැමරුම් අද සිහිපත් කරනවා. 

ලස්‌සනම ලස්‌සන දවසක්‌. අපි දෙන්නා අත් අල්ලාගෙන පිය නැගූ මාවත පුරා සේපාලිකා මල් ඉහිරිලා... සොබා දහමත් අපේ ආදරයට ආසිරි පැතුවා. ඒත් අද.. ඒ මාවතේ මම තනිවෙලා. තනියට ඉන්නෙ කඳුල විතරයි. දෙනෙත් පුරා පිරි කඳුළු අතරින්. මම ඒ සුන්දර අතීතය දකිනවා...

මේ ගීය... කාලයකට පෙර ලියෑවුණු ගැයුණු ගීයක්‌. ගයන්නේ මර්සලින් පතිරණ. ලියුවේ උපුල් අමරසිංහ. තනුවත් සංගීතයත් සමන් පනාපිටියගේ. උපුල් අමරසිංහ... මේ ගීයේ රචකයාගෙන් ගීය ගැන අහන්න බැරිවුණා. උත්සාහ කළා. ඒත් ඔහු ඉන්නා තැනක්‌ මර්සලින් දන්නෙත් නෑ. සමන් පනාපිටිය තනුව නිර්මාණය කළාට ගීපද රචකයාව දැකලත් නැහැලු. හැඟුම්බර වදන් පෙළක්‌. ශෝකාකූල රිද්මයකට... මර්සලින්ගේ හඬත් පරාජිත පෙම්වතකුට ඔබින හඬක්‌.

ජීවිතයේ එක ලස්‌සන දවසක
හඬා වැටීලා යොවුන් සිතින් 
තවත් මෙමා හට ඔබ රිදවනවා
සේපාලික මල් සුවඳ මැදින් 

ඔහුගෙන් වෙන්ව ගිහින් තියෙන්නේ ඇයයි. දැන් ඇය වෙන කෙනෙකු අත අරන්.. ඔහු තවමත් තනිකඩයි. ඇය ගැන හිතමින්.. අතීතය සමරනවා. යොවුන් වියේ ආදරය වියපත් වූ පසුවත් ඔහුට සිහිවෙන්නේ... හැබෑවටම ඇයට ආදරය කළ නිසයි. එදා ඔවුන් ඇවිදගිය මාවත අද්දර ඉඳන් ඔහු ලස්‌සන අතීතය ගැන සිහි කරද්දි... අහම්බෙන් ඇය.. සැමියා සමග යන අයුරු ඔහු දකිනවා...

ඒ ලස්‌සන අතීතයේ අපි දෙන්නා තුරුළු වෙලා. සේපාලිකා මල් නොපෑගෙන්න හෙමින් හෙමින් පියවර තැබුවා. වෙලාවක හිනැහුණා. වෙලාවක හඬා වැටුනා. එදා අපි යොවුන් විය එළිපත්තේ ගත කළා. ඒත් ඔයා....

ඔයා තවකෙකුට තුරුළු වෙලා මේ මාවතේම ගමන් කරද්දී... එදා වගේම සේපාලිකා මල් සුවඳ දැනෙනවා. ඒත් මගේ හිතට තවත් දුක්‌ දෙනවා... 

සොඳුරු මගේ ආදර පැතුමන්
කඩා වැටීලා ඔබේ හදින්
බලා නොබලා නොයන් ළඳුනේ
අසරණ වූදා සෙනේහයේ 

මගේ ආදර ප්‍රාර්ථනා හරිම සුන්දර වුණා. ඒ සොඳුරු පැතුම් ඔයා නිසා කැඩී බිඳී විසිරිලා ගියා. මම මැවූ ආදර හීන ඔයා බොඳකළා. අදත් ඔයා මගෙන් පළිගන්නවා. එදා අපි ආදරෙන් ඇවිද ගිය සේපාලිකා මල් පිපි මාවතේ... අද ඔයා මා දිහා බලලා ඈතක බලාගෙන යනවා. ආදරයේද වේදනාවෙන් අසරණ වූ මගේ හිත තව තවත් රිදවන්න එපා. මාව දැකලා නොදැක්‌කා වගේ යන්න එපා... ඒක මට වාවන්නේ නෑ.... තනිකඩව සිටින පරාජිත පෙම්වතා.. ඈ යනමග බලා සිටිනවා. ඔහුගේ දෙනෙත් කඳුළින් බොඳවෙලා. හදවතේ උපන් සෝ සුසුම්... සේපාලිකා මල් සුවඳත් එක්‌ක මුසුවුණා.

අජිත් අලහකෝන්  - Divaina